ජාතික ජන බලවේගයේ මහරගම ව්‍යාපාරික හමුව - Ariyana Reach උත්සව ශාලාව
දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා අපි ඔබට ආදර්ශයෙන් ඔප්පු කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය.
''ඔබ, සැප්තැම්බර් 21 මැතිවරණයකට මුහුණ දෙනවා. මේ ඔබ මුහුණ දෙන පළමු මැතිවරණය නොවෙයි. ඔබ මෙතෙක් ආණ්ඩු හැදුවත්, නායකයන් ගෙනාවත් ඉතා කෙටි කාලයකින් එම විශ්වාසය බිඳ වැටීමට පටන් ගන්නවා. මම ඔබට එක පොරොන්දුවක් දෙන්නම්, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොනකින් තරම්වත් හානියක් වෙන්න ඉඩ තබන්නේ නැති බවට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු ඔබගේ වුවමනාවත්, ආණ්ඩුවේ වුවමනාවත් එකට සමපාත වෙන ආණ්ඩුවක්. ඔබ සහ අප යන එක අරමුණකට වැඩ කරන, එක ඉලක්කයක් ජයග්‍රහණය කිරීම සඳහා වැඩකරන පොදු මෙහෙයුමක් අපට තිබෙනවා. මීට පෙර හැදුණු ආණ්ඩු ජනතාවගේ අපේක්ෂාවත්, පාලකයාගේ අපේක්ෂාවත් දෙකක්.
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයෙන් අයින් වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. එහිදී ඔහු “මගේ අරමුණු ඉටු වුණා, තිබුණු නඩු ටික අයින් කර ගත්තා” කිවුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන අවස්ථාවේ ඔහුට වංචා, දූෂණ, අපරාධ පිළිබඳ නඩු ගණනාවක් තිබුණා. ඔහු ජනාධිපති වුණු විගසම ඔහුගේ නීතිඥවරු අධිකරණයට ගොස් ඔහුට විරුද්ධව තිබූ නඩු ටික අයින් කර ගත්තා. ගෝඨාභයට ජනාධිපති වීම නිසා තිබුණු ලාභය නඩු ඉවත්කර ගැනීමයි. ඒ නිසා අපේ රටේ හැමදාම ජනතාවගේ අරමුණත්, පාලකයාගේ අරමුණත් දෙකක් වුණා. රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාලලා 2015 බලය ගන්නේ වංචාව නතර කරන්නත්, වංචා කළ අයට දඬුවම් දෙන්නත්. බලය පිහිටුවන්නේ ජනවාරි 08. මහ බැංකුවට ගහන්නේ පෙබරවාරි 28. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අපේක්ෂාවයි, ජනතාවගේ අපේක්ෂාවයි එකක් නොවෙයි, දෙකක්.
අපේ රට ආර්ථික වශයෙන් ප්‍රධාන ගැටලු දෙකක හිරවෙලා තිබෙනවා. එකක් තමයි, වසරකට අපට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න අපි සමත් නැහැ. අපේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12 ක් වෙන විට අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20 ක්. ණය ගෙවීම සඳහා අතිරේක වශයෙන් ඩොලර් බිලියන 06 ක් අවශ්‍ය වෙනවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 03 කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6.8ක් ලැබී තිබෙනවා. අපට වසරකට ඩොලර් බිලියන 05 – 06 ක හිඟයක් තිබෙනවා. ඒ කියන්නේ වසරකට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න සමත් නැහැ. ඒ නිසා අපට ණය ගන්න සිදුවෙනවා. එසේ නැතිනම් විකුණා සොයාගත යුතු වෙනවා. මේ අර්බුදය එන්නේ 1980 සිට. මේ නිසා මෙතෙක් අප කළේ, එක්කෝ ණයක් ගැනීම හෝ විකුණා මුදල් සොයා ගැනීමක්. මුලින්ම පේෂකර්මාන්ත ශාලා විකිණුවා. ඊළඟට තේ වතු, ඇඹිලිපිටියේ කඩදාසි, කන්තලේ සීනි, ඔරුවල වානේ, තුල්හිරියේ තුනී ලෑලි, දංකොටුවේ පිඟන්, මාතලේ පිඟන්, කර්මාන්ත ශාලා විකිණුවා. ඊළඟට අප සතුව තිබූ මූල්‍ය සමාගම් විකුණන්න පටන් ගත්තා. දැන් ටෙලිකොම් එක, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්, හිල්ටන් හෝටලය විකුණන්න සූදානම් වෙනවා. ඒවා ලාභ ලබන ආයතන. බන්ධනාගාරය අසල ඉඩම විකුණන්න සූදානම් වෙනවා. හිඟ ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ එක සැලැස්මක් තමයි මේ විකිණීම. 1980 සිට අපට හිඟ ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට ගත් අනෙක් පියවර තමයි, ණය ගැනීම. 2021 වෙන කොට අපට කවුරුත් ණය නොදෙන තත්වයක් උදාවුණා. ආර්ථිකය වැටුණා. ලෝකයේ රටවල් ශ්‍රේණිගත කරන සමාගම් කිවුවා ලංකාවට ණය දෙන එක අවදානම් කියලා. නැවත කිවුවා ශ්‍රී ලංකාවට ණය දෙන්න එපා කියලා. අවසානයේ මහ බැංකුව ප්‍රකාශයක් කළා ණය ගෙවන්න නොහැකි බව. රටට අවශ්‍ය දේවල් ගෙන්නවන්න නොහැකි වුණා. ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණා. අපට දැන් පොඩි සහනයක් දැනෙනවා. එහෙම දැනෙන්නේ අපි ගත් ණය ගෙවන්නේ නැති නිසා.අතේ ගණක් ඉතිරිවෙන නිසා. රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේදී ණය ගෙවීම සඳහා කිසිවක් කළේ නැහැ. වසරකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීම සඳහා අපට ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙනවා.
දෙවෙනි අර්බුදය තමයි, වසරකට වියදම් සඳහා අවශ්‍ය වෙන රුපියල් උපයා ගැනීම. ණය වාරික හා පොලී ගෙවීමටත්, රජයේ අනෙකුත් වියදම් සඳහා අපට රුපියල් බිලියන 11,277 අවශ්‍ය වෙනවා. බදු ගැසීම් ආදියෙන් භාණ්ඩාගාරයට එන්නේ වසරකට රුපියල් බිලියන 4168 යි. එහෙම නම් අපට අපේ භාණ්ඩාගාරයට එන රුපියල් ප්‍රමාණය වැඩිකර ගැනීමට සහ වියදම් ප්‍රමාණය අඩුකර ගැනීමට සැලැස්මක් අවශ්‍යයි. අපිට අද මේ භුක්ති විඳීමට සිදුව තිබෙන්නේ දශක ගණනාවක ගෙන ගිය ආර්ථික ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයි. රනිල්ගේ උපායමාර්ගය තව තව බදු ගැසීමයි.
අනාගත ලෝකය පාලනය කරන්නේ තාක්ෂණික මෙවලම් සහ සේවාවලින් නිෂ්පාදනය කළ හැකි රාජ්‍යයන්. ඌබර් සමාගම එක මෘදුකාංග පද්ධතියක් පාවිච්චි කරමින් ලෝකයම මෙහෙයවනවා. නමුත් ඔවුන්ට එක වාහනයක්වත් ලෝකයේ නැහැ. ඇපල් සමාගමට නවීන ස්මාර්ට් ෆෝන් එකක් නිෂ්පාදනය සහ එකලස් කිරීම වෙනුවෙන් ඩොලර් 20 ත් 30 ත් අතර මුදලක් වැය වෙනවා. නමුත් මේ ෆෝන් එක නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීම මෙන්ම අලෙවිකරණය වෙනුවෙන් විකුණුම් මිලෙන් 54% ක් ඒ කියන්නේ ඩොලර් 600 ක ආදායමක් ලැබෙනවා. තාක්ෂණයෙන් ආදායම් උපයන්නේ මේ විදිහට. අපේ අයි.ටී. කර්මාන්තයෙන් දැන් උපයන්නේ ඩොලර් බිලියන 1.3 යි. එය ඩොලර් බිලියන 05 ක් කරන්න සැලසුම් සකස් කර වසර ගණනාවක් වෙනවා. නමුත් ක්‍රියාත්මක කළේ නැහැ. ඉන්දියාවේ එම ආදායම ඩොලර් බිලියන 253 යි. මතුපිට තලයේදී පාලකයන් වංචා කිරීම, අනවශ්‍ය ඉදිකිරීම් වගේ දේවල් සිදුකළාට වඩා අපරාධයක් ඒ යුගයේදී අත්පත් කර ගත යුතු ජයග්‍රහණ අත්පත් කර නොගැනීමෙන් සිදුකර තිබෙනවා. විශාලම අපරාධය ඒකයි. අපි අඛණ්ඩවම පැහැදිලි කරන ආකාරයටම මේ රට ගොඩනඟන්න නම්, වංචාව, දූෂණ, නාස්තිය නතර කළ යුතුමයි. කිසිදු පිරිසිදු ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැහැ. ඇමතිවරුන්ට පගා ගෙවන්න පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ.
අපි දේශීය හා විදේශීය ආයෝජකයන් කියන්නේ එක කතාවයි. “ඔබගෙන් අපට ඇල්වතුර වීදුරවක්වත් එපා. ඔබ ගෙනෙන ව්‍යාපෘතිය රටට හොඳද, නරකද” කියලා විතරයි අපි බලන්නේ. වංචාව, දූෂණය නතර කර, නීතියක් සහිත රටක් ගොඩනඟන්න ඕනෑ. පොලිස්පතිවරයාගෙ වැඩ තහනම් කර, වැඩබලන පොලිස්පති වරයෙක් පත්කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දුන්නා. ජනාධිපතිවරයා අධිකරණ තීන්දුව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. කැලෑ නීතිය තිබෙන රටකට මොන ආයෝජකයන්ද එන්නේ. රනිල්ට ඕනදේ කරන්න පොලිස්පති පුටුවේ දේශබන්දු තෙන්නකෝන් ඉන්න ඕනෑ. නමුත් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ තව ඕනෑ තරම් පිරිස් ඉන්නවා. විදෙස් ආයෝජන කියන්නේ රටක කීර්තිය පිළිබඳවත් ප්‍රශ්නයක්. රටක් මොනතරම් සදාචාරසම්පන්නද කියන ප්‍රශ්නයක්. අපට බේරා ගන්න වංචාකාරයන්, අපරාධකාරයන් නැහැ. අපේ පාලනයක් යටතේ නීතිය, විධානය, ආධිපත්‍යය තහවුරු කරනවා. යැ යි ද ඔහු සිය දිගු කතාවේ දී මහරගම ව්‍යාපාරිකයන් හමුවේ පැවසී ය.