උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024

මට අනුප්‍රාප්තික කෑලි ඕනැ නෑ - සජිත් ඇල්පිටියේ සී කියයි

මට නම් අනුප්‍රාප්තික කෑලි ඕනි නෑ. බලයට එන්නේ ජනතා ආශිර්වාදයෙන් පමණයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රජයට ගොවියාට අවශ්‍ය සහනාධාර ලබා දෙන්න බැරි වුවත් සැනකෙලි පවත්වන බවත් එවැනි සැනකෙලිවලින් බොරැ උත්සවවලින් වැඩක් නොවන නිසා බිම් මට්ටමින් සංවර්ධන වැඩ ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනාධිපති වරයාගේ නම ඉදිරිපිට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කියන නම එකතු වන බවත් එවැනි අනුප්‍රාප්තික කියන කොටසක් තමාගේ නම ඉදිරිපිට දමා ගැනීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බවත් පොදුජනතාවගේ ආශිර්වාදයෙන් ශක්තියෙන් පොදුජනතාවගේ ජනාධිපතිවරයා වීම තමාගේ කැමැත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ගාල්ලේ ඇල්පිටියේ පැවැති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව ඉතිහාසයේ දැවැන්තම ජන පවුර බිහි කර ජනතාව දිනවන මේ ගමන ගෙන යන බවත් සත්‍යවාදී යථාර්ථවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට සවන් නොදී ජනතාවගේ මතයට ඉඩක් නොදී බලහත්කාරයෙන් මේ තනතුරුවල රැදී ඉන්න පාලකයන් උත්සාහ කරන බවත් තවත් පිරිසක් ඊර්ෂ්‍යාව වෛරය කුහකකම් තමන්ගේ ප්‍රමුඛ දේශපාලන වැඩපිළිවෙළ ලෙස නිර්මාණය කර ගෙන රට තවදුරටත් විනාශ කරන්න උත්සාහ දරන බවත් එළබෙන ජනාධිපතිවරණයේ දී ජය ගෙන ජනසවියෙන් ජන බලයෙන් ජනතා ආශිර්වාදයෙන් දුක නිවාලන යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.    ඕ

රට සංවර්ධනය කරන්න පුලුවන් ද කියා සමහර අය ප්‍රශ්න කරන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා රටේ යුද්ද දෙකක් ඇති විට ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් ඒ ආකාරයට රට සංවර්ධනය කළ හැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නව ව්‍යාපාර මිලියනයක් ඇති කිරීමත් සුහුරු තාක්ෂණ අධ්‍යාපනයට කර්මාන්තවලට ආදියට ලබා දෙන බවයි.

ලෝකයේ රටවල් 195 ක් ඇති බවත් තාක්ෂණික දියුණුව තුළින් ඉදිරිය⁣ට යන රටවල් අතර දකුණු කොරියාව, ඇමෙරිකාව, තායිවානය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය ආදී රටවල් 65ක් ශ්‍රේණිගත කළත් ඒ ලැයිස්තුවේ ලංකාව නොමැති බවත් නව තාක්ෂණය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට ලබා දී අපරටත් මේ ශ්‍රේණිගත කිරිමට යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.