උණුසුම් පුවත්විශේෂාංගසංස්කෘතික

බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ දුරුතු පසළොස්වක් පුන් පෝදා අද (13) යි

පුරපසළොස්වක පුන් පොහෝ දා ඇති වැදගත්කම

2025 වසරේ උදාව සිදුවී දවස් දහතුනකින් හෙවත් අද දවසේ වසරේ පෝය දොළසින් පළමු පොහොය දවස උදාවූ පින්බර දිනය හෙළදිව් හි බොදුනුවනට මෙන් ම ලෝකය පුරා විසිරී පැතිරී සිටින හැම බෞද්ධයකුට ම අති උතුම් වැදගත්කමකින් යුත් දොහයි. 

සිරි ගෝතම බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ම අග්‍ර වී බුද්ධත්වයට පත් ව නම මසකින් මෙසිරිලකට වැඩිය බව ලෝක බොදුනුවන් ගේ වංශ කථාවේ දැක්වෙන ඒ උත්තරීතර දිනය මොන තරම් අගනේ ද? වටනේ ද?
මෙදින උදාවීමට පෙර හෙවත් නව වසරකට හිරු කිරණ මිහිමත පතිත වන විට ම හෙළයේ බොදු දනන්ගේ සිත් හි මහත් ප්‍රීතියක් වඩවමින් දුරුතු මහේ පුන් පෝය උදාවන අයුරු සිහියට   නැඟෙන්නේ නිරාමිස ප්‍රමෝදයක් වඩවමිනි. ඒ දිනය අද යි.
අදින් වසර 2568 කට පෙර සියලු කෙළෙස් දුරුකරමින් දස මරුන් පරාජය කොට වෙසක් මහේ පුර පස‌ළොස්වක පෝදා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරා බුද්ධත්වය ලැබ ගත් සිදුහත් ගෞතම අපේ බුදු හිමියන් එතැන් පටන් මාස නමයක් ගත වූ සඳ අද වන් දිනෙක මේ පින්බිම පාද ස්පර්ශය කරමින්හෙළදිව බින්තැන්නේ මාවැළි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවන් ගැබින් පහළ ව පුන්සඳ මඩලක් සේ  බුදු රැස් මාලාවන් ගෙන් දිලිහි දිලිහී වැඩහුන් අයුරු වංශ කථාවේ දැක්වෙන සඳහන අසිරිමත් බවෙන් අනූන ය. 
ලොව්තුරා සම්මා සම්බුදු පදවියෙන් අබිසෙස් ලබා නව මසකින් තිලෝගුරු බුදු සමිඳාණන් වහන්සේ දුරුතු පුන් පොහෝදා උරුවෙල් දනව් පියසෙහි, උරුවෙල් කසුප්, නදී කසුප් හා ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන ඔවුන් ගේ දහසක් සවුවන් දහම් මගට හරවා ඔවුන් හැම දනා අරී සඟ ගණ බවට පත්කොට අනතුරුව යි හෙළදිව් හි මහියංගණය අහසේ වැඩ සිටිය ආකාරය කෙසේ නම් වනන්න ද? 
මහානාග වන නමින් හැඳින්වුණු උයන් බිමට රැස් වූ යක්  හා නා කුල සෙබළෝ සිය පරවේණි උරුමය කරගෙන සිටි බිම් පියසෙහි පත් කඩ අතුරා රන්වන් රැස් කඳින් දිලිසෙමින් වැඩ හිඳිනා තිලෝගුරු බුදුරදුන් වෙත විරුදු ව මහා සටනකට එළඹිය හ සඳකිරණ පරයන සිසිල් සුදෝ සුදු බුදුරැස් දහරා විහිදුවමින් කුළුණුබර ත්‍රෛයිලෝක නාථ සම්මා සම්බුද්ධ වූ මහා ශාක්‍ය සංහයාණන් වහන්සේ   මිහිරි නදින් දහම් දෙසා ඔවුන්ගේ තෙදබල බිඳිින ලදහ. 
අනඟි බුදුසිරි නැරඹීමට එහි පැමිණ සිටි සමනොළ පවු වැසි සුමන සමන් දෙව්රජාණෝ දහම්රස උරා බී සෝවාන්ව අරිසව්වකු බවට පත්වූහ. මේ උතුම් අවස්ථාව සිහිකිරීම උදෙසා එතුමෝ කළ ඉල්ලීම පරිදි තම සුරතින්  සිරස පිරිමැද කෙස් කළඹක් ප්‍රදානය කළහ. සුමන සමන් දෙවියෝ ඒ නිල්මිණිවන් කෙස් කළඹ රන් සුමු‍ඟෙකින් පිළිගත්හ.  බුදුරජාණන් වහන්සේ වැඩ සිටිින් දහම් අමාවැසි වැස්ස වූ  බිම රුවන් රැසක් අතුරා ඒ මත තබා ඉඳුනිල්වන් ගලින් සත්රියන් උසැති සෑයක් බන්දා කේශධාතු නිදන් කොට පුදා පෙරහැර දැක්වූහ. 
සම්මා සම්බුදු රදුන් බුදු වූ පළමුවැනි වස ම සුමන සමන් දෙවියෝ මේ සෑ රදුන් බඳින ලද්දාහ. දෙවියන් විසින් බඳින ලද මුල් සෑය මහියංගණයේ ඉදිකරන ලද මියුගුණ සෑය බව සියලු බොදුනුවන් දැන ගනිත්වා! 
මුළු ලෝකයේ ම ඉපැරණි මහා සටනක පුරාවෘත්තයක් සිහියට නංවන තථාගතයන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණසමුදාය ලෝ දනන් වෙත කියා පාන්නා වූ  පෙන්වන්නා වූ හෙළයන් ගේ මහා  ජාතික සංකේතයෙකි මියුගුණ මහ සෑ රදුන්. 
බුද්ධත්වය ලැබූ තැන් පටන් ලෝ වැසි දනන් ගේ සිත් සතන් දම් සිසිලෙන් තෙමා සනහාලමින් හතළිස් පස් වසරක් පුරා ලොව අන් කිසිවකුට කළ නොහැකි කරුණා ගුණය වපුරමින් සැම දෙනා සසරින් මුදා ගැනීමට කැපවූ උතුමාණෝ   පිරිනිවන් පෑමෙන් අනතුරුව බුදු සිරුර දැවෙන දර සෑයෙන් දම්සෙනෙවි සැරියුත් මහරහත් මාහිමිපාණන් ගේ අත වැසි සරභූ රහත් හිමියෝ ග්‍රීවාධාතුව නිදන් කොට ‍හිමවතින් ගෙනෙන ලද මේදෝ වර්ණපාෂාණයෙන් දොළොස් රියනක් උසැති සෑයක් කොට බන්දා ලූහ වග බෞද්ධ පොත පතෙහි සඳහන් ය. 
දෙවන පෑතිසි නිරිඳුන්ගේ මලණු උද්ධචූලාභය කුමරුවෝ ඒ මියුඟුණු සෑය තිස් රියන් උසැති දාගැබක් සේ බඳවන ලද්දා්දාහ. එයින් සියක් වසක් ඇතුළත හෙළදිව එක්සේසත් කළ හෙළ මහා විරුවාණන් ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නා වූ ගැමුණු අබා නිරිඳුන් විසින් අසූ රියනක් තුඟු කොට බඳවන ලදී. මියුඟුණු සෑය හෙළදිව පහළවුණු පළමුවැනි සෑය යි. සිංහල ජාතියේ අතීත ප්‍රෞඪත්වය ලොව හමුවේ කියාපාන රාජ පූජිත මහාර්ඝ වූ ජාතික දායාදයෙකි මේ මහා චෛත්‍යය රජාණන් වහන්සේ. එය සිංහල ජාතියේ ඉතිහාසයට ද වඩා ප්‍රෞරාණික වූවෙකි.
බුදුරජාණන් වහන්සේ බුදු සසුන නිරුපද්‍රිතව ආරක්ෂා වන දේශය ලෙස ලක්දිව හැඳින්වූ බව වංසකථාකරුවෝ පවසති. මහ සඟ රුවන ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය හා දහම් පොතපත රැකගැනීම, ත්‍රිපිටක ධර්මය පොත්පත්වල ලියා තැබීම, රාජ්‍ය නායකයන් හා ජනතාව උත්තරීතර සදහම් මගට යොමුකරවීම බුදුදහමේ චිරස්ථිතිය, ව්‍යාප්තිය, පෝෂණය සඳහා ඉවහල් විය. බුදු සසුනේ අනාගත පැවැත්ම දුරුතු මස දුරුතු පොහෝ දින බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනින් තහවුරු විය.
බුදුගුණ ගීයෙන් මවු තුරුලේ නැළවී මහ සඟරුවනේ ඇසුරෙන් සියලු සිප්සත හදාරා සදහම් අමා වැස්සෙන් නැහැවෙමින් මවුපිය වැඩිහිටි අවවාද අනුශාසනා වැඩුණු වියපත් අතීත හෙළ දරුවන් දෙස, බස, රැස රැක ගනිමින් වෙහෙර විහාර ඉදි කරමින් කළ උදාර සේවාව, අපි දුරුතු පොහෝදින සිහිපත් කරමු.
බුදුන් වහන්සේගේ තෙ වන ලංකා ගමනය සිදු වූ කැලණි පුරවරය ඒකාලෝක කරමින් දුරුතු පොහෝ දින කැලණියේ දුරුතු පෙරහර පැවැත්වේ. විවිධාංග රාශියකින් අලංකාරවත් වන දුරුතු පෙරහර, බුදුදහම නිසා අප ලද සංස්කෘතික දායාදයකි.
මේ උතුම් දායාදය රැකගැනීම හෙළයේ හෙළයන් ගේ පැහැර හැරිය නොහැකි වගකීමකි. ඒ වගකීම ඉෂ්ට සිද්ධ කරන්නට අපි හැම එකම බැම්මකින් බැඳී ලොවක් සනහන බුදු දහමත් බෞද්ධ සංස්කෘතියත් ආරක්ෂා කර ගන්නට නෙත් සිත් පහන් දල්වා ගනිමින් නිබඳව ම සැදී පැහැදී සිටින්නට පෙරට ම යමු.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
සියලු සත්වයෝ නිවන් දකිත්වා!!
සාදු 
සාදු
සාදු!!!
- සුගතපාල මැන්දිස් -