උණුසුම් පුවත්කාලීන

ජගත් ගේ සතියේ සටහන

ජනපතිවරණය, මහ මැතිවරණය එකට? ජනාධිපතිවරණය කල් දැමීමට සැලසුම්???

මේ වසර තුළ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එක ම දිනයක දී පැවැත්වීමේ යෝජනාවක් මේ දිනවල ආණ්ඩුවේ නායකයින් අතර සාකච්ඡා වෙමින් පවතින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

 

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එක ම දිනයක දී පැවැත්විය හැකි දැ යි ආණ්ඩුවේ ප්‍රධානියෙක් මැතිවරණ කොමිසමෙන් විමසා ඇති අතර මැතිවරණ දෙක ඒක ම දිනයක දී පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ඔහුට දැනුම් දී ඇති බව ද දැන ගන්නට තිබෙනවා.

වර්තමාන දේශපාලන වාතාවරණය අනුව මැතිවරණ දෙක ම එක ම දිනක පැවැත්වුවහොත් ආණ්ඩුවට වාසිදායක බව ජනාධිපතිවරයා ගේ උපදේශකයින් පෙන්වා දීම නිසා ආණ්ඩුවේ ප්‍රධානීන් ඒ පිළිබඳව උත්සුක වී ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

මේ වසරේ මැතිවරණ පැවැත්වීම සඳහා භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිෂන් සභාවට වෙන් ‌කොට ඇත්තේ රුපියල් කෝටි 1000 ක් හෙවත් බිලියන 10 ක් බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණා.

එහෙත් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ මේ වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් රුපියල් කෝටි 2000 ක් වැය වෙතැ යි ගණන් බලා ඇති බවයි.

එහෙත් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක දී එකවර පැවැත්වීමෙන් ඡන්ද නිලධාරීන්, ඡන්ද මධ්‍යස්ථාන, මැතිවරණකාලයේ ආරක්ෂාව හා ප්‍රවාහන වියදම් සඳහා වැයවෙන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා පෙන්වා දී ඇති බව ද දැන ගන්නට තිබෙනවා.

එසේ වුවහොත් මැතිවරණ දෙක ම එකම දිනයක පැවැත්වීමෙන් රජයට කෝටි 500 ක පමණ මුදලක් ඉතිරි කරගත හැකිවනු ඇති බවට ගණන් බලා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්වීමට ආණ්ඩුවේ නායකයින් අදහස් කොට ඇත්තේ මැතිවරණ පැවැත්වීමට වියදම් වන මුදුල් අඩු කර ගැනීමට නොව එම මැතිවරණ දෙක එකම දිනයක පවත්වන විට මන්ත්‍රීවරුන් ගේ අවධානය බෙදී යන නිසා බව මේ ගැන විමසු විට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයෙක් ප්‍රකාශ කළා.

එකම දිනයක තිබ්බොත් වාසි කාට ද?

''ජනාධිපතිවරණය මුලින් පැවැත්වුව හොත් සෑම පක්ෂයක ම මන්ත්‍රීධූර අපේක්ෂකයින් තම නායකයා දිනවීමට උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරනවා. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයත් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ පැවැත්වුව හොත් මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයින් තම ජනාධිපති අපේක්ෂකයා දිනවීමට වඩා තමන්ගේ ජයග්‍රහණය සඳහා මහන්සි වෙනවා. එවිට ඔවුන් තුළ තම ජනාධිපති අපේක්ෂකයා දිනවීමට ඇති උනන්දුව අඩු වෙනවා. මේකෙන් වාසි වෙන්නේ ආණ්ඩුවට යි" යනුවෙන් ඔහු තව දුරටත් කියා සිටියා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නායකයින් පවසන්නේ ආණ්ඩුව තම හිතවත් සංවිධාන කිහිපයක් යොදා ගෙන ජනාධිපතිවරණය කල් දමා ඉදිරි මාස කිහිපය තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවයි

කරු ජයසූරිය මහතා ගේ නායකත්වයෙන් යුත් 'සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය' විධායක ජනාධිපතති ක්‍රමය අහෝසි කිරීම සඳහා රට තුළ මතයක් ගොඩනැඟීමේ ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ද අනුග්‍රහය ලැබී ඇතැ යි චෝදනා කරන සමගි ජන බලවේගය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් 2/3 ක ඡන්දයෙන් සම්මත කරගෙන ජනාධිපතිවරණය කල් දමා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන ගෙන යන බව ද පවසනවා.

පසුග්ය 7 වැනි දා ජනාධිපති වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉතිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනාධිපතිවරණය ගැන වචනයක් වත් සඳහන් නොකළ අතර ඔහු ව්‍යවස්ථා සංශෝධනයක් ගැන එහිදී ද සඳහන් කිරීමෙන් පෙනී යන්නේ ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානම යැ යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මේ අතර පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ සංචාරයකට  ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පර්ත් නුවර දී ඉන්දීය රූපවාහිනී මාධ්‍යවේදියකු සමඟ පැවැත් වූ සාකච්ඡාවේ දී ද ප්‍රකාශ කළේ මේ වසරේ ශී ලංකාවේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව යි. පළාත් පාළන මැතිවරණ පවත්වන්නේ 2025 දී බව ද ඔහු එහිදී සඳහන් කළා.

''ඔබ ජනාධිපතිවරණයට තරග කරනවා දැ යි" ඉන්දීය මාධ්‍යවේදියා විමසූ විට ජනාධිපතිවරයා එයට ඍජු පිළිතුරක් දුන්නේ නෑ.

විදෙස් රාජ්‍යයන් ගෙන් ජවිපෙට ඇරයුම්

ඉන්දීය රජයේ නිල ආරාධනාවක් අනුව ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිස ඉන්දියාවේ සිදුකළ පස් දින සංචාරය පිළිබඳව පසුගිය සතිය පුරා ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී තිබුණා.

ජනාතා විමුක්ති පෙරමුණේ පප්‍රචාරක ලේකම් විජිත හේරත්,  ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ එහි ජාතික විධායක මණ්ඩල සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත මහත්වරුන් මෙම පිරිස නවදිල්ලි ගුවන් තොටුපොළේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය විසින් පිළිගැනීම විශේෂ සිද්ධියක් වුණා. සාමාන්‍යයෙන් මහ කොමසාරිස්වරියක හෝ කොමසාරිස්වරයකු හෝ ගුවන් තොටු‌පොළට එන්නේ ජනාධිපති, අගමැති හෝ කැබිනට් ඇමතිවරයකු වැනි ආණ්ඩුවේ ප්‍රධානීන් පිළිගැනීමට යි. එහෙත් ජාතික ජන බලවේගයේ නායකයා පිළි ගැනීමට මහ කොමසිරිස්වරිය පැමිණීමෙන් පෙණී යන්නේ මෙය ඔවුන් ගේ මේ සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‌ගේ අනුමැතිය ලැබී ඇති බව යැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

එමෙන් ම ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නියෝජීත පිරිසේ සංචාරයට විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා. ඉ්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට හිතවත් රූපවාහිනි නාලිකාවක් වාර්තා කළේ ජනමත සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් ම සිටින නායකයා අනුර කුමාර දීසානායක මහතා බවයි.

ඉන්දීය විදේශ ඇමති සුප්‍රමනියම් ජෙයෂංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් චිනායි මොහාන් ස්වට්‍රා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ සාකච්ඡා කිරීම ද ඉන්දීය මාධ්‍යවලට මෙන් ම ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට ද ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත්වී තිබුණා.

ජාතික ජන බලවේගයට ඉන්දීය රජයෙන් ලැබුණු ආරාධනය පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නායකයින් හා ජනමාධ්‍ය විවිධ විවිධ මත පළ කළා. විපක්ෂ නායකයා සිටිය දී විපක්ෂයේ සුළු පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණට ඉන්දීය රජය ආරාධනා කළේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති බවට ඔවුන්ට ලැබී තිබූ නිසා යැ යි බොහෝ අය පවසන්නට වුණා.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න මහතා පැවසුවේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින් සිදුකළ සමීක්ෂණයක දී ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති අනුර කුමාර දිසානායක පවට හෙළිවී ඇති බවත් අනුර සහෝදරයාට ඉන්දියාව ආරාධනා කොට ඇත්තේ ඒ අනුව බවයි.

මේ අතර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන ආයෝජනවල ආරක්ෂාව උදෙසා ඉන්දියාව ජනතා විමුක්ති පෙරමුණු නායකයා ගෙන්වා ගත් බව පොදුජන පෙරමුණු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබුණා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ සමීපතම හිතවතකු වන ගෞතම් අද්‍රානිට අයත් අද්‍රානි සමූහව්‍යාපාරය ශ්‍රී ලංකාවේ උතුරේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්, කොළඹ වරායේ ජැටියක්, ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර කටුනායක, රත්මලාන හා මත්තල ගුවන් තොටුපළවල කළමනාකරණය ද අද්‍රනි ලබාදීම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව ඉන්දියාවේ පළවන 'ද හින්දු' පුවත්පත ඊයේ වාර්තා කර තිබුණා.

මීට පෙර ඉන්දියාව ත්‍රීකුණාමලයේ සාම්පූර් ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමට ගිය අවස්ථාවේ එය නතර කිරීමට සිදුවුණේ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය නිස යි.

එමෙන් ම පශු සම්පත් මණ්ඩලයට අයත් 'මිල්කෝ' කිරි නිෂ්පාදන ආයතන හා ගොවිපළවල් 31 ක් හා ගවයින් ඇති කරන අක්කර 28000 ක භූමියක් ද ඉන්දියාවේ 'අමුල්' කිරි සමාගමට පැවරීමට තීරණය කොට ඇති අතර එම සමාගමේ නියෝජිත පිරිසක් මේ දිනවල එම ගොවිපළවල් පරීක්ෂා කිරීම සඳහා පැමිණ සිටිනවා.

ඉන්දීය සංචාරයේ දී අනුර කුමාර මහතා ඇතුළු පිරිස අහමදාබාද්හි පිහිටි අමුල් ආයතනය නැරඹීමට ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළ බව ද වාර්තා වුණා.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ජාතික ජන බලවේගය ඉන්දීය ආයෝජන පිළිබඳව කුමන මතයක් ප්‍රකාශ කරා වි දැ යි දේශපාලන විචාරකයින් විමසිල්ලෙන් සිටින බව ද වාර්තා වෙනවා.

ඉන්දීය රජය ජාතික ජන බලවේගයට එරටට පැමිණීමට කරන ලද ආරාධනය ගැන ප්‍රධාන විපක්ෂය වන සමග' ජන බලවේගය නොසන්සුන් වී සිටිනවා. විපක්ෂ නායක සජිත් සිටිය දී අනුරට ආරාධනා කිරීම තමන්ට කළ මදිපුංචිකමක් ලෙසටයි සමගි ජන බලවේගයේ නායකයින් කල්පනා කරන්නේ.

සමගි ජන බලවේගයේ නිල පුවත්පත වන 'මව්රට' පුවත්පත හා මව්රට වෙබ් අඩවිය මේ ගැන වාර්තා කොට තිබුණේ ඉන්දීය රජය එරටට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට මීට මාස කිහිපයකට පෙර ආරාධනා කොට තිබුණ ද පාසල්වලට බස් රථ බෙදීම හා සුහුරු පන්ති කාමර පරිත්‍යාග කිරීමේ ඔහුගේ වැඩ පිළිවෙල සඳහා කලින් දින නියම කොට තිබූ බැවින් එම ආරාධනය පිළිනොගත් බවයි.

එහෙත් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබෙන්නේ සමගි ජන බලවේගයේ ප්‍රධානියෙක් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියකු හමු වී සජිත් ප්‍රේමදාස මහතාට ද ඉන්දියාවට පැමිණීමට ආරාධනයක් එවන්නැ යි ඉල්ලා සිටි බවයි. ඒ අනුව මාර්තු මාසයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනයක් එවීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද දැන ගන්නට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ඉන්දියාවට පැමිණෙන ලෙස එරටින් ආරාධනයක් ලැබී තිබූ අතර පසුගිය සඳුදා නවදිල්ලිය බලා පිටත්ව ගියා.

මේ අතර තානාපති අරංචි මාර්ග සඳහන් කරන්නේ ජාතික බන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චං මහත්මිය මැදිහත් වී ඇති බවයි.

බටහිර තානාපතිවරුන් පසුගිය සති කිහිපය තුළ ජාතික ජන බලවේගයේ නායකයින් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී හමුවූ අතර ජුලි චං මහත්මිය ද කිහිප වරක් ම එහි ගොස් තිබෙනවා. ‌

මේ අතර බ්‍රිතාන්‍ය රජයෙන් ජාතික ජන බලවේගයට ලැබී ඇති ආරාධනාවක් අනුව ආචාරිනී හරිනී  අමරසූරිය මන්ත්‍රීවරිය ලබන මාසයේ දී එංගලන්තයේ සංචාරයක යෙදීමට නියමිත යි.

තවද චීනයෙන් ලැබී ඇති ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් මාර්තු මාසයේ චීනයේ සංචාරයක යෙදීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ආරංචි මාර්ග පවසනවා. මෙසේ ලෝකයේ ප්‍රබල රටවලින් ජාතික ජන බලවේගයට සංචාර සඳහා ආරාධනා ලැබීමෙන් පෙනී යන්නේ ලෝක නායකයන් ද ජාතික ජන බලවේගය ඉදිරියේ දී රටේ පාලනය භාර ගන්නා බවට පිළිගෙන ඇති බව යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක දී පවසා තිබුණා .

        

   

 

 

 

   - ජගත් -

2024. 02. 13.