උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024

ජාතික ජන බලවේගයේ ඇඹිලිපිටි‌යේ රැලිය

අපේ රටට අලුත් පාලනයක් උදාකර ගැනීමේ තීරණාත්මක ඡන්දයක් සැප්තැම්බර් 21 පැවැත්වෙනවා. රනිල් වික්‍රමසිංහලා පළාත් පාලන ඡන්ද, පළාත් සභා ඡන්ද, නොපවත්වා කට්ටි පනිමින් හිටියා. සැප්තැම්බර් 21දාට බෙල්ලෙන්ම අහුවෙලා තිබෙනවා. ජනාධිපති ඡන්දය දිනුවාම අනෙක් ඡන්ද චන්ද්‍රිකා වැවේ සොරොව්ව ඇරියා වගේ වෙනවා. අනෙක් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ යුතුමයි. අපේ රටේ ජනතාවට මේ පාලකයන් පළවා හරින්න තීන්දුවක් ගන්න මෑත සිදුවීම් හොඳටම ප්‍රමාණවත්.

මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන කථිකයා වුණේ පවිත්‍රාදේවි. රනිල් වික්‍රමසිංහ රට විනාශ කළ බවත්, හම්බන්තොට වරාය විකිණූ බවත්, මහ බැංකු මංකොල්ලය සිදුකළ බවත්, ඒ නිසා රනිල් කඳවුර පරාජය කොට මහින්ද කඳවුර දිනවිය යුතු බවත් එයා කිවුවා. දැන් එයා රාජපක්ෂ පරාජය කරන්නත් වික්‍රමසිංහ දිනවන්නත් කතා කරනවා. මේ එන්නේ ජනතාව ගැන හිතලද? මේ අමාත්‍ය ධුරයකට, වරදාන වරප්‍රසාදවලටයි. ජෝන් සෙනෙවිරත්න අද රනිල්ගේ කිහිලිකරුවක් වෙලා. මේ අයගේ දේශපාලනය තේරුම් ගන්න මේකම ප්‍රමාණවත් නැද්ද? සජිත් පේමදාස පරාජය කරවන්න, ඩලස්, ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා වේදිකාවල කෑමොර දුන්නා. අද ඒ ගොල්ලන්ම සජිත් දිනවන්න කතා කරනවා. අද, ස.ජ.බ.යේ සභාපති ෆොන්සේකා එළියේ. පොහොට්ටුවෙ සභාපති ජී.එල්. පීරිස් ඇතුලේ. මේ දේශපාලන විගඩම නතර කරන්න ඕනෑ නැද්ද? එහෙට මෙහෙට පනින දේශපාලනය නවත්වන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් තවත් නීති ශක්තිමත් කොට, පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි කරනවා.

මේ රටේ දුප්පත්භාවය අවසන් කරන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. අපි ආර්ථික සැලැස්මක් හදා තිබෙනවා. ඒ සැලැස්ම රට පොහොසත් කරන සැලැස්මක්. මැණික් කර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, තේ කර්මාන්තය නගා සිටුවීමෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගන්න පුළුවන්. ගම්මිරිස් වගාව, කුරුඳු වගාව හොඳ ආදායම් උපදවා ගත හැකි අවස්ථායි. ඒ විතරක් නොවෙයි සාම්ප්‍රදායික නොවන අලුත් දේවල්වලට අපේ ආර්ථිකය හරවන්න ඕනෑ. අයි.ටී. කර්මාන්තය කියන්නේ ලෝකයේ වර්ධනය වෙන කර්මාන්තයක්. ඉන්දියාව අයි.ටී. කර්මාන්තයෙන් ඩොලර් බිලියන 253ක ආදායමක් උපදවනවා. අපේ මුළු ආර්ථිකයම ඩොලර් බිලියන 72යි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. ඉන්දියාවේ අයි.ටී.වලින් විතරක් අපනයන ආදායම ඩොලර් බිලියන 199යි. අයි.ටී. කර්මාන්තය අපේ රට වත්කම් සහිත රටක් බවට පත් කළ හැකි ක්ෂේත්‍රයක්. ඒ සඳහා අධ්‍යාපනයේ විශාල වෙනස්කම් ඇති කරනවා. විශාල තොරතුරු තාක්ෂණය පිළිබඳ නගර නිර්මාණය කරනවා. ලෝකයේ අයි.ටී. වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමටත් අවුරුදු කිහිපයක් ඇතුළත අයි.ටී. කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 05 දක්වා වර්ධනය කරන්නත් අපි සැලසුම් සකස් කර තිබෙනවා. 1950දී දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අපි අපනයනයෙන් ඩොලර් මිලියන 316ක විදේශ විනිමය උපයා ගත්තා. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. අද දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. 1980දී වියට්නාමයේ ආපනයන ආදායම ඩොලර් මිලියන 400යි. 1980දී අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. වියට්නාමයට වඩා අපේ රට තුන්ගුණයක ඩොලර් ඉපයූවා. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. වියට්නාමයේ අද අපනයන ආදායම ඩොලර් බිලියන 420යි.

ඒ රටවල් පොහොසත් වුණා. අපේ රට දුප්පත් වුණා. මේ දුප්පත්භාවයෙන් අපේ රට මුදා ගන්න ඕනෑ. රටක් දුප්පත් වුණාම ලෝකයේ අපකීර්තියට පත්වෙනවා; පිළිගැනීමට භාජනය නොවෙන රටක් බවට පත්වෙනවා. ණය ගෙවා ගන්න බැරිවීම නිසා රටේ ස්වෛරීභාවය නැතිවෙලා යනවා. අද අපේ රට විවිධ රටවල්වල, විවිධ සංවිධානවල ආධිපත්‍යයට යටත් වෙලා තිබෙන්නේ. වෘත්තියවේදීන්ගේ සංවිධානය, රනිල් සහ මහ බැංකු අධිපති හමුවෙලා “අපේ පඩියට ගහන බද්ද වැඩියි,” කියලා කිවුවා. රනිල් වික්‍රමසිංහ “ඒක වැඩි බව මටත් තේරෙනවා. ඕගොල්ලන්ට අයි.එම්.එෆ්. එකත් එක්ක මේක ගැන කතා කරන්න බැරිද?” කියලා ඇහුවා. ඡන්දෙ දීල පාලකයන් පත්කර ගත්තාට, රටේ ආර්ථිකය පිළිබඳ තීන්දු ගන්නේ අපේ ආණ්ඩු නොවෙයි. ඒ අපි දුප්පත් නිසා. අපේ අයවැය හදන්නේ අපි නොවෙයි. ලෝකයේ තිබෙන වෙනත් සංවිධාන.

ජනතාව සැප්තැම්බර් 21 තමන් පරිපූර්ණ පුරවැසියන් බව ඔප්පු කරන්න සූදානම්
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා 

ජාතික පුනරුදයක් අවශ්‍ය වෙන මොහොතක, ඒ පුනරුදය ගොඩනගන්න එකම සුදුසුකම තිබෙන, අපේ කාලයේ විශිෂ්ටතම දේශපාලන ව්‍යාපාරය ගොඩනඟන්න ඔබට, අපට හැකි වුණා. එහි ශක්තිය තමයි ඔබ. මේ මොහොතේ ශ්‍රී ලංකා භූමිය දෙස බැලුවම සෑම අතකින්ම ගරා වැටුණු, හැම අතකින්ම බිඳ වට්ටවපු මගේ රට, මහා ඛේදවාචකයකට තල්ලු කළ ඔබේ රට ගොඩගන්න, ගොඩනඟන්න පුළුවන් එකම ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. අනෙකුත් දේශපාලන ව්‍යාපාර දිහා බලන්න. ඔවුන්ට අද වචන පටලැවෙන්නේ නැතිව, වැකියක් පටලැවෙන්නේ නැතිව කියා ගන්න බැහැ. ඒකට හේතුව ඒගොල්ලන් ගත කරපු දූෂිත, අශිෂ්ට දේශපාලන සංස්කෘතිය. මම සති දෙකක්, ජනමාධ්‍යයට සවන්දීලා ලියා ගත්ත වැකි ටිකක් ඉදිරිපත් කරන්නම්.

“එයාලා එහෙ ගියාට ඡන්ද තියෙන්නේ මහින්ද මහත්තයා ළඟ” ජොන්ස්ටන්. “පොහොට්ටුව රැකගන්න මහින්ද මහත්තයා ආයෙත් ජනාධිපති කරනවා” ප්‍රසන්න රණතුංග කියනවා. ඔබ හිතලා බලන්න ඔහු හිටියේ කොතනද, දැන් ඉන්නේ කොතනද? මේ කියන්නේ මොකක්ද කියලා. “පොහොට්ටුව කුමන්ත්‍රණකාරී වැඩක් කළේ. අපි නිවැරදි තැනක නතර වුණා” පියල් නිශාන්ත. “අපිව ප්‍රතික්ෂේප කළ නිසා තමයි රට බංකොළොත් වුණේ” රවි කරුණානායක. “ඉතුරුවෙන කෙනත් එක්ක මම දේශපාලනය කරනවා” නාමල් රාජපක්ෂ. “එස්.එම්. චන්ද්‍රසේන නිසා ෂෙහාන් මා එක්ක තරහ වුණා. අපිට දුකයි” නාමල් රාජපක්ෂ. “92ක් කොහොද එහේ. මෙහෙ අයත් එතන හිටියා” “මහින්ද රාජපක්ෂ නැතිව චන්ද කරන්න නම් බැහැ” ජොන්ස්ටන් ප්‍රනාන්දු. “මමත් ගාල්ලෙනෙ. තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති කරනවාද නැද්ද කියලා සැප්තැම්බර් 21 ජනතාව තීරණය කරන්න” වජිර අබේවර්ධන. “අන්තිමට මට මේක තනියම කරන්න බෑ. ටීම් එකක් තියෙන්න ඕනෑ. ටීම් එකක් හදාගන්න කියමු රනිල් වික්‍රමසිංහට. අපි නොවෙයි ආණ්ඩුව බෙදුවෙ. වැරැද්ද වුණේ රනිල්ගෙ කණ්ඩායමෙන්” නාමල් රාජපක්ෂ.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද කතා කළා ය.