පොදුජන පෙරමුණෙන් රනිල් ට පොලු හරස් කරා වි ද?
ජනාධිපති ඡන්දෙ නියමිත වෙලාවට ඡන්ද කොමසාරිස්වරයා කරාවි කවුරුන් උසාවි ගියත්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන සේ ඉල්ලා ව්‍යවසායකයකු වන නීතිඥ සී. ඩී. ලේනව මහතා විසින් පසුගිය 03 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම හේතුවෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලන කේෂ්ත්‍රයේ මහත් උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
බළලකු ලවා රනිල් කොස්ඇට බෑවීමක්?
ජනාධිපතිවරයා සිය නිල කාලය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ඔහුගේ හිතවතකු ලවා මෙම පෙත්සම ඉදිරිපත් කරන්නට ඇතැ යි විපක්ෂය චෝදනා කරනවා.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පොදුජන පෙරමුණ,පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් ම මෙම පෙත්සමට විරුද්ධව අදහස් ප්‍රකාශ කොට තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහාචාර්ය ජී. එල්. පීරිස්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ, නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම යන මහත්වරු පවසන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට නොවැම්බර් 18 වැනි දා යින් පසු එම ධූරයේ රැඳී සිටීමට කිසිදු අයිතියක් නොමැති බවයි.
එහෙත් ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගිය 04 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සීයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් වන බවත් 2024 ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපතිවරයා ගේ ද ස්ථාවරය බව යි.
ජනාධිපතිවරයා ගේ ධූර කාලය සම්බන්ධයෙන් වන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර චමින්ද දයාන් ලේනව යන අය තමාගෙන් හෝ තම නීතිඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදු නොකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටි බව ද එම නිවේදනයේ සඳහන් වුණා.
රනිල් ගේ ප්‍රකාශය පිළිගන්න විපක්ෂය සූදානම් නෑ
මේ අතර පෙරේදා (05) හවස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල මා හිමියන් වහන්සේ බැහැදැකීමට නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මූලස්ථානය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා "ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තියෙනවා. 2015 දී ජනාධිපතිවරයාගේ නිල කාල සීමාව වසර 6 සිට වසර 5 දක්වා අඩු කිරීමට යෝජනා කළේ මා" යැ යි මහ නාහිමියන් සමඟ පැවති සාකච්ඡාවේ දී කියා හිටියා.
එහෙත් විපක්ෂය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිගන්නා බවක් පෙනෙන්නට නැහැ. දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා පෙරේදා (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරැදි පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කොට තිබුණා.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, හරිනි අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ ලේකම් එරංග ගුණසේකර යන මහත්ම මහත්මීන් ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළා.
මෙම අතරමැදි පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 03 වැනි පරිච්ඡේදය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06 සිට වසර 05 දක්වා අඩුකර තිබෙන බවත් ය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය මෙම වසරේ අවසන් වන බවත් එබැවින් මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් එම අතරමැදි පෙත්සම් මඟින් පෙන්වා දී තිබෙනවා.
එහෙයින් මෙම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට තමන්ට අවසර දෙන ලෙසත්, තමන් ඉදිරිපත් කරන කරුණු සලකා බලා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
පංච පුද්ගල විනිසුරු මඬුල්ල ලේනව ගේ පෙත්සම සලකා බැලීම අද
මේ අතර චමින්ද්‍ර දයාන් ලේනව මහතා විසින් ඉදිරිපත් කරැති මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අද (ජූලි 08) පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සිදු කිරීමට ශ්‍්ධිකරණය දින නියම කොට තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ සභාපතිත්වයෙන් යුත් එම පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ විජිත් මලල්ගොඩ, මුර්දු ෆ්‍රනාන්දු, ප්‍රීති පද්මන් සුරසේන හා එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්.
කෙසේ වුව ද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිසා විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව හඬක් නැඟීමට විශාල උත්තේජනයක් ලැබී ඇති බව දේශපාලන විචරකයින් පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොදුජන පෙරමුණ අතර හටගෙන ඇති ගැටුම දැන් උග්‍ර තත්ත්වයකට පත් වී ඇතැ යි නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් දැන් ප්‍රසිද්ධියේ ම ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් ඒ බව පැහැදිලි වන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට නම් ඔහු පොහොට්ටුවේ සාමාජිකත්වය ගත යුතු බව එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පසුගිය සතියේ පවසා තිබුණා.
ආණ්ඩුව ටෙලිකොම්, හිල්ටන් හෝටලය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආදී රාජ්‍ය දේපොළ විකිණීම ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මේ හැර එස්. එම්. චන්ද්‍රසේන, තිස්සකුට්ටි ආරච්චි, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම් ආදී පිරිසක් පවසන්නේ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි.
බැසිල් ගෙ යෝජනාවට හරස් වූ රනිල්ට පොලු හරස් වීමෙන් මොකක් වෙයි ද?

පසුගිය දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව පවසනවා. ඒ සඳහා ඔහුගේ තේරීම වී ඇත්තේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා යි.
ජනාධිපතිවරයා සමඟ අන්තිමට පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතාත ධම්මික පෙරේරා මහතාට පවසා ඇත්තේ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග කිරීමට සූදානම් වන ලෙස යි.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් කිහිප වරක් ම ඉල්ලා සිටි නමුත් ඔහු එයට කැමති වී නැහැ. බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කොට තිබුණේ ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ විට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට ඉඩ නොලැබෙන බවයි. එවිට තවත් පක්ෂ හා මන්ත්‍රීවරුන් සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඉන්පසු ජනාධිපතිවරණයට ගිය විට ජනාධිපතිවරයාට ජයගත හැකි වන බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබුණා. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ හැම අවස්ථාවක ම ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිවරයා පවසා තිබුණේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.
එසේ ම පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් වන එස්. එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු 10 දෙනකුට ඇමති තනතුරු ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කොට තිබුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බැවින් ඇමතිවරුන් පත් කළ නොහැකි බව පවසමින්. මේ අතර ට පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින් ද ජනාධිපතිවරණයට පොදුජන පෙරමුනින් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට පක්ෂ නායකත්වයට බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බව ද වාර්තා වෙනවා.
ධම්මික ගේ පූර්ව සූදානම !
මේ අතර පොදුජන පෙරමුණේ ව්‍යවසායකයින්ගේ කාර්යාලයක් පසුගිය සතියේ බත්තරමුල්ල ජයන්තිපුර යේ දී විවෘත කරනු ලැබුවා. එම අවස්ථාවට පැමිණි ධම්මික පෙරේරා මහතා මාධ්‍යවේදීන්ට පැවසුවේ පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නේ නම් තමා එයට සූදානම් බවයි.
තම පෞද්ගලික ධනය වැයකොට ආරම්භ කළ ඩී. පී. එඩියුකේෂන් අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ රටපුරා දස දහස් ගණනක් දරුවන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීමේ අධ්‍යාපන වැඩ සටහන නිසා රජයට විශාල පහසුවක් ලැබී ඇති අතර රජයට තිබෙන්නේ ඒ සඳහා අවශ්‍ය පන්ති කාමර ලබාදීම පමණක් යැ යි ද ධම්මික පෙරේරා මහතා එහිදී පැවසුවා.
දේශපාලන විචාරකයින් පවසන්නේ ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පූර්ව සූදානමකින් පසුවන බව යි.
පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ධම්මික පෙර්රා මහතා සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට පෙරමුණ ගෙන කටයුතු කරන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, ආදී පිරිස අසීරු තත්වයකට පත්වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
ප්‍රසන්න ලා රනිල් එක්ක ම නම් පොදුජන පෙරමුණ දෙකඩ වේවි ද?
මොවුන් පිරිස පක්ෂයේ මතයට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දිගට ම කටයුතු කළොත් පොදුජන පෙරමුණ දෙකඩ වීම වැළක්විය නොහැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.
''පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ විට ඔහුට සහය දක්වන ලෙස මෙම පිරිසට පක්ෂයේ මහ ලේකම්වරයා ලිඛිතව දැනුම් දෙනවා. ඔවුන් එයට එකඟ නොවුණ හොත් ඔවුන් ගේ මන්ත්‍රී කොට්ඨාස වලට පක්ෂය විසින් අලුතින් සංවිධායකයින් පත්කිරීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කොට තිබෙනවා යැ යි නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු මූලස්ථානයේ ප්‍රකාශකයෙකු අප කළ විමසුමක දී කියා සිටියා.
මහින්ද රනිල් තීරණාත්මක කතාබහක් මේ සතියේ? 
කෙසේ වුවද පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් බව ද ඔහු සඳහන් කළා.
මේ අතර විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබෙන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හා තීරණත්මක සාකච්ඡාවක් මේ සතියේ පැවැත්වෙන බව යි.