පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දාහතර වැනි දා යින් අනතුරුව මේ රටේ වැඩ වර්ජන අවසන් කෙරෙන බවත් ඒ අමිහිරි අත්දැකීම්වලට ලාංකේය ජනතාව ට තවත් මුහුණ දීමට නොසිදුවන බවත් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්මන් නිපුණආරච්චි මහතා කීවේ ය.
ඒ උදෙසා ආරම්භක පියවර තම පාර්ශවයෙන් තබනා බවත්, තම පක්ෂයට සම්බන්ධ සියලුම වෘත්තීය සමිති විසුරුවන බවත්න ඔහු පවසයි.
හේ මෙසේ ද කී ය.
“අපේ රටේ බොහොම අමිහිරි අත්දැකීම් තියෙන්නේ. ළමයා ඉස්කෝලෙ යනවා.. දවසක් ගුරුවරු ස්ට්‍රයික්, තව දවසක් විදුහල්පතිවරු ස්ට්‍රයික්, තව දවසක් අනධ්‍යන කාර්යය මණ්ඩලය ස්ට්‍රයික්, ඉස්පිරිතාලෙට යනවා බේත් ගන්න.. එක දවසක් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් නර්ස්ලා, තව දවසක් ඇටෙන්ඩන්ට්ලා. එක දවසක් පාරට බැස්සම ලංගම බස් ස්ට්‍රයික්, අනෙක් දවසේ පාරට බැස්සම ප්‍රයිවට් බස් ස්ට්‍රයික්… මොනවගේ ඉතිහාසයක්ද තියෙන්නේ"
"අද මම කිව්වයි කියලා හිතා තියාගන්න. ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කථාකරලා බේරගන්න."
"අද උපදින දරුවන්ට තව අවුරුදු 10 ක් 15 ක් යනකොට ඒ ළමයිට කියලා දෙන්න වෙනවා… පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා. ඇඳිරිනීතිය කියලා දෙන්න වෙනවා පුතේ… ඇඳිරිනීතිය කියන්නේ මේකයි කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ. බලන්නකො බොරු ද කියලා. මේ තියෙන්නේ සංක්‍රාන්ති කාලයක්. මේ සංක්‍රාන්ති කාලය අවසන් වෙනවා නොවැම්බර් 14 න් පස්සේ” යි සඳහන් කළේ ය.