සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලු
රටේ දුප්පත්කම වැඩි වෙලා තියෙද්දි රටේ පාලකයෝ බාර් පර්මිට් කාර් පර්මිට් බෙදනවා. මේ වන විට වාහන පර්මිට්, බාර් පර්මිට් සහ විවිධ වරදාන වරප්‍රසාදවලට මන්ත්‍රීවරුන් මුදලට ගන්නා උත්සාහයක් ඇති නමුත් සමගි ජන බලවේගය මේ වරදානවලට හසු නොවන බවත් කිසිදා තමා ඇතුළු පිරිස ලක්ෂ 220 ජනතාව පාවා නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා කියා සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන පැතිවල පවා මෘදු මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් මේවා පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථාන අසල පවා ආරම්භ කර ඇති බැවින් අප රටට පාසල් මට්ටමේ සිට අමද්‍යප වැඩසටහනක් අවශ්‍ය බවත් මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය බැහැර කරපු රටක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එසේම ලක්ෂ 220ක් ජනතාව දුප්පත්කමින් පෙළෙන කොට නැතිබැරිකමින් පෙළෙන කොට රටේ ප්‍රධානම න්‍යාය පත්‍රය වී ඇත්තේ බාර් පර්මිට් හා කාර් පර්මිට් වෙන්දේසිය බවත් මේ ජරාජීරණ වූ සංස්කෘතිය නැති කර දැමිය යුතු බවත් ජනතා වරමට, ජනතාවගේ අයිතිවාසිකම්වලට මුල්තැන ලබා දිය යුතු බවත් මේ රටට අවශ්‍ය වන්නේ කයිවාරුව නොව වැඩ බවත් කතාව, සෝබනය, වචන හරඹ නොව ජනතා සංවර්ධනය බවත් ඒ යුගය වෙනුවෙන් කැපවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර පදවිය පරාක්‍රම මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 189 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. එසේම රිමෝට් මල්ටිමෙෂර්මන්ට් ඩිවයිස් එකක් නිර්මාණය කරමින් සමස්ත ලංකා රොබෝ තාක්ෂණ තරගයෙන් පළමු ස්ථානයට පත් අනුරේෂා දියණියට රුපියල් 25000ක පරිත්‍යාගයක් ද සිදු කළේය.