උණුසුම් පුවත්සතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 30

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගේ කිසිදු ප්‍රචාරක රැස්වීමකට යන්නෙ නෑ.- මහින්ද රාජපක්ෂ මහතා පවුලේ උදවියට කියලා

පවුලේ අය එක්ක රට හැර යන බව කියා ගෙදර අයට නාමල් තර්ජනය කරලා !?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 29 වැනි දා රැස්වී ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදීරිපත් කිරීමටත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදැක්වීමටත් ගනු ලැබූ තීරණය හේතුවෙන් අප පසුගිය ඉරිදා අනාවරණය කළ පරිදි පොදුජන පෙරමුණ දෙකඩ වී තිබෙනවා.

ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් 'පොහොට්ටුව' ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටපක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව එහිදී සම්මත වී ඇති අතර එයට විරුද්ධව ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කාංචන විජේසේකර, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,කණක හේරත් ඇතළු එකොළොස් දෙනකු ඡන්දය ප්‍රකාශ කළ බවයි වාර්තා වෙන්නේ. පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහය නොදෙන අයට විරුදුධව විනය ක්‍රියාමාර්ග ලත යුතු බවට ද මහ ලේකම්වරයා තවත් යෝජනාවක් ඉදිරිපත් කොට ඇති අතර එය සම්මත වී තිබෙනවා.

මෙම රැස්වීමේ දී ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, එහි කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන, මහ ලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, තිස්ස කුට්ටිආරච්චි, පවිත්‍රා වන්නිආරච්චි, ඩී. වීරසිංහ ඇතුළු පිරිස තදින් ම පවසා ඇත්තේ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි.

දේශපාලන මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් 60 කට අධික පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතා ගේ මෙහෙයුම් කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරණයේ දී තම සහාය ජනාධිපතිවරයාට ලබා දෙන බවට ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වෙනවා.

පහුගිය අඟහරුවාදා ජනාධිපති ලේතම් කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවති අතර මැති ඇමතිවරුන් 92 ක් එයට පැමිණ සිටි බවත්, එහිදී ඔවුන් සියලු දෙනා ම ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ලියවිල්ලකට අත්සන් කො‌ට ප්‍රතිඥා දුන් බවත් ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

නෙළුම් මාවතට ඇවි් හිටියේ පළාත් පාලනයේ සුළු පිරිසකි. මේ අතර පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයින් හා පළාත් පාලන ආයතනය නියෝජිතයින් පසුගිය බදාදා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූළස්ථානය වෙත කැඳවා තිබුණා.

එයට පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරුන් 20 කු හා පළාත් පාලන ආයතන නියෝජිතයින් සුළු පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.

නාමල්ගෙන් ධම්මික පෙරොන්දුවක්

පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාමෙහිදී පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිට ම යූඇන්පී විරෝධී කඳවුරේ සිටීම නිසා එම  ‌ෙඑතිහාසික යූඇන්පී විරෝධය නියෝජනය කිරීමට තමන් ඉදිරිපත්ව කටයුතු කරන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතැමුන් නැවත තමන් හමුවීමට පැමිණි බවත් ඉදිරියේ දී අනෙක් පිරිස ද ආපහු පක්ෂයට එනු ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා එහිදී පවසා තිබුණා.

පක්ෂයෙන් කවුරුන් ගියත් ශී ලංකා පොදුජන පෙරමුණ වැටෙන්නේ නැති බවත් පක්ෂයේ ඡන්ද පදනමට එයින් බලපෑමක් නොවන බවත් ජෙන්ස්ටන් ෆ්‍රනාන්දු මහතා මෙහිදී පවසා තිබුණා.

එසේ වුවද පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයි විසින් පක්ෂයෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය රට පුරා සිටින පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ගේ නොසතුටට හේතු වී ඇති බව ඉකුත් සති අන්තයේ මාතර, වරකාපොළ, රඹුක්කන, මහනුවර ආදී ප්‍රදේශ රැසක පැවති පොදුජන පෙරමුණු බලමණ්ඩලවල දී පළවූ විරෝධයන්ගෙන් පෙනී යනවා.

රනිල්ට සපෝට්නා එකට අමනාප පසෙක ලූ චන්ද්‍රසේන, සේමසිංහ

මෙම බලමණ්ඩල මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ යුතු බවට යෝජනා සම්මත කරගෙන තිබෙනවා. 

අනුරාධපුරයේ හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේන හා රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ යන මහත්වරු ඔවුන් අතර පැවති පෞද්ගලික අමනාප කම් ඉවත දමා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට අනුරාධපුර පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩලයේ දී තීරණය කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 31 වැනි දා පැවැත් වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභා හා විධායක සභා රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළා.

පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට දේශපාලන මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාවට පක්ෂව සිටින ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගිය 1 වන දා පැල්මඬුල්ලේ පිහිටි තම නිවසට පොදුජන පෙරමුණේ පලාත් පාලන ප්‍රධානීන් ගෙන්වා ඒ ගැන සාකච්ඡා කළ අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවයි.

පසුව ඇමතිනිය පැමිණ සිටි පිරිස අතර ඡන්ද පත්‍රිකා බෙදා හැර ඒ ගැන ඡන්දයක් විමසා තිබෙනවා. එම ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීමෙන් පසු ඇය එහි ප්‍රතිඵල ප්‍රකාශ නොකොට ඒවා රැගෙන පක්ෂ නායකත්වයට දුනුම් දෙන බව පවසමින් කොළඹ බලා පිටත් වූ බවයි වාර්තා වෙන්නේ.

පක්ෂයෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණට ඉදිරිපත් කිරීමේ යෝජනාවට විශාල පිරිසක් විරෝධය පළ කිරීම නිසා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නායකයින් වික්ෂිප්ත වී සිටින බවයි පැවසෙන්නේ.

මෙම යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් පක්ෂයේ බොහෝ දෙනා චෝදනා කරන්නේ නාමල් රාජපක්ෂ මහතාට යි.

නාමල් රාජපක්ෂ මහතාට අවශ්‍ය වී තිබෙන්නේ ව්‍යාපාරික ධම්මික පෙර්රා මහතා ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට බවත්, ඔහුගේ මෙම ක්‍රියා කලාපය නිසා පක්ෂය දෙකඩ වී යෑම ගැන චමල් රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් දැඩි කලකිරීමකට පත්ව සිටින බවත් ආරංචි මාර්ග පවසනවා.

පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ හොත් තමා දේශපාලනයෙන් ඉවත් වී පවුල පිටින් විදේශ ගත වන බවට නාමල් රාජපක්ෂ මහතා තර්ජනය කොට ඇති බවත් ඒනිසා මහින්ද රාජපක්ෂ මහතා නිහඬව සිටින බවත් හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.

මේ අතර නෙළුම් මාවත පක්ෂ කාර්යාලය මඟින් පක්ෂයේ තීරණයට පිටින් ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු ආරම්භ කොට තිබෙනවා.

මාතර දිස්ත්‍රික් මෙහෙයුම් ප්‍රධානී කාංචන විජේසේකර මහතා වෙනුවට නිපුණ රණවක මන්ත්‍රීවරයා පත්කොට ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාත් පත්කොට ඇති බවත් වාර්තා වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධානියා ලෙස පත්කොට ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන ලෙසට ආරාධනා කොට තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයක දී එම මන්ත්‍රීවරුන්ට පොදුජන පෙරමුණෙන් නාමයෝජනා නොලැබුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔවුන්ට නාමයෝජනා ලබාදිය හැකි බව ද ඒ මහතා පවසනවා.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අගෝස්තු 7 වැනි දා ප්‍රකාශයට පත් කරන බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කළා. දැනගන්නට තිබෙන්නේ මීට පෙර ද ප්‍රකාශ කොට තිබූ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරනු ඇති බවයි.

පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීම පැවති දිනට පසු දින එනම් 30 වැනි දා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා නම ප්‍රකාශයට පත් කිරීමට කලින් තිරණය කොට තිබූ බවත් එහෙත් පක්ෂයේ වැඩි දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් එය කල් දැමීමට සිදුවූ බවත් නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.

ඒ හැර ධම්මික පෙරේරා මහතා ද පක්ෂය තුළ පවතින විරෝධය හේතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන තීරණයක් ගත නොහැකි තත්ත්වයක පසු වූ බවත් එහෙත් පක්ෂයේ පූර්ණ ලබා දෙන බවට නාමල් රාජපක්ෂ මහතා සහතික වීම නිසා දැන් ධම්මික පෙරේරා මහතා ඒ සඳහා සූදානමින් සිටින බවත් එම ප්‍රකාශකයා තව දුරටත් ප්‍රකාශ කළා.

මේ අතර විජේරාම මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගේ කිසිදු ප්‍රචාරක රැස්වීමකට නොයන බව මහින්ද රාජපක්ෂ මහතා පවුලේ අයට පවසා ඇති බවයි.

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය පිහිටුවීම අගෝස්තු 08 වන දා සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන උත්සවයක දී සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇතැ යි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

එහිදී දැනටමත් සමගි ජන බලවේගය සමඟ එක්ව සිටින රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ, ජී. එල්. පීරිස් ඇතුළු පිරිස හා අර්ජුන රණතුංග යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේක්ම දයාසිරි ජයසේකර හා එක්සත් ජාතික නිදහස් සන්ධානයේ ලේකම් තිලංග සුමතිපාල යන මහත්වරුන් ද සමගි ජන සන්ධානයට එක්වනු ඇති.

මේ අතර අගමැතිවරුන් තිදෙනෙකුත් ජනාධිපති නියක් ද බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඉතාමත් කනගාටුදායක් තත්ත්වයකට පත් වී තිබෙනවා.

එම පක්ෂය එම පක්ෂයේ වර්තමානයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක මහත්වරුන් ගේ නායකත්වයෙන් පවත්වා ගෙන යන අතර පක්ෂ මූලස්ථානය ද තිබෙන්නේ ඔවුන් ගේ භරයේ. ‍පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන, විජයදාස රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට අධිකරණ නියෝගයක් නිසා පක්ෂයක් ලෙස පෙනී සිටීමට හැකියාවක් නැහැ.

එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ වත්මන් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.

පක්ෂයේ හිටපු ලේකම් දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයට එක්වන බව ඊයේ (03) ප්‍රකාශ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා ද සිය තීරණය දැනුම් දීම සඳහා ඊයේ  පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වී සිටියා.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිමල් ලංසා හා අනුර ප්‍රියදර්ශන යාපා ගේ නව සන්ධානයට එක්වී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ඡන්ද ව්‍යාපාරයට හවුල් වී සිටිනවා.

මේ අතර මව්බිම ජනතා පක්ෂයේ ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, යුතුකම සංවිධානයේ ගවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍ර්‍රී සංසදයේ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් විසින් පසුගිය දා පිහිටුවා ගනු ලැබූ සර්ව ජන බලය පක්ෂය ආරම්භයේ  පටන් ඉදිරියට යන බවකි දක්නට ඇත්තේ.

එම සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ සමුළුවක් අද (04) හවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර එහි ජනාධිපති  අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර පත්වනු ඇති බවයි දැන ගන්නට තිබෙන්නේ..

  -  ජගත්  -