බන්ධනාගාර කොමසාරිස් නඩු දැම්මොත් ආණ්ඩුව අමාරුවේ - උදය ගම්මන්පිල
ජනාධිපති ලේකම් හා අධිකරණ ලේකම්ද අත්අඩංගුවට ගත යුතු බවත් නොඑසේව බන්ධනාගාර කොමසාරිස් නඩු දැම්මොත් ආණ්ඩුව අමාරුවකට වැටෙන බවත් නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.
'‘බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් ඒ විධියටම අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගන්න ඕනෑ’' යයි පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවක දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ය.
"ආණ්ඩුව විසින් රට නොමග යවමින් බොරු කියමින බහාලුම් 323 ක මහා වංචාව රටෙන් සගවමින් කටයුතු කරනවා. ඒ නිසා ඒ වංචාවේ සැබෑ ස්රුපය රටට හෙළි කරලා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන තුරු අපි මේ සිද්ධිය රටේ ජනතාවට අමතක වෙන එක වලක්වන්න 323 අංකය සහිත කළුපටිය බැඳගෙන මාධ්‍ය හමු පවත්වන්න තීරණය කරලා තියෙනවා. මේ කළුපටිය අපෙන් ඉවත් වෙනවා දකින්න නම් ආණ්ඩුව විසින් මේ මහා වංචාවේ වැරදිකරුවන් කොතරම් ඉහළ තනතුරක සිටියත් තරාතිරම නොබලා සියලුදෙනාට දඩුවම් කළ යුතුයි"
''ජනාධිපතිතුමා විසින් සමාව ලබා නොදුන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයාත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාත් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව තීරණය කළා. කවුද වැරදි කියලා තේරුම් ගන්න නම් ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය මුලින්ම තේරුම් ගන්න ඕනැ. සමාව දීමේ නිර්ණායක සඳහන් කරලා මේ නිර්ණායක වලට අයිති සිරකරුවන්ගේ ලැයිස්තුවක් ජනාධිපති ලේකම්ට එවන්න කියලා ජනාධිපති ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යවනවා. ඒ ලිපිය අමාත්‍යාංශ ලේකම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට යවනවා. කොමසාරිස් ජනරාල් මේ ලිපිය සෑම බන්ධනාගාරයකම අධිකාරිට යවනවා. එතකොට ඒ නිර්ණායක අදාළ වන සිරකරු ලැයිස්තු අධිකාරිවරු හදලා ජනරාල් සහ ලේකම් හරහා ජනාධිපති ලේකම්ට යවනවා. ජනාධිපති ඒකට අත්සන් කරනවා"
දැන් මේ ලැයිස්තුව නැවත ජනාධිපති ලේකම් අමාත්‍යාංශ ලේකම් සහ කොමසාරිස් ජනරාල් හරහා බන්ධනාගාර අධිකාරිවරුන්ට යනවා. එහෙම නම් සිරකරු නමක් හොරෙන් ඇතුළු කරන්න පුළුවන් හතරදෙනෙකු ඉන්නවා. ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම්, කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර අධිකාරි. නම ඇතුළු කලේ බන්ධනාගාර අධිකාරි නම් අධිකාරි අත්අඩංගුවට ගන්න ඕනැ. හැබැයි කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගන්න හේතුවක් නෑ. නම ඇතුළු කළේ කොමසාරිස් ජනරාල් නම් කොමසාරිස් ජනරාල් ඇතුළෙ ඉන්න අතරේ අධිකාරි එළියේ ඉන්න ඕනැ. මේ දෙන්නාම එකවර ඇතුළෙ ඉන්න පුළුවන් කමක් නෑ. වගවීම යටතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් මේ කාරණයට සම්බන්ධ ඊටත් ඉහළින් තවත් දෙදෙනෙකු ඉන්නවා. ඒ තමයි අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්. වගවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් ඒ විධියටම අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගන්න ඕනෑ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරින් පිරිසක් ඇවිත් මාව හමු වී මේ සිදුවීම පැහැදිලි කළා. වෙසක් පෝයට සිරකරුවන්ට සමාව ලබා දීමේ ක්‍රියාදාමය පැහැදිලි කළා. ඒ අය කියන විධියට ජනාධිපතිතුමා විසින් සිරකරුවන් නිදහස් කිරීමේ නිර්ණායක ලබා දුන්නාට පස්සේ සමහර සිරකරුවන් වෙසක් පෝය දවසේම නිදහස් වෙනවා. ඒ අයගේ නම් ලැයිස්තුව ජනාධිපතිගේ අත්සනට යවනවා. සමහරුන්ට හිරේ ගත කළ සෑම වසරකටම සතිය බැගින් සිර දඬුවම අඩු කිරීමේ සමාවක් ලැබෙනවා. එතකොට අවුරුදු 10 ක් හිටිය සිරකරුවෙකු නම් එයාගේ දඩුවම් කාලය සති 10 කින් අඩු වෙනවා. අවුරුදු පහක් නම් සති පහයි අඩු වෙන්නේ. ඒ අය නිදහස් වෙන්නේ වෙසක් පෝය දවසේ නොවේ. ඒ අයගේ අඩු වුණු සිර දඬුවම ගෙවී අවසන් වන දවසේ. අනුරාධපුරයේ සිරකරු දඩයක් ගෙවා ගන්න බැරිව සිරගත වෙලා ඉන්න අතරේ ජනපති සමාවෙන් දඩය අහෝසි වුණා. ඒත් තවත් නඩු ගණනාවකට රක්ෂිත බන්ධනාගාර වෙලා සිටිය නිසා පෝය දවසේ එළියට යන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ නඩු වලට ඇප ලැබුණාම ඔහුට එළියට යන්න අවස්ථාව ලැබුණා. හරි හෝ වැරදි මේක තමයි ඉතිහාසය පුරා ක්‍රියාත්මක වුණු ක්‍රමවේදය.
තුෂාර උපුල්දෙණිය කියන්නේ දේශපාලකයින්ට කඩේ යන්නේ නැති සෘජු නිලධාරියෙක්. මේ කලබගෑනිය ආණ්ඩුව දැක්කේ කොමසාරිස් ජනරාල්ව ඉවත් කරලා ඒකට අපේ ඉත්තෙක් දා ගන්න තිබෙන ස්වර්ණමය අවස්ථාව විධියටයි. ඒකයි ඔහුව අනිවාර්රය නිවාඩු යවන්න ආණ්ඩුව තීරණය කළේ කියලයි අපට හිතෙන්නේ. රෝයල් පාර්ක් මරණයට වැරදිකරු වුණු ජයමහට ජනාධිපති සමාව ලබා දීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව විධායකයට අත්තනෝමතිකව තීන්දු ගන්න බෑ. ඒ සෑම තීන්දුවක්ම තාර්කික සහ සාධාරණ වෙන්න ඕනැ. උපුල්දෙණිය පිළිබඳ කිසිම මූලික විමර්ශනයක් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් නොවී ඔහුව අනිවාර්රය නිවාඩු යැවීමට ඇමති මණ්ඩලය තීරණය කිරීම අත්තනෝමතික තීරණයක්. ඒක උසාවිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න උපුල්දෙනිය මහතා කටයුතු කලොත් ආණ්ඩුව අමාරුවේ වැටෙනවා.
ජනාධිපතිට හොරෙන් කවුරු හරි ජනාධිපති සමාව දෙනවා නම් ඒකෙන් පේන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ජනාධිපතිගේ ග්රහණයෙන් මිදිලා කියන එකයි. මේ ගැන අපූරු සමාජ මාධ්‍ය සටහනක් මම දැක්කා. “ජනපතිට හොරෙන් ජනපති සමාව දීලා. ජනපති සීඅයිඩී යයි. අනුර සහෝ, දීපන් ඔය ජනපතිකම ළමයෙකුට”
බහාලුම් 323 ගැන ප්‍රශ්න කරන්න ජනපති, වරාය ඇමති සහ රේගු ලොක්කන් සීඅයිඩියට
පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පැවැත්වූ රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා බොරු වැලක් ප්‍රකාශ කළා. ඒ වගේම වරාය භාර ඇමති බිමල් රත්නායක මැතිතුමාත් මාධ්‍ය හමුවක බොරු වැලක් ප්‍රකාශ කලා. ඒ අයගේ අරමුණ වුණේ ඇත්ත කීම වෙනුවට නොඅදාල කරුණු ඉදිරිපත් කරලා ජනතාව ව්‍යාකූල කරන්න. ප්‍රකට ඉංග්‍රිසි කියමනක් තිබෙනවා “if you can’t convince, then confuse” කියලා. ඒ කියන්නේ තමන් හරි යැයි එත්තු ගන්වන්න බැරි නම් අදාල නැති දේවල් කියලා ඒ අයව ව්‍යාකූල කරලා දාන්න. දැන් මේ බහාලුම් 323 සම්බන්ධයෙන් ආණ්ඩුව කරමින් ඉන්නේ ඒකයි.
බිමල් රත්නායක ඇමතිතුමාත් සීවලි අරුක්ගොඩ මහතාත් කියන දෙන්නාම කියනවා ලෝකයේ කිසිම රටක හැම බහාලුමම පරික්ෂා කරන්නේ නෑ. බහුතරයක් යවන්නේ කොල පාට මාර්ගයේ නැතිනම් ග්‍රීන් චැනල් එකෙන් කියලා. දැන් කවුද නෑ කිව්වේ? දැන් කවුද කොල පාට මාර්ගයේ යවන බහාලුම් පරික්ෂා කළ යුතුයි කියලා කිව්වේ? සාතිශය බහුතරයක් බහාලුම් කොල පාට මාර්ගයේ යවන එකටවත් ඒවා පරික්ෂා නොකර ඉන්න එකටවත් කවුරුවත්ම විරුද්ධ වෙලා නෑ. අපේ විරෝධය තිබෙන්නේ පරිගණක පද්ධතිය විසින් රතු ලේබය අලවා අනිවාර්රයෙන්ම පරික්ෂා කළ යුතු බවට නියම කළ බහාලුම් 323ක් පරික්ෂා නොකර නිදහස් කිරීම ගැන පමණමයි. ඒ නිසා අදාළ නොවන බොරු කියමින් ජනතාව නොමග යවන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.
තමන්ගේ ප්‍රධානත්වයෙන් තිබුණු කමිටුවක් මගින් රතු ලේබල් කළ බහලුම් 323ක් නිදහස් කලේ කිසිම දේශපාලන බලපෑමකින් තොරව බවට සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කලා. නමුත් ජනවාරි මාසයේ මාධ්‍ය අමතමින් වරාය භාර නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු මැතිතුමා ප්‍රකාශ කලේ වරායේ ඇති වුණු තදබදය නිසා කන්ටේනර් 600ක් 800ක් විතර පරික්ෂා නොකර එළියට දාන්න අපි අද උපදෙස් දුන්නා කියලා. ඒ වගේම රේගු අධ්යක්ෂ ජනරාල් ජනවාරි 29 මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිව්වේ ජනාධිපති සහ ඇමති බිමල්ගේ උපදෙස් මත මෙම බහාලුම් නිදහස් කළා කියලා. අරුක්ගොඩ මහතාට ඉහලින් ඉන්න දෙන්නෙක් දේශපාලනඥයින්ගේ උපදෙස් මත කලා කියන විට එතුමා මාධ්‍ය ඉදිරියට ඇවිත් මෙහෙම බොරු කියන්නේ කාව බේරා ගන්න ද?
ඒ වගේම මේ රතු ලේබල බහාලුම් පිට කර ගැනීමේ යටි අරමුණින් ව්‍යාජ බහාලුම් තදබදයක් කෘතිම හැදුවා කියලා කියන්නේ මම නොවේ රේගු වෘත්තිය සමිති සංධානය. මේ සංධානය විසින් මේ ගැන කියලා 2025 ජනවාරි 21 දින රේගු අභ්‍යන්තර ඒකකයේ අධ්‍යක්ෂට ලිපියක් යවනවා. එහෙම නම් මේ කෘතිම තදබදය ඇති කිරීම ගැන තමයි සීඅයිඩිය මුලින්ම ප්‍රශ්න කරන්න ඕනි. නමුත් අද වන තුරු රේගු වෘත්තිය සමිති සංධානයේ නායකයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නෑ. ඊ ළඟට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රේගු අධ්යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන්නේ තමන්ට මේ සඳහා උපදෙස් ලැබුණේ ජනාධිපතිතුමාගෙන් සහ වරාය ඇමතිතුමාගෙන් කියලා. ඒ ගැන රේගු අධ්යක්ෂ ජනරාල්ගෙන් ප්‍රශ්න කරලා නෑ. ඇත්තටම මෙහෙම උපදෙසක් දුන්නා ද කියා ජනාධිපතිගෙන් සහ වරාය ඇමතිතුමාගෙන් ප්‍රශ්න කළ යුතු වුවත් මේ දක්වා කරලා නෑ. ඒ වගේම අපි තමයි මේ බහාලුම් පරික්ෂා නොකර නිදහස් කරන්න උපදෙස් දුන්නේ කියලා වීර වාක්‍ය කියපු වරාය නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු මැතිතුමාවත් ප්‍රශ්න කළ යුතුයි. ඒ කිසිවෙකු ප්‍රශ්න නොකර මේ වරද පෙන්වා දෙන අපිව ප්‍රශ්න කිරීම ආණ්ඩුවේ හෙළුව ප්‍රදර්ශනය කිරීමක්.
ඉන්දියානු ගිවිසුම් ප්‍රසිද්ධ කිරීම පිළිබඳ ආණ්ඩුව දෙබිඩි පිලිවෙතක. සමහරු දෙති. සමහරු බෑ කියති.
පසුගිය අප්‍රේල් 5 දා ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුම් හතක් අත්සන් කළා. අපි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ ගිවිසුම් හතේ පිටපත් ඉල්ලා අදාළ අමාත්‍යාංශ වලට ලිපි දැම්මා. බලශක්ති අමාත්‍යාංශය විසින් තෙල් ටැංකි සංවර්ධනය පිළිබඳ ගිවිසුම වගේම විදුලි රැහැන් වලින් ඉන්දියාවට සම්බන්ධ කිරීම පිළිබඳ ගිවිසුම අපට එවලා තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය විසින් නැගෙනහිර පලාත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම අපට එවලා තිබෙනවා. නමුත් ඩිජිටල් අමාත්‍යාංශය විසින් ඉන්දියාවේ එකඟතාවයෙන් තොරව ප්‍රසිද්ධ කරන්න බැරි නිසා ලබා දෙන්න විධියක් නෑ කියලා ලිපියක් එවනවා. එතකොට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම් අත්සන් කරන්නේ ඉන්දියාව නමින් තිබෙන රටවල් දෙකක් එක්ක ද? ඇත්තටම ඉන්දියාවට ගිවිසුම් සඟවන්න ඕනි නම් සඟවන්න ඕනි ඒ අයගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඉන්දියාව ඇතුලේ දේවල් කරන තෙල් නල ගිවිසුම සහ විදුලි රැහැන් ගිවිසුම. ඩිජිටල් ගිවිසුම ඒ අයට බලපෑමක් නෑ. ආණ්ඩුවේ ලොකුම ප්රශ්නය ආයතන එකිනෙකට පරස්පරව කටයුතු කිරීමයි. ඒ නිසා ඉන්දියානු ගිවිසුම් සම්බන්ධයෙන් බොරු කියන්න ඕනි නම් කතා වෙලා එක බොරුවක් කියන්න යැයි අපි ආණ්ඩුවට කියනවා.
