ගම්පහ, මිනුවන්ගොඩ, මඩමුල්ල ගම්මානයේ වෙද ගෙදරකින් 1931 බිනර මහේ 25 වැනිදා බිළිඳෙක් ගේ හැඬීමක් ඇසුණි. වෙදමහත්තයා අක්ෂි රෝග පිළිබඳව වෙසැදුරු බවක් ඇති විජයතුංග මුදලිගේ දොන් බැස්ටියන් විජයතුංගයන් ය. ඔහු ගේ ස්වාමි දුව අමරාවතී ජයසිංහ හාමිනේ යනුවෙන් ගම් පළාතේ කා අතරත් ප්‍රියමනාප බවෙකින් පිරි කාන්තාවකි. ඇය වෙදැදුරුවරයාණන්ට දාව තවත් දරු දැරියන් අට දෙනකු රටට දායාද කළ මවකි. මෙදොහේ ඇය විසින් බිහිකළේ සිව්වැනි කිරි සප්පයා යි. මේ කිරි කැටියා පැංචෙකි. ඔහුට වේලපත්කඩය ලියද්දී ද උප්පැන්නයට නම දෙද්දී ද ඇස් වෙදමහත්තයා හාමිනේ ගේ කැමැත්ත ඇතිව ඔහුට හරිස්චන්ද්‍ර යනුවෙන් නම් තැබී ය.
අකුරු කරන්නට සරි වියේ දී හරිස්චන්ද්‍ර දරුවා මිනුවන්ගොඩ රජයේ පාඨශාලාවට ඇතුළත් කෙරුණි. එය ද්විභාෂා පාසලකි. බැස්ටියන් වෙදමහතා ඉඩකඩම් ඇති හෙවත් වැවිලිකාරයකු ද විය. ගොවිතැන් බත සරිකරග්නට කුඹුරු මෙන් ම පොල් වගාවට ද ඉඩක් කඩක් ඇති බිම් ද ඔහුට තිබුණි. .
හරිස්චන්ද්‍ර දරුවා පාසල් යෑම ඇරඹූ සමයේ දෙවැනි ලෝක යුද්ධය ඇරඹී කාලය යි. ජපනා කොළඹට බෝම්බ හෙළූවෙන් කොළඹ රටේ ඉස්කෝල එයින් ගලවා ගන්නට ගෙන්දගං පොළොවෙන් ටිකක් ඈත ගම්වල තාවකාලිකව ස්ථාපිත පාසල් පරිපාලකයින් පියවර ගත්තේ ය. ඒ අනුව කොළඹ නාලන්දා විද්‍යාලය කොළඹින් ඔබ්බේ මිනුවන්ගොඩ දිහාවට ගෙන යන ලදුයෙන් හරිස්චන්ද්‍ර සිසුවාගේ දෙමාපියන් විසින් ඔහු ගමට වැඩිය නාලන්ද විදුහලට ඔහු ඇතුළත් කරන්නට දෙපාරක් හිතුවේ නැත.
මේ ලෝකය ම සතු කරගන්න එක්වුණු තුන් බෑයන් පරදා ලෝකයාට සාමකාමීව (එය අදටත් සිහිනයක් බව සැබවි) ගෙවන්නට මිත්‍ර සමූහයා රොද බැඳ ගැනීමත් එක්ක කිසියම් සිසිල් බවක් ලැබීමත් සමඟ මිනුවන්ගොඩ පැවති නාලන්දාව යළි කොළඹට ආගමනයත් එක්ක හරිස්චන්ද්‍ර සිසුවා ද ඉදිරි අධ්‍යාපනයේ එහි ම නිරත වෙන්නට හැකිවිය.
නාලන්දාවෙන් ඔහු ගියේ විහ්වවිද්යාලයට යි. ඒ 1952 දී ය. හේ විද්‍යා උපාධිය කරපින්නා ගෙන සමාජයට පිවිසියේ 1955 හවුරුද්දේ යි.
විද්‍යා උපාධිධාරියකු සේ සමාජයට පිය නැඟූ හරිස්චන්ද්රයෝ ධර්මරාජ විදුහලේ සේවයට එක්වූයේ විද්‍යා ගුරුවරයකු හැටියට යි. ඔහු මහාමායාවේ සිසු දැරියනට රසායන විද්‍යාව ද ඉගැන්වී ය. ඔහු ධර්මරාජ විදුහලේ උප විදුහල්පති කම ද කළේ ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටුවන ලද සිංහල විශ්වකෝෂයේ විද්‍යා අංශයේ කතුකමට පත්කෙරුණේ අපේ හරිස්චන්ද්‍රයන් ය.
ධර්මරාජයේ දරුවනට සිප්සතර කියා දෙමින් හුන් හරිස්චන්ද්‍ර ගුරුවරයා ‘මිරිදිය ජීවිත නමින් විද්‍යා පොතක් ලියා පළ කරන ලද්දේ ය. ඒ 1955 වසරේ දී. ඊළඟ හවුරුද්දේ ඔහු ජ්‍යෙෂ්ට රසායන විද්‍යාව පළ කළේ ය. තවත් හවුරුදු තුනකට පසු ඔහුගෙන් ලියැවුණේ අපේ ‘පොළොවේ කථාන්තරය’ යි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) ආයතනය 1965 වසරේ ආරම්භ කරද්දී එහි ලේකම්වරයා සේ පත්වීම් ලද්දේ අපේ භූමිපුත්රයාණන් ය. විදුලි ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාව මෙන් ම කෘෂිකර්මාන්තය සහ රසායනික දුව්‍ය වගේ ම ශ්‍රී ලංකාවේ මෙට්රික්කරණය පිළිබද අංශ කමිටු පත් කරන ලද්දේ ඔහු ගේ අධීක්ෂණය යටතේ ය.
මෙසේ ඉමහත් සේවයක් කරමින් හුන් හරිස්චන්ද්‍ර විජයතුංගයෝ යළි ශිෂ්‍යයක් වූහ. ඒ නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරීමට යි. 1973 දී ඔහු නීතිඥවරයකු සේ දිවුරුම් දුන්නේ ය. නීතිඥ හරිස්චන්ද්‍ර විජයතුංග ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකාරයන් වෙනුවෙන් පෙනී සිටිම ගැන අද ජවිපෙ හි රඟන කවරකු හෝ දන්නේද යන්න සැක සහිත ය. මහ රැජිනට විරැද්ධව කැරලි ගැසුවේ ය යන චෝදනාව යටතේ 71 කැරැල්ලේ නායකයා වූ චූදිතයන් ගණනාවක් වෙනුවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ නැඟී සිටියේ ය.
අසූව දසකයේ ආරම්භයේ පටන් දිගු කලක් හේ සිංහල බෞද්ධයා ටැබ්ලොයිඩ් පුවත්පතෙහි කතුකම කළේ ය.
1894 සිට 1990 කාලය දක්වා සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ධූරය හෙබ වූ හෙතෙම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක නීති සම්පාදනයේ සිංහල අනුවාදය භාරව හුන්නේ ය.
විශ්වවිද්‍යාලයේ සිටිය සමයේ දී ම දේශපාලනයට සරසවියේ සිංහල අංශයේ ආරම්භක සාමාජිකයකු සේ හිඳිමින් රාජ්‍ය භාෂාව ලෙස සිංහල බස ක්‍රියාත්මක කිරීමේ බලපෑම් කණ්ඩායමේ ප්‍රබලයකු සේ සටන් ඇරඹී ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සමඟ කිට්ටු සබඳතාවයක් පැවැත්වූ චරිතයකි.
ඔහු 1994 දී හා 1999 දී ද ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු සේ තරඟ කරන ලද්දේ සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයෙනි. ඒ ඔහු විසින් නිර්මාණය කරන ලද දේශපාලන පක්ෂය යි.
ඔහු ලියා ඇති පොත පත බොහෝ ය.
පහන් වන දා (1961) කුමාරතුංග ගේ සමාජ දර්ශනය (1962), ඩරන්ට් ගේ කාබනික රසායනය (1963) මාඕ සේතුංගේ කලාව හා සාහිත්‍යය (1963) සිංහල ශබ්දකෝෂය සම්පාදනයට අලුත් ආකල්පයක් (1977), නූතන සිංහල පාරිභාෂික ශබ්දකෝෂය (1978) ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය (2005) ආගමික නිදහස හා මූලික අයිතිය (2003) යක්කු සහ කුවේණිය (2008) ඔහුගේ කෘති කිහිපයකි.
ලේඛකයකු, පරිවර්තකයකු, ශබ්දකෝෂ සම්පාදකයකු, ගුරුවරයකු, නීතිඥයකු මෙන් ම දේශපාලඥයකු ආදී හෙළදිව, ක්ෂේත්‍ර ගණනාවක සිය හැකියාව අපූරුවට පෙන්වන ලද ලක්මවගේ අති උදාර පුත්‍රරත්නයකි.
ඒත් මේ බිමේ උපන් මිනිසුන් මෙවන් අති දක්ෂතාවක් ඇති උතුම් මිනිසුන් ගේ අගය නොසලකා හරිමින් පුස්සන් වැඩ්ඩන් කරන්නට සමත්වීම ජාතියේ මෙන් ම දේශයේ ද අවාසනාවකි.
රට ම, සමස්ත ජනතාව ම විනාශ කරමින්, කෝටි ප්‍රකෝටි ගණනින් කාසි පණම හොයන්නට ජාවාරම් කරන, පාතාලයේ මෙන් ම සමාජ විරෝධී සෙසු ක්‍රියාකාරකම් හි නියැළෙන්නන් වෙනුවෙන්, පත්තර පිටු ගණන් වෙන් කරන, ගුවන්විදුලි, රූපවාහිනී ගුවන් කාලය නිරපරාදේ ක්ෂය කරන පිරිස්, මෙවන් උතුම් ප්‍රාඥයින්, වියතුන්, දේශයට නිහඬව හිඳිමින් නොමැකෙන සේවයක් කරන මිනිසුන්, අගයන්නට උනන්දුවක් නොදැක්වීම මොන තරම් ඛේදජනක දැ යි මේ අවස්ථාවේ අපි ලියා තබමු.
මහා භූමිපුත්රයාණෙනි! හරිස්චන්ද්‍ර විජයතුංග මැති සඳුනි!!
ඔබට නිවන් සුව!
හෙළදිව ශිර්ෂ ප්‍රණාමය!!
සාතිශය සංවේගය මෙසේ සටහන් කරමින් දක්වන්නෙමු!!
– සුගතපාල මැන්දිස් .
.
