ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනසංස්කෘතික

තෙවැනි වරටත් නිලංග දෑල දියවඩන නිලමේ ධූරයට

ඡන්ද 195 ක් දෑලට

මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා තෝරා ගන්නා නිලවරණයෙන් හිටපු දියවඩන නිලමේ නිලංග දෑල මහතා තේරී පත් විය.

අද පස්වරු 2.00 ට මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේ දී පැවැත් වූ ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා තෝරා ගන්නා නිලවරණයේදී ඡන්ද 195 ලබා ගනිමින් නිලංග දෑල මහතා මෙම ජයග්‍රහණය ලබා ගත්තේය .

ශ්‍රී පාදස්ථානාධිපති බංගමුවේ ධම්ම දින්න නාහිමියන් විසින් නිලංග දෑල මහතාගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ උරුලෑවත්තේ ධම්මකිත්ති හිමියන් විසිනි.

මල්වතු අස්ගිරි නාහිමිවරුන් අනුනායක හිමිවරුන් වැඩබලන දියවඩන නිළමේ නිලංග දෑල මහතා මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ඇතුළු නිලවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් මෙම නිලවරණය සදහා ඡන්දය හිමි පුරාණ විහාරස්ථාන වල නායක ස්වාමීන් වහන්සේලා, ගිහි භාරකරුවන්, බස්නායක නිළමේ වරුන් පිටිසර දේවාල භාර කරුවන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්. එම්. ජී. ජී. සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම නිළවරණය පැවැත්වුණි.

නිලවරණය ආරම්භයේ නිලංග දෑල, දමින්ද උඩුරාවණ, සරත් බණ්ඩාරනායක යන අපේක්ෂකයින්ගේ නම් යෝජනා වූ අතර එසේ නම් යෝජනා වූ දමින්ද උඩුරාවණ මහතා ඡන්ද 50 ලබා ගත් අතර සරත් බණ්ඩාරනායක මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 13 පමණි .

ශ්‍රි විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහීන්ද්‍ර රත්වත්තේ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි අතර අපේක්ෂකයින් පස් දෙනෙකුගේ නම් යෝජනා කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම විශේෂත්වයකි .

2005 වර්ෂයේ දී මුල්වරට දියවඩන නිලමේවරයා ලෙස තේරී පත් වන නිලංග දෑල මහතා මෙවර ජයග්‍රහණයත් සමඟ තුන් වන වතාවටත් මෙම ධූරය සදහා ඡන්දයෙන් තේරී පත් වන අතර 2035 වර්ෂය දක්වා එම ධූරය දැරීමට භාගය හිමි කර ගනී.

1973 වර්ෂයේ උපත ලද ඒ මහතා  කොළඹ නාලන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

උපුටා ගැනීම -   කැන්ඩි ප්‍රයිම් නිවුස් වෙතින් 

සරත් සමරනායක ජේ.ඒ.එල්.ජයසිංහ  එස්.කේ.සමරනායක  චන්දන උඩුවාවල යෝලන් පෙරේරා අවිශ්ක සමරනායක මහනුවර බෞද්ධ මන්දිරයේ සිට