උණුසුම් පුවත්දේශපාලන

තලතා ඉල්ලා අස් වෙයි

ජනාධිපතිවරණයේ අතුරු ඵලයක් !??

රත්නපුර දිස්ත්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී  තලතා අතුකෝරාල මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් රටට දැන්වූවා ය.

ඇය පාර්ලිමේන්තුව නියෝජනය කළේ සමගි ජන බලවේගයේ නියෝජිතවරියක් ලෙසට යි. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන තලතා අතුකෝරාල මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කළේ දැඩි සංවේදී ස්වභාවයක් රටට හා ජනතාවට පෙන්නුම් කරමිනි.

''දේශපාලනයේ දී කෙතරම් ඉවසීම තිබිය යුතු දැ" යි සඳහන් කළ ඇය එහි දී සිය මව් පක්ෂයේ පූර්වගාමීන් ගැන ජනතාව දැනුවත් කළා ය.

සිය මව් පක්ෂය දෙකඩ වී එහි නායකයා ද නියෝජ්‍ය නායකයා ද බෙදී වෙන්වී සිටින අයුරු දැකීමට තමන්ට නොහැකි බවත් තම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තව වසර පහක් ඉවසුවා නම් හොඳ බවත් කී ඈ අද වන විට පක්ෂය ආරම්භ කළ ජ්‍යෙෂ්ඨයනට කිසිදු තැනක් නැති බවත් ප්‍රකාශ කළා ය..

ඉතා අවාසනාවන්ත අයුරින් බරපතල ආර්ථික අරබුදයකට හසුව රට කඩා වැටී ඇති මේ අවස්ථාවේ ඉතා දැඩි තීරණාත්මක තීන්දුවක් ජනාධිපතිවරණයේ දී ගැනීමට සිදුව ඇතැ යි සඳහන් කළ තලතා අතුකෝරාල මහත්මිය මව්බිමේ යථාර්ථය හොඳින් ග්‍රහණය කොට ගෙන ඉතා බුද්ධිමත් තීරණයක් ගන්නා සේ ඈ ජනතාවගෙන් ඉල්ල‌ා සිටියා ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් වත් මේ රටේ දේශපාලනඥයින් පාඩම් ඉගෙන ගත යුතු යි. බලය ලබා ගන්නට ගන්නා උත්සාහය මෙන් ම එය රැක ගන්න කෙසේ ද යන්නත් දැනගත යුතු යැ යි ඈ පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශයට ඇතුළත් විය.

හොරු සමග වාසය කරනවා යැ යි රනිල් වික්‍රමසිංහ මහතාට නැඟූ චෝදනවා අද සමගි ජන බල‌වේගයට පාරාවළල්ලක් වී ඇතැ යි ද මන්ත්‍රීවරිය කීවා ය. සමගි ජන බලවේගයේ ආරම්භක සාමාජිකයින් දැඩි කලකිරීමකින් පසුවන වග ද ඇය ප්‍රකාශ කළා ය.

තම හෘදය සාක්ෂියට අනුව තව දුරටත් ‌ජනතාව රවටන පොරොන්දු දෙමින් නායකයන් හැසිරෙන අයුරු බලා සිටිය නොහැකි යැ යි ද ඕ වේදනාවෙන් සංවේදී බව පළ කරමින් පැවසුවා ය.