ණය බරෙන් මුදාගෙන අභිමානවත් ගොවි පරම්පරාවක් බවට පත්කරනවා
ජනතාව විදිහට අපි කාලයක් තිස්සේ ඡන්දෙ දුන්නා. ආණ්ඩු හැදුවා. ඡන්දෙ දුන්නු අපට වැරදුණා විතරක් නොවෙයි අපි අමාරුවෙත් වැටුණා. මේ සැරේ අපි තීන්දුවක් ගන්න ඕනෑ ආයෙ වරදින්නේ නැති, අමාරුවේ වැටෙන්නේ නැති තීන්දුවක්. මෙච්චර කල් තීන්දු අරගෙන හදපු ආණ්ඩු පොදු මිනිසුන්ගේ ආණ්ඩු නොවෙයි. ඒවා ලොකු වලව් නියෝජනය කළ ඉහළ අයගේ ආණ්ඩු. සමහර විට කොළඹ ලොකු ධනවතුන් නියෝජනය කළ ආණ්ඩු. ඒගොල්ලන්ගේ ආණ්ඩු හැමදාම තීන්දු තීරණ ගත්තේ ඒ අයට හිතකර ලෙස. ත්‍රීවිල් එකට තුන් හතර ගුණයක බද්දක් ගහනවා. ඒගොල්ලන්ගේ වාහනයට ඒ වගේ ලොකු බද්දක් ගහන්නේ නැහැ. ඕගොල්ලන් ගන්න සෑම සීනි කිලෝ එකකට, පරිප්පු කිලෝ එකට, සබන් කැටේට, බෙහෙත් ටිකට බද්දක් ගහනවා. බදු ගහලා එකතු කරන සල්ලිවලින් ඒගොල්ලන්ගේ අයට බදු නිදහස දෙනවා. පසුගිය දා වාර්තා වුණා කෝටි විශාල ප්‍රමාණයක් බදු ගෙවන්නේ නැතිව ඉන්න බව. සීනි කිලෝ එකකට රුපියල් 50ක් විතර, තෙල් ලීටරයට රුපියල් 75ක් විතර බද්දක් ගහනවා. පොදු ජනතාවට බදු ගහනවා. ඒ ගොල්ලන්ගේ හිතමිතුරන්ගේ බදු නිදහස් කරනවා. ඒ මොකද? ඒ ආණ්ඩු ඒගොල්ලන්ගේ නිසා. තමුන්නාන්සේලා බැංකුවලින් ණය අරගෙන වගා කරනවා. වගාව විනාශ වෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. ණය නොගෙවීම නිසා උසාවි ගෙනියනවා. ඒ අපි පොඩි මිනිස්සු නිසා. නමුත් දයා ගමගේ කෝටි 500ක් විතර පොලු තියලා. එයා හෙලිකොප්ටරෙන් යනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඇලෝසියස් මුදලාලි, බැංකුවලට පොලු තියලා. එහෙම නැතිනම් බදුවලට පොලු තියලා. එයාලට මොනවත් වෙන්නේ නැහැ. නමුත් තමුන්නාන්සේලා ණයක් අරගෙන ගෙව්වේ නැතිනම් ඉඩම, ගේ දොර වෙන්දේසි කරන තැනට එනවා. මෙපමණ කලක් වෙලා තිබෙන්නේ මොකක්ද? සාමාන්‍ය ජනතාව ආණ්ඩු හදන්න ඡන්දෙ දුන්නාට, ඒ ආණ්ඩු හැමදාම පාලනය කළේ ඒ අයගේ පංතියේ අය ගැන හිතලා.
දැන් යනවා, යුක්තියේ මෙහෙයුම කියලා එකක්. අහුවෙන්නේ කවුද? කුඩු ටිකක් ගහන කෙනෙක්. ඒ අය පොඩි මිනිස්සු. අපේ පංතියේ අය. කෝටි දෙසීයේ තුන්සීයේ කුඩු අහුවෙනවා. එතරම් ප්‍රමාණයක කුඩු ගේන්න පුළුවන් කාටද? ඒ අය අහුවෙන්නේ නැහැ. ඒ ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. අම්පාරේ බන්ධනාගාරයට, වැලිකඩ බන්ධනාගාරය ගාවට ගිහින් බලන්න කවුරු හෝ ලොකු මහත්තයෙක් හිරේ ඉන්නවාද? මේ දවස්වල රිමාන්ඩ් එකේ කෙහෙලිය ඉන්නවා. ඒ ගැන හිතන්න එපා. වැරදි කරන්නේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවන් විතරද? උඩ ඉන්න අය වැරදි කරනවා. නීති කඩනවා. හොරකම් කරනවා. ව්‍යවස්ථා කඩනවා. හැබැයි ඒ ගොල්ලන්ට දඬුවමක් නැහැ. ආණ්ඩුව ඒගොල්ලන්ගේ නිසා. මෙච්චර කාලයක් මේ රටේ පොදු ජනතාව ආණ්ඩු හැදුවාට, පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදාගත්තේ නැහැ. අපි ඕගොල්ලන් හමුවෙන්න ආවේ, අපි ඔක්කෝම එකතුවෙලා පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදා ගනිමු කියන යෝජනාව කරන්න. මේ ඔබලා ආවේ ඒ ආණ්ඩු එපා වෙලා වෙනස් කරන්න ඕනෑ කියන අදහසින්. දැන් ඔබ කරන්න ඕනෑ තවත් අලුත් අය එකතු කරන එක.
මේ ගොවි ජනපදයේ වකුගඩු රෝගයට ගොදුරු වුණු අම්මලා, තාත්තලා විශාල පිරිසක් ඉන්නවා. මේක ව්‍යසනයක් බවට පත්වෙලා. වකුගඩු නරක් වුණාම ඉඩකඩම් විකුණලා බේත්හේත් කරන්න සිදුවෙලා තිබෙනවා. මීට අවුරුදු කිහිපයකට කලින් අනුරාධපුරේ තිරප්පනේ වකුගඩු රෝගයෙන් සිටි ගොවි මහතෙක් මහකන්නයේ අස්වැන්න නෙළා ගෙන ගෙදරට ගෙනත්, මේ වී විකුණලා මට බෙහෙත් කරකොට ගෙදර අය අමාරුවේ වැටෙනවා කියලා ලියුමක් ලියලා ඔහු වස බීලා මැරුණා. ගොවි මහත්තුරු දන්නවා ගෙදරක වකුගඩු රෝගියෙක් හැදෙනවා කියන්නේම ගෙදරම ජීවිත විනාශ වෙනවා. ඉඩකඩම් විකුණන්න වෙනවා. ස්වාමියා මැරෙනවා. පවුලම අනාථ වෙනවා. මේක යුද්දෙටත් වඩා විශාල ව්‍යසනයක්. කුමන හෝ පර්යේෂණයකින් මේ වගුකඩු රෝගයට හේතුව මොකක්ද කියා සොයාගෙන තිබෙනවාද? ඒවා ගැන පර්යේෂණ කරන්න උනන්දුවකුත් නැහැ. දේශපාලකයෙකුට වකුගඩු රෝගය හැදුණා කියා ඔබ අසා තිබෙනවාද? හැබැයි ඩෙංගු හැදුනා කියා අසා තිබෙනවා. ඩෙංගු වඳ කරන්න මාරාන්තික පොරයක් තිබෙනවා. ඒ ඇයි? මදුරුවා ඒගොල්ලන්ටත් විදින නිසා. අද වකුගඩු රෝගය හැදිලා කෙනෙක් මිය ගියාම මරණ සහතිකේ ලියන්නේ “හඳුනා නොගත් හේතුවක් මත වකුගඩුව අක්‍රීය වී මියගොස් ඇත” කියලා. මේ 21වැනි සියවසේ අපේ ගම්වල අම්මලා තාත්තලා මියෑදෙනවා ලෙඩේ මොකක්ද කියා දන්නේ නැතිව. ඒ ගැන සොයන්න මේ පාලකයන්ට ඕනකමක් නැහැ. තවම හේතුව සොයා ගන්න බැරිවෙලා තිබෙනවා. හේතුව නිසි පර්යේෂණයන් නොකිරීම. අද හඳේ පස් පරීක්ෂා කරන ලෝකයේ දෙහිඅත්තකණ්ඩියේ හඳුනා නොගත් රෝගයකින් මිනිසුන් මැරෙන ලෝකයක් තිබෙනවා. මේ පාලක කණ්ඩායම් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අන්න ඒ නිසයි අපට පොදු ජනතාවගේ ආණ්ඩුවක් ඕනෑ වෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඉතා වේගයෙන් පර්යේෂණ කරලා, මේ රෝගයට හේතුව සොයා ගන්නත්, මෙය පැතිරී යාම වැළැක්වීමටත් ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් දෙනු ලබන ජීවන වියදම් දීමනාව මීට වඩා වැඩි දීමනාවක් බවට පත්කරනවා. හොරකම් කරපු ධනය අරගෙන ඒ අයට බෙදා දෙනවා.
