උණුසුම් පුවත්දේශපාලනවිදෙස්

ජනපති, එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුව

මහලේකම්වරයා විසින් ජනපති අනුර ගෞරවයෙන් පිළිගත් අයුරු

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිව්යෝර්ක් නුවර දී  එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා  එම මූලස්ථානයේදී 25 වෙනිදා මුණ ගැසුණි.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ගිය ජනාධිපතිවරයා, මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබිණි. අනතුරුව ඔවුහු සුහද කතාබහකටද එක් වූහ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජයීය සහ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේ ය.

ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළ මෙහිදී අගය කළ මහලේකම්වරයා, ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත්, ඊට පූර්ණ සහයෝගය පළ කරන බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

♣️♣️♣️♣️♣️♣️♣️

ජනපති ඇමරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදු කළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 25 වෙනි දා රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව ගියේය.

ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.