මේ පාලකයන් අසමත්භාවයේ පතුළට ම ගිහිල්ලා - අනුර කියයි
පසුගිය මාස කිහිපයේ ඡන්දෙ තියයිද නොතියයිද සාකච්ඡාව සමාජයේ තිබුණා. ඒ රනිල් වික්‍රමසිංහ ඡන්දෙට මුහුණ නොදී බලෙන් බලයේ රැඳී සිටීම සඳහා කටයුතු කරමින් සිටි නිසයි. ඔහු පොට්ට චාන්ස් එකකින් ජනාධිපති පුටුවේ වාඩිවුණා. ඡන්දෙකට ගියොත් පුටුවෙන් බිම. ඒ නිසා ඡන්දෙ මඟහරින්න ජනාධිපති ධූර කාලය ගැන අධිකරණයෙන් විමසුවා. ඒ විමසීම නිසා ලක්ෂයක දඩයක් නියම කළා. නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 ව්‍යවස්ථාව සංශෝධනය වැරදි බව දක්වමින් එය නිරාකරණය කර ගන්නා තෙක් ඡන්දෙ පස්සට දාන්න නඩුවක ගොනු කළා. නඩුව ඉදිරිපත් කළ අයට ලක්ෂ පහක දඩයක් ගැහුවා. ඊළඟට 22 වන සංශෝධනය අවුරුදු පහ ලෙස තහවුරු කර ගන්න සංශෝධනයක ගේන්න ඕන කිවුවා. ඒ ක්‍රියාමාර්ගය සම්පූර්ණ වෙන කොට ජනාධිපතිවරණය පවත්වලා රනිල් ගෙදරත් ගිහිල්ලා.
දැන් පළාත් සභාවල බලය තිබෙන්නේ ආණ්ඩුකාරවරයාට. රනිල් වික්‍රමසිංහ කිවුවා ආණ්ඩුකාරවරයාට පුළුවන් සම්බන්ධීකරණ ලේකම්වරු පත්කරන්න කියලා. එහෙම කියලා ප්‍රාදේශීය සභාපතිවරුන්ට බලය දෙන්න ගියා. මැතිවරණ කොමිසම ඒක නතර කළා. ඊළඟට රනිල් වික්‍රමසිංහ සැලසුම් කළා ගම්වල ප්‍රජා උපදේශන කමිටු වගේ ජාතියක් හදලා හිතවත් පාක්ෂිකයන් හරහා ආණ්ඩුවේ සල්ලි වියදම් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකත් නතර කළා. තව සැලසුමක් තිබුණා යම් යම් චෝදනාවලට ලක්වී සිටි පොලිස් නිලධාරී මහත්මයෙක් පොලිස්පති ලෙස පත්කරන්න. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිගේ වැඩ තහනම් කළා. දැන් පොලිස්පති කෙනෙක් පත් කරන්න ඕනෑ. ව්‍යවස්ථාව අනුව පොලිස්පති පත්කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ජනාධිපතිවරයා ඒකටත් ගැටයක් ගහන්න හදනවා. පොලිස් දෙපාර්තමේන්තුව අඩාල කරන්න ට්‍රයි එකක් දෙනවා, ඡන්දෙ එතනින් නතර කරන්න පුළුවන්ද බලන්න. ඊට පස්සේ කසුකුසුවක් යවනවා ජනාධිපති ඡන්දෙ අස්සේ පාර්ලිමේන්තුවත් විසුරුවා හරිනවා කියලා. එහෙම වුණොත් රනිල් එදාම ගෙදර යනවා. ජාතික ජන බලවේගයත් එක්ක එකතුවෙලා ජනතාව ආරම්භ කර තිබෙන රනිල් වික්‍රමසිංහත්, එයාගේ පැළැන්තියේ කට්ටියත් මොන ගැට ගැහුවත් වළක්වන්න බැරි තැනකට මේ දේශපාලන ගමන වර්ධනය වෙලා තියෙනවා.
මෙතන ඉන්න අය අවස්ථා ගණනාවකදී ඡන්දෙ දීලා තිබෙනවා, තමන්ගෙ ප්‍රශ්න විසඳ ගන්න, රට හදන්න. අවසානයේ රට ආර්ථික වශයෙන් කඩා වැට්ටුවා. ලෝකය වේගයෙන් ඉස්සරහට ගියා. 1980 වියට්නාමයේ අපනයන ආදායම කෝටි 40 යි. ලංකාවේ අපි කෝටි 150 යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 යි. වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 420 යි. දකුණු කොරියාව 1950 දි අපනයන ආදායම ඩොලර් මිලියන 25 යි. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 316 යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 යි. දකුණු කොරියාවේ ආදායම ඩොලර් බිලියන 685 යි. මේ මහින්දලා, රනිල්ලා, දිනේෂ්ලා වසර ගණනාවක් පාලනය කළ රට. අද අපි අනෙක් රටවල්වලට වඩා ගොඩාක් පස්සට ගිහින් තිබෙනවා. සුක්කානම කාගෙ අතේද තිබුණේ. මේ පාලකයන් අසමත්භාවයේ පතුළටම ගිහිල්ලා තිබෙනවා. රට පස්සට ගියා. ඒගොල්ලන්ට රට ඉස්සරහට ගෙනියන්න වුවමනාවක් තිබුණේ නැහැ. තමන්ගේ පැවැත්මට පොඩි පොඩි වැඩ කරනවා. ඊට පස්සේ ඡන්දෙ කාලෙට ඇවිත්, පාර හැදුවා, ලයිට් දුන්නා, බෝක්කුව හැදුවා කියලා ඡන්දෙ ගන්නවා. එහෙම කියලා ඡන්දෙ අරගෙ තමන්ගේ පැවැත්මට වැඩ කරනවා. එයාලා ඉස්සරහට ගියා. රට පස්සට ගියා. අනෙක් රටවල නායකයෝ කටයුතු කළේ රට ඉස්සරහට ගෙනියන්න. ඒ රටවල් ඉස්සරහට ගියා. අපේ නායකයෝ රටටත්, ජනතාවටත් මොන හෙණයක් පාත් වුණත් කමක් නැහැ, ඒ ගොල්ලෝ ගොඩයන්නේ කොහොමද කියලා හිතුවේ. ඒ ගොල්ලන්ට ආර්ථිකය කඩා වැටුණා කියලා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වේදනාවේ වින්දිතයන් වුණේ නැහැ. තෙල් පෝලිම් ආවට ප්‍රශ්න තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පෝලිම්වල ඉන්නේ නැතිව තෙල් ගහගන්න වෙනම ෂෙඩ් එකක් නම් කළා. ජනතාව දවස් දෙක තුන පෝලිම්වල හිටියා. ඒකෙන් තෙල් නොගහපු එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. තෙල් මිල ඉහළ යනකොට ජනතාවට දරා ගන්න බැරිවෙනකොට මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයකින් තෙල් දීමනාව වැඩි කළා. ඒ දීමනාව ගත්තේ නැති මන්ත්‍රීවරු ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. රට මොනතරම් ප්‍රපාතයට වැටුණත් ඒවායේ වින්දිතයන් බවට පත් වුණේ නැහැ. වේදනාවට, පීඩාවට පත් වුණේ නැහැ. තෙල් නැති වෙන්නේ ඒගොල්ලන් හදපු ප්‍රතිපත්ති නිසා. ඒ ගොල්ලන්ට පෝලිම් නැතිව තෙල්. ජනතාවට පෝලිමේ තෙල්. ජනතාව කොළ පාටින්, නිල් පාටින්, මොන පාටකින් හෝ ඡන්දය දුන්නත් එහි අවසාන ප්‍රතිඵලය මේකයි.
මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නාමල් කරුණාරත්න හා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න යන මහත්වරු න කතා කළහ.