අප්සට් අස්පයා දිලිත් ජයවීර?
2024 සැප්තැම්බර් මහේ හෙවත් මේ මාසයේ 22 වැනි දාට අපේ සහෝදර බහුතරයක් දනෝ සව්දිය පුරන්නාහ. එනම් හරියට ම දවස් දාසයකිනි. ලාංකේය අති බහුතරයක් දනන් ගේ කැමැත්තෙන් අපේ නමවැනි රාජ්‍ය නායකයා හෙවත් සිරිලක නව රජතුමාණන් වහන්සේ පත්කර ගැනීමේ ප්‍රීතිය නිමිතිකර ගෙනයි ඒ. කවුරුන් පත්වුණ ද රාජ්‍ය නායකයා සේ එතැන් පටන් පස් හවුරුද්දක් පුරා රට හසුරුවන්නේ ඔහු හා ඔහු විසින් තෝරා ගන්නා වූ ඇමති මණ්ඩලයක අභිමතය පරිදි ය.
අපේ මව්බිමෙහිත් අප හැම දෙනාගෙත් මතු අනාගතය පිළිබඳ සියලු අපේක්ෂා බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉෂ්ට සිද්ධ වේවා යනු හෙළදිව් හි අපගේ ද උතුම් පැතුමයි. අති උත්තරී ය පැතුම යි.
එළඹෙන 22 දා යින් පසු සිරි ලංකාවට යහපතක් ම සුගතියක් ම වේවා!! දියුණුවෙන් දියුණුවට පත්වේවා! නව ජනාධිපතිවරයාණන්ට හා ඔහුගේ පාලක යාන්ත්‍රණයේ සියලු මෙහෙයුම්කරුවනට එහිලා ශක්තිය, දිරිය, ජවය, ප්‍රඥාව තව තවත් පහළවේවා යි හෙළදිව ඊ ප්රවෘත්ති සංග්‍රහය ඉත සිතින් ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකාද්වීපයේ නමවැනි ජනාධිපතිවරයාණන්ට දිගාසිරි!!!!! මෙසේ පතන්නෙමු. ආශිර්වාද කරන්නෙමු!!!!
නමවැනි ජනාධිපතිවරයා ගේ සහායට පත්කර ගන්නා කැබිනට් මණ්ඩලයේ 'ඩැනීලා' හෙවත් ඒ ඇමැත්තෝ ඔව් සර්, යර්ස් සර් කියනවා හැර අන් කිසිවක් නොකියනු ඇති. නොකරනු ඇති. 1977 න් පසු මෙතුවක් කලක් මේ රටට ජනතාවට සිදුවූ නස්පැත්තියට හේතුව වූයේ ද එයයි.
ජේ. ආර්. ජයවර්ධන උත්තමයා හෙවත් වත්මන් ජනාධිපති උත්තමයාණන් ගේ මාමණ්ඩිය විසින් විධායක ජනාධිපති ක්‍රමය 1978 දී රටට හඳුන්වා දුන් තැන් පටන් ඔහු සිය ඇමති මණ්ඩලයත්, හයෙන් පහක පාර්ලිමේන්තුවත් හැසිර වූයේ 142 කු ගෙන් සැදුම්ලත් සිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කෙරෙහි ඇති වූ සැකය හේතුවෙන් සියලු දෙනාගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලියුම් ලියවා ගෙන සිය සාක්කුවේ දාගෙන ය. ඔහු 1977 සිට පුරා හවුරුදු දහයක් එසේ රට පාලනය කළ අයුරු අප මතකයට නැඟේ. අපට මතක වුණාට සමහරුනට අමතකය. අමතක නොවුණත් අමතක වෙච්චි ගානට ඉන්නා බව නොකිවමනා ය.
ජේ. ආර්. රට කරවූ හැටිත් ඊට පසු පුතාණන් ගේ පියාණන් නොහොත් පියාණන් වහන්සේ - ප්‍රේමදාස රට කරවූ හැටිත්, ඉන්පසු රටේ විධායක ජනාධිපතිවරුන් මේ දක්වා රාජ්‍ය පාලනයේ නියුතු වූ අයරුත්, වත්මන් පරපුර නොදත්තත් අප හා සමකාලීන ජන සමාජය හොඳින් දනී.
එංගලන්තෙ සුදු සුද්දගෙන්, සිරිලංකාවේ කළු ම කළු සුද්දන් අතට ශ්‍රී ලංකාවේ පාලනය හුවමාරු වූ තැන් පටන් ගෙවුණු 76 හවුරුද්දක් ම මේ රටේ පාලකයෝ රටට කරපු බංබුවක් නැතැ යි සමහර දේශපාලන පක්ෂවල නරුම දේශපාලන අත දරුවන් කියන්නේ ඔවුන් ගේ මහ කට්ටිය උගන්නපු හැටියට ය. අපි මෙහෙම කියමු යි ලොක්කා යෝජනා කළ වහා අත් දෙක ම ඔසවා කියවා ගන්නට තරම් ගෝල බාලයින් රොත්ත ලොක්කාට දක්වන භක්තියේ මාර බව එයින් පෙනෙන්නේ ය.
උහු ද ගිරා පෝතකයන් සේ පෙත්තා බත් කෑවා ද කෑවා කෑවා... කෑවා යි කියන්නේ මේ පොළොවට කෙරුණු හානි ගැන නොදැන ම ද නොවේ.
1948 ලංකාව ලද්දේ හුදෙක් නාමික නිදහසක් බව ඒ කාලේ පටන් ම වාමාංශික පක්ෂ දෙකේ පිරිස් කීහ. කොහොම වුණත් එදා සුද්දාගේ පාලනයෙහි දී මේ රටේ උගතුන් සේ උනගේ අවශ්‍යතා ඉටු කර ගන්නට අවැසි නිලධාරීන් පිරිසක් ගොඩ නඟා ගත්තු උහු බෙදා පාලනය කිරීමේ න්‍යායය අකුරට ම ක්‍රියාත්මක කරමින් හිඳ බල ගෘහයේ දොරේ යතුර උන් අත රඳවන් ඩී, එස්. සේනානායකයන් අත පත් කළේ සියලු දුර්මං විවර කර කර ය.
එවක සිංහල බසට තිබුණේ කුඩම්මාගේ සැලකිල්ලයි. මේ රටේ හෙවත් සිංහල රටේ ඉඳන් උන් අපේ පැරැන්නන්ට සැලකුවේ උන්ගේ වහලුන් පිරිසක් හැටියට යි. ඒ ගැන නං ඉතින් අනන්ත අප්‍රමාණව කතා කර ඇති නිසා මොකට දැ තවත් හෝදා හෝදා මඩේ දාන් නාන්නේ යැ යි වරෙක හිතේ.
අපි යළි අපේ කතාවට හැරෙමු.
රට තව තවත් අගාධයක් කරා ඇද නොවැටෙන ෙස් පත්කර ගත්තා වූ අතිගරු ජනාධිපති උතුමාණන් වහන්සේ ගේ ජයග්රහණයෙන් උද්දාමයට පත්ව බෝ දනන්ට සව්දිය පිරීමට අවකාශ ලැබෙනු ඇති. සමරකු සව්දිය පුරද්දි ප්‍රධාන වශයෙන් ම තවත් හය දෙනකු ගේ හෝ හත් දෙනකුගේ හෝ ආධාරකරුවන් කෝපයෙන් පුපුර පුපුරා නේකාකාර අයුරින් ප්‍රතිචාර දක්වනු සිකුරු ය. කෙනෙක් ඉහවහා ගිය සතුටින් සොම්නසින් තුටු පහටු වෙද්දී අනෙකකු දක්වන්නේ ඊට හාත්පසින් ම වෙනස් ආකාරයේ ප්‍රතිචාරය. ප්‍රතික්‍රියාවන් ය. ඒ ලෝක ස්වභාවය යි.
කොහොම වුණත් අපේ මව්බිමෙහිත් අප හැම දෙනාගෙත් මතු අනාගතය පිළිබඳ සියලු අපේක්ෂා බලාපොරොත්තු ඒ ආකාරයෙන් ම ඉෂ්ට සිද්ධ වෙන්නෙහි ද නැතිනම් ඒ සියල්ල ගඟට කැපූ ඉණි සේ පාවී පාවී ඇතින් ඈතට පාවි යෙමින් මහ මුහුදට වැටී මහමූදේ මකර කටට වැටේ ද යන්න නිශ්චිතව කියන්නට හැකි වෙන්නේ තවත් මාස ගණනවකිනි. නැත්තං වසරකින් හමාරකිනි.
ඒ වෙන විට අපි ගත්තු තීරණයේ නිවැරදි බව හෝ අප රටක් ලෙසට වැරදි තීන්දුවකට එළඹී මුග්ධයින් සේ පියවර ගෙන ඇති ද යන්න තේරෙන්නේ එතකොට යි. හැබැයි තීන්දුව රටට යහපත් වුවහොත් අප හැම දෙනාට එකාවන් ව සතුටු විය හැකි යි නොවෙද? ඒත් ගන්නා ලද්දේ වැරදි තීරණයක් නම් සොරි ඩොට්කොම් ය. සමස්ත දේශයට ම වන්නේ මහා නස්පැත්තියකි. විනාශයකි. එය හරියට 2004 ඇති වූ සුනාමි ඛේචවාචකයට වඩා ඉතා බරපතල වනු ඇති. මන්ද යත් සුනාමියෙන් බැට කෑවෝ රටේ මුහුදුකරේ පිරිස් ය බොහෝ දෙනා. ඒත් 21 දා ගන්නා වූ තීරණයේ බුද්ධිමත් බව හෝ මුග්ධ බව හෝ මිනිය හැක්කේ රාජ්‍ය නායකයා සේ අප විසින් හෙවත් රටේ ජනතාවගෙන් බහුතරයක් දනන් කතිර කෑල්ලකින් අපේ අනාගතය සුරැකීමට හෝ විනාශයට හෝ ගන්නා වූ තීන්දුව සමස්ත දේශයට ම ය. සමස්ත ජනයාට ම ය. සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට ම ය.
ගෝඨාභයට රටින් පැනයෑමට සිදුවූයේ ඔහු කරන ලද ජල්තර නිසා නොවේ. ජල්තර කළෝ රට කරවන ඇත්තා එක්ක නොව රට කරවන්න බලාගෙන සිහින දකින ඇත්තා එක්ක ය. කුප්‍රකට පුට්නෝට් කාරයන් දැන් රඟන්නේ අම්මට සිරිගජ ඒ පුට්නෝට් සටහන් දැම්මේ මේ අහිංසක ඔබත් මාත් හෙවත් අප ය කියන්නා සේ ය. මහ බැංකුව මහ දවල් කැඩුවේ ගෝඨා නෙවේ. එය යහපාලනයක් මේ පොළෝ තලයේ ස්ථාපිත කරන්නට වග බලා ගන්නා බව ජනතාව ඉස්සරහ දිවුර දිවුරා කීව උන්නැහේලා ය. උන්නැහේලාට දැන් ඒ කිසිවක් මතක නැත. වගේ වගක්කත් නැත. එහෙම දෙයක් මේ රටේ සිද්ද නොවුණා වගේ ය.
හොරු අල්ලන්නට දිවා රෑ වෙහෙස මාන්සි වෙමින් පුක කැඩිච්ච කඩියන් වගේ ඒ අත මේ අත දුව දුව කයිවාරු ගහපු කට්ටියටත් අර්ජුන් මහේන්ද්‍රන් ද අර්ජුන් අලෝෂියස් ගැන අමතක ය. ඔහු ලවා හෝ ඔහු විසින් හෝ කරන ලද කරවන ලද මහ බැංකු කොල්ලයට සම්බන්ධ වූවෝ හෙට අනිද්දා යළි කරලියට එන්නේ බෝධිසත්වයන් සේ ය.
ඔවුන් ද රජ තෙමේ ද පංච මහා පරිත්‍යාග කරන්නන් සේ ය. පාරමිතා පුරන්නෝ මොවුහු යැ යි ජනතාව සිතන්නේ ය. පාරමිතා යනු දස පාරමිතා බව දන් නෝ දනිති.
අපි කල්පනාවට ගත යුත්තේ කුමක් ද?
හෙට මේ රටට කෙබඳු කල දසාවක් ගෙවන්නට හැකි වේ ද යන්නයි. මේ 22 දා යින් පසුවශ්‍රී ලංකාව නම් ඔබෙත් මගෙත් මව්බිම ඉතා සීඝ්‍ර සංවර්ධනයක් කරා මෙහෙයවාලන්නට පාලන බලය අතඑට ගන්නා රජ්ජුරුවන් හට හැකි වේ ද?
සමහර දේශපාලනඥයින් ඇද බාන්නා වූ පට්ටපල් කෙප්ප සැබෑ යැ යි අනුගාමිකයන් පිළිගන්නේ නායකයන් කියන කරන දේවල් සහසුද්දෙන් ම ඇත්තය යි යන විශ්වාසයෙනි. ඉදින් උහු ද ඒ කෙප්ප සෙස්සන් හා ඇදබාන්නේ හරියට ම හොඳට හොයා බලා දැන කියා ගත්තා සේ ය. අතේ තුරුම්පු තියන් ගහන ඕමි බැලිල්ලක් වගේ ය.
මේ ටික සඳහන් කරන්නේ හොරු අල්ලනවා, හොරු අල්ලනවා... හොරුන් ගෙ ලිපිගොනු හෙවත් ෆයිල් තියෙනවා. ෆයිල් තියෙනවා.
අනුර ලා කියන කතාව යි. මොවුන් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට භාර දුන් තොරතුරු විස්තර ඇතුළත් අර කියන ෆයිල් හෙවත් ලිපිගොනු දැන් ඇත්තේ කොයිබකදැ යි දන්නේ ඔවුන් විතරක් ම ය. සමහර විට ඒ කොමිසමේ ලොක්කනුත් දන්නව ඇති. ටොප් ටෙන් ෆයිල් කතාවක් කී මහින්දානන්ද අලුත්ගමගේ හෝ වේවා අනුර කුමාර දිසානායක හෝ වේවා පහුගිය කලායේ දී කළ කී දේවල් ගැන අද දවසේ මුනිවත රකින්නේ මන්දැ යි පොදු මහජනයා සිහි බුද්ධියෙන් හිතා බැලිය යුතු ය. සමහර විට අනුර ජනාධිපති වූ වහා ම ඒ ෆයිල් නිසියාකාරව නීතිමය කටයුතු උදෙසා යළිත් වංගියක් යොමු කරනු ඇද්දැ යි දන්නෝ ඔවුන් ම ය. හැබැයි ඉතින් අනුර නොවී සජිත් ජනාධිපති වුණොත්.... හොරු ඇල්ලිල්ල ???
ඒ දෙන්නා කොහොම වුණත් දැනුදු ජනාධිපති පුටුව අරා වැඩ වසනා රනිල් මහත්තයා ම නම වැනි ජනාධිපතිවරයා සේ ජනවරම් ලද්දොත්!!!??
අද මේ රටේ ප්රජාතන්ත්රවාදය රැකීමේ මහා භාරධූරකාර්යය පවරා ගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන් ගේ අනුශාඛාව වන ජාතික ජන බලවේගයේ විධායක සභිකයින් ය. සභිකාවන් ය. එදා ඡන්දය දුන්නොත් මරණ බවට තර්ජනය කරමින් ද ඡන්දය දුන් පළවැනි දස දෙනා පළවැනි හය දෙනා ආදී වශයෙන් සිය අභිමතය අනුව ධන්ද කෑල්ල හෙවත් කතිර කෑල්ල පූජා කරන්නට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගිය ඡන්දදායකයාට ආපහු ගෙදර එන්නට ඉඩ නොදී මහමග දී ම නේක විධාකාරයෙන් ඝාතනය කළ අයුරු මේ දැනුදු අප ඇස්පනා පිට මැවී පෙනේ. එහෙව් පිරිසක් පක්ෂයක් කණ්ඩායමක් අද කිසිදු වරදක් තමන් විසින් නොකළා සේ හිඳිමින් කරන කෙප්ප ඇද බෑමට වත්මන් බාල පරපුර අහුවෙන හැටි දකින විට ඇති වන්නේ දැඩි සිත්තැවුලකි.
ඔවුන් ද රනිල් ලා, සජිත් ලා වගේ නේකාකාර පොරොන්දු දෙන්නට පටන් අරන් ඇති අයුරුදකින විට ඇහෙන විට ඇති වෙන්නේ දැඩි වේදනාවකි. දුකකි. කනගාටුවකි. දැන් බලන් යන විට නියෝලිබරලිසම් මාවත අනුර කුමාර ලා ද පිළිපන් බවක් පෙනේ.
මිනිසුන්ට බොරු පොරොන්දු දෙමින් ඔවුන් අන්දන ඇන්දිල්ල ගැන කල්පනා කරන විට මොවුන් මොන තරම් කපටි වංචාකාරී බොර්වෙන් ම ජීවිත ගෙවන වංක කොට්ඨාසයක් නේ දැ යි පොදු ජනයා තේරුම් ගනීවි ද?
මේ සියල්ල මොවුන් කරන්නේ නිරෝධ සමාපත්තියට සමවැද මේ අත්මයේහි ම නිවන් සුව විඳීමේ පරම පවිත්‍ර වූ සිතැතිව වගේ ය.
මේ ටික කියන්නට සිද්ධ වෙන්නේ රනිල් වේවා, සජිත් වේවා, අනුර වේවා, නාමල් වේවා දිලිත් වේවා ජනපති වරම ලබන්නට පහුගිය දවස්වල පෝලිමට ජනගත කළ ඔවුන් ගේ ''පුළුවන් - ශ්‍රී ලංකා", 'සැමට ජයක්", ''පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්, ''එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්" සර්වජන බලයේ, "නාමල් දැක්ම - ඔබ වෙනුවෙන් දියුණු රටක්" යන ප්‍රතිපත්ති ප්රකාශනයන් හි ඇත්තේ සැබෑවෙ ම 2005 හවුරුද්දේ මහින්ද රාජපක්ෂ විසින් ජනතාව අතපත් කරන ලද මහින්ද චින්තන - අලුත් ශ්‍රී ලංකාවක්" නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු දැ යි සැක සිතේ.
මොවුන් සියල්ලෝ ම ජනතාව අබියස වමාරන්නේ මහින්ද ගේ මහින්ද චින්තන හි සඳහන් කරුණුවල දිගු හැටියට යැ යි කිවහොත් ඇති වැරැද්දක් නැත.
වෙනසකට ඇත්තේ මහින්ද චින්තන 2005 ප්රකාශනය මුද්‍රිත පිටු 87 ක් වූවත් අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 232 ක් වීමත් එහි යොදා ඇති භාෂා උප්පරවැට්ටිත් පමණක් ම ය. මහින්ද 2010 දී ද 2015 දී ද අලුත් ශ්‍රී ලංකාවක් යටතේ තවත් දිගු දෙකක් එක් කර තිබුණි. ඒවා බොහොම ආකර්ශණීය සිත් කාවදිනා අයුරින් නිමහම් කර තිබුණි.
මහින්ද කියපුවා කීපයක් ඉෂ්ට කළේ ය. තිස් හවුරුදු යුද්ධයට පිවිසි කොටි ත්‍රස්තවාදී සංවිධානයේ සන්නද්ධ අංශය මුළුමණින් ම අහවරයක් කළේ ය. අද නාමල් රාජපක්ෂට යම් ඡන්ද සංඛ්‍යාවක් ඡන්ද පෙට්ටිවලට පිරෙන්නේ මහින්ද රාජපක්ෂ ගේ නමට පින් සිද්ධ වෙන්න යි. මහින්ද යනු පුද්ගලයකු සේ බොහොම සුහදශීලී මිත්‍රශීලී මිනිසෙකි. ඔහු ගේ ගුණ යහපත්කම් කිසිවක් රාජපක්ෂ පවුලේ කිසිවකුට අඩු තරමින් ගෑවිලාවත් නැත. ඔහු බහුජනතාව අතර කිසියම් අප්‍රසාදයකට ලක්වී ඇත්නම් ඒ බිරිය, පුතුන් හා නෑදෑ සමූහයා විසින් කරන ලද අමනෝඥ වැඩ කිඩ නීසා ය. නො එසේ නම් මේ රටේ අදටත් ජනප්‍රිය ම පුද්ගලයා මහින්ද ය. මහින්ද රාජපක්ෂ ය. එහෙම කියන කොට සමහරුනට ලොකු කේන්තියක් ඇති වෙන්නත් පුළුවන. ඒත් ඇත්ත කතාව එයයි.
කවිරත්න නෝනා මාතලේ නාවුල පැවති රැස්වීමක දී පැවසුවේ කවදාකවත් ඉටු කරන්න බැරි, ඉටු කරන්න බැරි පොරොන්දු තොගයක් ‘ක්‍රියාමාර්ග‘‘ කියලා ලේබලයක් ගහලා දාලා තියෙනවා. මේ මැතිවරණ ප්රකාශනය ජවිපෙ දිගු කාලීන ප්‍රතිපත්ති ඔළුවෙන් හිටවලා තියෙනවා. එදා අපේ කඳවුරට උසුළු විසුළු කළ ප්‍රතිපත්ති අද ‘ක්‍රියාමාර්ග කියලා‘ පොරොන්දු විදිහට දාලා තියෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1982 කියපු කරපු දේවල් හරි කියලා අද ජවිපෙ ට වැටහිලා තියෙනවා. 2004 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනේ සැලසුම් ගෙඩිය පිටින් මේකේ තියෙනවා. 2015 යහපාලන ආණ්ඩුව විසින් පටන්ගත්ත වැඩ ගෙඩිය පිටින්ම මේකේ තියෙනවා.
කොහොම වුණත් රෝහිණී කවිරත්න නෝනා කියපු කතාවට මේ දක්වා කිසිම උත්තරයක් බඳින්නට අනුර හෝ ඔහුගේ පිළේ සගයන් හෝ එච්චරට ම දත කන්නේ නැත්තේ මන්දැ යි කියන්නට දන්නේ ඔවුන් ම පමණි.
තව දවස් 16 කින් රටේ පාලන බලය සජිත් අතට යයි ද, අනුර අතට ය යි ද යන්න අද කියන්නට බැරිය. අනුර දිනා හමාර ය. සජිත් ද අනුර වගේ ම දිනා අවසන් ය.
රනිල් කියන්නේ සජිත්ට අනුර පරද්දන්න බැරි කතාවකි. ඔහු යළි ජනපති අසුනේ අසුන් ගන්නා බව කියයි.
මේ තුන් දෙනාට ම අති විශාල මිනිස් සමූහන් පොදි ගැසී සිටි. ඉදින් ඔවුන් තුන් දෙනා ම දැනට දිනා හමාර ය. සමහරුන් දිනන්නේ ෆේස් බුකියෙන් බව කිංඩියට කියනවා අපට ඇසේ.
හැබැයි මේ කවුරුත් ම නොහිතන අර තුන් දෙනා ගේ රැස්වීම්වලට පිරෙන මහා ජනගංගා තුන ම කරට කර ය. හෝ ගාලා සෙනඟ ය. නැත්තං ආධාරකරුවන් ගෙන් ඒ ඒ් පිට්ටනි පිරී තිරී උතුරා ගලා යන තරමේ සෙනඟක් මොවුන්ට ඇත.
හැබැයි ඉතින් මෙවන් සෙනඟක් එකට පොදි නොගැහුණ ද හිතාගත නොහැකි අන්දමේ ගනුදෙනුවක් දිලිත් ජයවීරත් එක්ක ගම් නියම්ගමවල ජනයා සිටින්නේ ය. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සතුව ඇති දෙරණ ගුවන් විදුලි නාලිකාවත් රූපවාහිනී නාලිකාවත් විසින් හවුරුදු ගණනාවක් මුළුල්ලේ සිදුකරනු ලබන්නා වූ 'මනුසත් දෙරණ' ක්‍රියාන්විතය වට පෙළ ගැහී සිටින මිනිස් පොදි ය.
සැබැවට ම ඒ සංඛ්‍යාව පිට්ටනියකට රොක් කර ගත්තොත් සමහර විට අර අස්පයින් තුන් දෙනාට දිලිත් ගේ තරුව ලදකුණ හීනෙන් ද පෙනෙනවා යැ යි කිව්වොත්......!!!
මේ කවුරු දිනුවත් කවුරුන් ජනාධිපතිවරයා බවට පත්වූවත් එකක් බොහොම පැහැදිලි ය. ඒ ඉන්දියාවේ ඉන්දියානු වයාප්තවාදය කියන කතන්තරෙ හැටියට මෝදිට ඕනෑ හැටියට අපේ රටේ පාලකයාට නටන්නට සිදුවනු ඇති බවයි.
එච්චර විතරක් නෙවේ. අර ඇමරිකානු ගැහැනියට මුළා වී ඇගේ බහට නතුව මෝදි ගේ බෙරපදයටත් ජුකී ගේ තාලම්පටට අනුව සියලු නැටුම් නටන්නට හෙවත් රඟන්නට සිද්ධ වෙන බව යි. ඒක යි සහසුද්දෙන් ම සැබෑ ව.