ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේ දී එම පක්ෂයේ විධායක සභික පාර්ලිමේන්තු මන්තී විජිත හේරත් ගේ පිළිතුරු
අද මෙම මාධ්‍ය හමුවේදී රජය තවදුරටත් ණය ගනිමින් රට ණය අර්බුදයක ගිල්වා දැමීම පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා. 2022 අප්‍රේල් 12 වැනිදා, ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් රටක් බවට මහ බැංකු අධිපතිවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ බංකොලොත් බවට පත්වෙන්න ප්‍රධානතම හේතුව අපි ගන්නා ලද ණය ගෙවා ගන්න බැරි තත්වයට රට බංකොලොත් වීමයි. ආණ්ඩුවම කිවූ පරිදි අර්බුදය ඇති වෙන අවස්ථාවේ අපේ සමස්ත ණය බර, දේශීය හා විදේශීය වශයෙන් ඩොලර් බිලියන 83 ක් වී තිබුණා. (ඩොලර් මිලියන 83,000ක්) මේ ණය අර්බුදය රට දිගින් දිගටම මහා ආර්ථික ප්‍රපාතයකට ඇද දැමුවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය: ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි කර ගැනීම දැනට තිබෙන මුදල්වලට අමතරවද? නැතිනම් ඒකට එකතු කර ගන්නා මුදලක්ද?
පිළිතුර: කලින් වෙන්කර ගත්තා කෝටි 600 කට ආසන්න ප්‍රමාණයක්. ඊට අමතරව තමයි මේ කොටි 875 ක මුදලක් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට එකතු කරන්න යන්නේ. ඒ කියන්නේ අමතර එකතු කිරීමක්. පරිපූරක ඇස්තමේන්තුවකින් වියදමක් විදිහට අලුතින් එකතු වෙනවා.
ප්‍රශ්නය: නායකයින්ගේ විවාදය පිළිබඳ දැන් තත්වය මොකක්ද?
අපිට නිල වශයෙන් ආරාධනාවක් කළා. අපි ඒ ආරාධනාව බාරගෙන විවාදයට සම්බන්ධ වුණා. ඒකට එන එක සජිත් ප්‍රේමදාසගේ වගකීම. සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනිය ප්‍රතික්ෂේප කර නැහැනේ. දවස් කිහිපයකට පෙර තිබූ විවාදවලදිත් හර්ෂණ රාජකරුණා තුලාව වැඩසටහනට සම්බන්ධ වෙනවා. අදටත් ඒ පක්ෂයේ මන්ත්‍රීවරු මේ රූපවාහිනි ආයතනයට සම්බන්ධ වෙනවා. දැන් ඔවුන් රූපවාහිනී ආයතනයට ගහන්න පටන්ගෙන තිබෙනවා. මේක විහිළුවක්. ජනතාව මේ ගැන දන්නවා. අපට කා සමගවත් පෞද්ගලික ඩීල් නැහැ. ජනතාව ඉදිරියේ විවෘතව සියලු දේවල් සිදුකරන්නේ.
ආර්ථිකය ගැන කතා කරන්න වෙනම කෙනෙක් ඕන බව කීවා. සජිත් ආර්ථිකය ගැන දන්නේ නැහැ කියන එක තමයි එහි අදහස. ඒ නිසා තමයි ආර්ථිකය ගැන ඔයා වෙනම කට්ටියක් එක්ක කතා කරන්න, මා එක්ක වෙන ඒව කතා කරන්න කීවේ. එහෙම වෙන්න බැහැ.
දැන් දිස්ත්‍රික් කමිටුවලට මුදල් වෙන්කරනවා. ඒ කමිටුවලට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ඉදිරිපත් කරන යෝජනා අනුව තමයි ප්‍රතිපාදන වෙන්කරන්නේ. මීට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදනයක් වෙන්කෙරුණා. වෙන වෙනම මුදල් වෙන්කිරීමක් සිදුවුණේ නැහැ. අයවැය කතාවෙත් ඉතා පැහැදිලිව තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු කාටවත් දිස්ත්‍රික් වැඩ සඳහා මන්ත්‍රී ප්‍රතිපාදන පසුගිය කාලයේ වෙන් කළේ නැහැ. හැබැයි ස.ජ.බෙ. මන්ත්‍රීවරු දහනමදෙනෙකුට වෙනම රනිල් මුදල් වෙන්කරනවා. කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි එයින් කිහිපදෙනෙක්. රුපියල් මිලියන 1206 ක් ස.ජ.බෙ. මන්ත්‍රීවරු දහනමදෙනෙකුට වෙන්කරනවා. මේක තමයි ඩීල් එක. මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව අයවැයේ මුදල් වෙන් නොකරන බවට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. සල්ලි දෙන්නේ දිස්ත්‍රික් කමිටුවට පමණයි කීවා. එසේ තිබියදී හොර පාරෙන් ඩීල් දාලා මුදල් වෙන්කරනවා. ස.ජ.බෙ. මන්ත්‍රීවරුම මේ ගැන පරස්පර කතා කියන්න පටන් ගත්තා. මේ ඩීල් එක තිබෙන්නේ ස.ජ.බෙ. සහ රනිල් කණ්ඩායම් අතර. මේ දෙගොල්ලක් නොවෙයි. මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර වෙනස මොකක්ද? එකම ප්‍රතිපත්තිය නියෝජනය කරන කණ්ඩායමක්, දෙකට බෙදී ඉන්නවා. අපි ජනතාවට කියනවා මේවට අහුවෙන්න එපා. ඒගොල්ලෝ ඩීල් දාන ගමන් තමන්ට විවාද කරන්න බැරිකමට, විවාදෙට එන්න බැරි බංකොලොත්කම වහගන්න හදනවා. ඔවැනි ප්‍රකාශ කරන්න කරන්න විහිළුකාරයෙක් බවට පත්වෙන්නේ සජිත් ප්‍රේමදාසම තමයි. එයාගේ ගෝලයෝ මේක මඩේ දමා හෝදන්න හෝදන්න තවදුරටත් හෑල්ලු වෙන්නේ ඒගොල්ලන්ගේ නායකයාම තමයි.
ප්‍රශ්නය: යාපනයේ සංචාරයේදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා?
පිළිතුර: ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීම අරමුණු කරගෙන එවැනි මතයන් දරන විවිධ කණ්ඩායම්, සමග සාකච්ඡා කර, ඒ පිළිබඳ වාද විවාද කර, ජාතික ප්‍රශ්නය විතරක් නොවෙයි, අනෙකුත් ප්‍රශ්නවලටත් සම්මුතියකට ඒමට අපි උත්සාහ කරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යල්පැන ගොස් තිබෙන්නේ. ලෝකය අලුත් වෙලා. රටත් අලුත් වෙලා. අපි රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා. දැනටත් අපි වැඩකටයුතු කරමින් යනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කරනවා. ජනතාවගේ ජන මතයකින් අනුමත කර ගන්නවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළෙ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා වුණු සියලු දෙනාගේ එකඟත්වයෙන් ඇතිවෙන ස්ථිර විසඳුමකුත් අපි ඉදිරිපත් කරනවා. ඒක තමයි අපේ ස්ථාවරය.
ප්‍රශ්නය: ඒ කියන්නේ 13 ට එහා ගියපු එකක්ද?
පිළිතුර: විවිධ පාර්ශ්වයන්ගේ සාකච්ඡාවේ සම්මුතියෙන් ඇතිවෙන විසඳුමක් තමයි එන්නේ. ඒ පිළිබඳ සාකච්ඡා තවම පටන්ගෙන නැහැ.
ප්‍රශ්නය: ඊයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අහනවා, ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් යටතේ කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නේ කියලා.
පිළිතුර: පළමුවෙන්ම ක්‍රිකට්වලට තිබෙන දේශපාලන ඇඟිලි ගැසීම් නවත්වනවා. ක්‍රිකට් විතරක් නොවෙයි, අපේ ලංකාවේ සෑම ක්‍රීඩාවක්ම දේශපාලන ඇඟිලි ගැසීම් නිසා කුණු කරලා, නැති කරලා තියෙනවා. ඒක ක්‍රිකට්වලට විශේෂයෙන් බලපානවා. ඔබ දකින්න ඇති පසුගිය ඉතිහාසය පුරාවටම දේශපාලන ඇඟිලි ගැසීම්වල බරපතළකම. මේක වෙනස් කිරීම සඳහා ක්‍රිකට් සඳහා පනතක් හදන්න කමිටුවක් පත් කළා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන්. ඒ වාර්තාව ඉදිරිපත් කර, වසරකටත් වැඩි කලක් වෙනවා. හරින් ප්‍රනාන්දුලා තවම ඒක ක්‍රියාවට නැගුවේ නැහැ. අපි හරීන්ලට බලකරනවා, ඒ කමිටුවෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම් වෙලා ක්‍රිකට් බෝඩ් එක පත්කිරීම පිළිබඳවත්, ක්‍රිකට්වලට දේශපාලනය ඉවත් කිරීම සඳහා වුණු පනත් කෙටුම්පත ඉක්මනින් ගේන්න. අපේ පාලනයක් යටතේ රටක ආර්ථිකය සංවර්ධනය සඳහා ක්‍රීඩාව අත්‍යවශ්‍යයි. ජනතාවගේ කායික, මානසික, සෞඛ්‍යය වර්ධනය මත තමයි නිෂ්පාදනය ඉහළ දැමිය හැකි වන්නේ. අපේ ක්‍රීඩා ප්‍රතිපත්තිය තුළ දේශපාලනයෙන් තොරව ස්වාධීනව පවත්වාගෙන යන්න වටපිටාව සකස් කරන නීති ගෙනත් පැහැදිලිව ක්‍රියාත්මක කර, ක්‍රිකට් දේශපාලනයෙන් මුදා ගන්නවා. ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවය අනුව ඒ හැකියාවන් පෙන්වන්න පුළුවන්. රටට ජාතික අභිමානයක් ගෙනඒමට හැකි වෙනවා. අපි හරීන්ලට කියනවා දැනට ඉදිරිපත් කර තිබෙන චිත්‍රසිරි කමිටු වාර්තාව මත පදනම් වෙච්ච පනත ගෙනත් සම්මත කර ගන්න. ඇඟිලි ගැසීම් නතර කරන්න.