අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතු ම ය. ඒත් ඒ අපේ පොළොවට සරිලන ලෙස යි.!
හරිනි අමරසූරිය ගරු අගමැතිනිය, පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා නැඟූ 'ධර්ම චක්‍රය' සහිත රාජ්‍ය ලාංඡනය හෙවත් රාජ්‍ය මුද්‍රව පැනයට දුන් පිළිතුර
ගරු කතානායක තුමනි,
''ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ වෙනම පනතකින් පිහිටවන ආයතනයක්. ඒ ආයතනයේ විනය කටයුතු කරන්නේ එතැන කවුන්සිල් එක විසින්. එතකොට අමාත්‍යාංශයට ඍජුවම කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. පනත යටතේ ක්‍රියාමාර්ග ගත යුත්තේ ඒ කවුන්සිලය විසින්. ඒ නිසා තමයි අපි මූලික විමර්ශනය සඳහා කවුන්සිලයේ අනුමැතිය අරගෙන දැන් රජිත ආරියරත්න විසින් මේක ලේකම් තුමා පත් කරලා දැන් ඒ ක්‍රියාමාර්ග සිද්ධ වෙමින් යනවා. ඒක භාර අරන් තියෙනවා විමර්ශන අනුව ක්‍රියාමාර්ග ගනීවි. ඒක ගැන කිසිම, නවත්තන්න කිම අවශ්‍යතාවයක් නෑ. අපි ඒගැන සාකච්ඡා කළා. මේක බැරෑරුම් ලෙස භාර අරගෙන විමර්ශන කරලා අදාළ නිලධාරීන්ට දඬුවම් කළ යුතු විදිය ගැන ඒ කවුන්සිලය තීරණය කරනවා. අපි අධීක්ෂණය කරනවා."
දෙවන කරුණ ගරු කතානායක තුමනි,
මේ ධර්ම චක්‍රය සහ අසෝක චක්‍රය ගැන තියෙන පැටලැවිල්ල. මේ මතය ගැන විපක්ෂ නායක තුමා මතු කළේ. පොතේ ඇතුළත්වෙලා තියෙන්නෙ ඇත්ත වශයෙන් ම බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරල තියෙන සංකේතය. මේක අමාත්‍යාංශයේ බුද්ධාගම පිළිබඳ උපදේශන සභාව විසිනුත් අනුමත කරපු එක. ඊයේ මම ගරු අපේ අස්ගිරිය සහ මල්වත්ත ගරු මහ නායක මා හිමිවරුන් බැහැ දැක්කා. ඒ අවස්ථාවේ මම උන් වහන්සේලා එක්ක කතා කළා,
ඒ අවස්ථාවේ ඔවුනුත් කීවේ මේක තමයි, අනුමත වෙලා තියෙන සිම්බල් එක කියලා, උන් වහන්සේලාත් තහවුරු කළා. ඉතින් මේක නිවැරදියි. මේක නිවැරදියි. මේක අසෝක චක්‍රය වගේ තමා. නමුත් ඒක තමා අනුමත වෙලා තියෙන නිල සිම්බල් එක. හැබැයි අපේ රටේ අනිත් එකත් පාවිච්චි වෙනවා. අනිත් එකත් පාවිච්චි වෙනවා. ඒක නොවෙනවා නොවෙයි. නමුත් අනුමැතිය ලැබිල තියෙන්නේ නිල වශයෙන් මේකට. ඒක තමා අපි බෞද්ධ කටයුතු ඇමතිවරායා නෑ මෙතැන. එතැනිනුත් අපි අනුමැතිය ලබා ගත්තා ඒක විතරක් නෙවෙයි අපි බෞද්ධ කටයුතු අමාත්යාංශාය් උපදේශක බුද්ධාගම පිළිබඳ උපදේශක සභාවෙනුත් මේක අනුමත කළා. මං ඊයේ මහ නායක හිමිවරුන් හා කතා කලා ම ඔවුනුත් මේක අනුමැතිය ලැබිල තියෙන සංකේතයක් කියන එක ඔවුන් ප්‍රකාශ කළා ගරු කතානායක තුමනි! 

යනුවෙන් අගැමැතිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස යි. සජිත් නැඟූ ප්රශ්නය මෙයයි.
සජිත්- ආගම් හා සාරධර්ම අධ්‍යාපනය යන්න තුළ බුද්ධ ධර්මයේ ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය ඇතුළත් කර තියෙනවා. මෙය බරපතල ගැටලුවක්. මේ වැරදි පවා නිවැරදි කළ යුතු යි. රාජ්‍ය ලාංඡනයේ ඇති ධර්ම චක්‍රය මෙහි නැහැ. මේ නිවැරදි කිරීම් ද සිදු කළ යුතු නිසා වඩාත් විධිමත් සාකච්ඡාවකට සංවාදයකට ලක් කළ යුතුයි"
අගමැති හරිනි කීව මේ කතාවේ සත්‍යාසත්‍යතාවය අපි නොදනිමු. ඇය කියන්නේ අපේ රාජ්‍ය ලාංඡනයේ දැක්වෙන ධර්ම චක්‍රය නොව අනුමතව ඇත්තේ අසෝක චක්‍රය වගේ එකක් බව යි. ඇය ඉන් නොනැවතී ඊට දවසකට පෙර මහනුවර දී මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයන් හි මහා නායන මා හිමිපාණන් වහන්සේලා බැහැ දැක මේ ගැන කී බව ද කියයි. එමතුද නොව උන්වහන්සේලා දෙනම ම එය නිවැරදි ලාංචනය බව තහවුරු කළේ යැයි ද පවසයි.
උන්වහන්සේලා අගමැතිනිය සමඟ එසේ කීවේ ද යන්න අපි නොදනිමු. එමෙන් ම බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශන සභව විසින් ද එය, එම අමාත්‍යාංශය විසින් අනුමත කරැති ධර්ම චක්‍රය බව ද, ඕ පාර්ලිමේන්තුවේ දී සජිත් විමසූ විට කීවා ය.
බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක මණ්ඩලය කවුරුන් කවුරුන් ද කියා ද රටේ ජනතාව නොදනී. අප ද දන්නේ නැත. එය අපේ දුර්වලතාවයකි. මොකද කියනවා නම් අපේ රටේ හවුරුදු දෙදාස් පන්සිය හැත්තෑවකට පෙර පටන් පවතින්නා වූත්, වරින් වර දෙස් විදෙස් නරුම පිරිස් විසින්, මේ පොළොවෙන් අකාමකා දමන්නට පිට පොට ගසන්නා වූත්, බෞද්ධ දර්ශනය හා හෙළයන්ගේ බොදුකම, රැක ගන්නට තරම්වත්, ඇවැසි බවක්, බොදුනුවන් වන බහුතර ජනයාට නැති හෙයිනි.
උපදේශක මණ්ඩලය අසෝක චක්‍රය හා සමාන කමක් ඇති, ධර්ම චක්‍ර ලාංඡනයක් අනුමත කර ඇත්තේ, කවදා ද කවුරුන්, කවුරුන් විසින් ද යන්නත්, අගමැතිනිය අපට කියනවා නම් එය, නොදන්නා අප වැනි මිනිසුන්, දැනුවත් කිරීමේ වගවීම, මේ රටේ අග්‍රාමාත්‍යවරිය මෙන් ම ිශේෂයෙන් ම අධ්‍යාපනය භාර ඇමතිවරිය වන, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, හෙළ දෙසේ හෙළයන් ගේ, නොදන්නාකම දුරු කරන්නට, තත්පර වුවහොත් ඔය සජිත් මහත්තයා වගේ, උදවියට අනවශ්‍ය ලෙඩ දමන්නට හැකි වන්නේ නැත.
ලංකාව හෙවත් ඉංගිරිසියෙන් 'සිලෝන්' යනුවෙන් සුද්දන් හඳුන්වන ලද, අපේ රට ශ්‍රී ලංකාව සේ හඳුන්වන්නට, පටන් ගත්තේ 1972 වසරෙන් අනතුරුව බව යි, අපගේ විශ්වාසය. අපේ රට බොහොම කුඩා ය. පුංචි ය. ලෝක සිතියමේ සිරිලකට හිමි තැන, අල්පෙනෙන්ති කුඩක් තරම්වත් නැත. ඒත් එහෙම කුඩා රටක්, පුංචි දූපතක් වූවත්, ලෝකයා මේ බිම හඳුන්වන්නට, නම් ගණනාවක් භාවිතා කරැති බව පෙනේ

සිහල, සිංහලදීප, සෙරෙන්දිබ්, සීලදිබ, ඊළාම්, සීඅන් - ලන් - ෂාන්, සලෙයි, සලිකෙ, සේලාන්, සිහිලාන්, සෙයිලාඕ, සිලෝන්, හෙළදිව ආදී ලෙස මේ පුංචි දූපත, දුර ඈත අතීතයේ පටන් ම ලෝකයා හඳුන්වන්නට හුරු ව සිටිය බව පෙනේ. ඒ අපේ රටේ වංහුංවලින් බිඳකි.
දැන් අපි ප්රස්තුත කාරණාවට බහිමු.
ශ්‍රි ලංකාව සුද්දන්ට ඔප්පුවකින් ලියා දුන් පසු, ඔහුන් ලංකාවේ රාජ්‍ය ලාංඡනය සේ, යොදා ගත්තේ පලාපෙති වළල්ලක් මැද, දකුණතින් අසිපතක් දරනා, සිංහයා හා ඊට ඉහළින්, හිරු නොබසින අධිරාජයාගේ කිරීටය දැක්වෙන ලාංඡනය යි.
මේ ලාංඡනය වෙනුවට 1970 දී ලංකාවේ පාලන බලය, 2/3 ක ජනවරමින් සතු කරගත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඈඳුණු, ලංකා සමසමාජ පක්ෂයේ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම් ලත්, සමගි පෙරමුණු ආණ්ඩුව විසින්, ලංකාව සුද්දන්ගේ කිරීටයෙන් නිදහස් වෙමින්, අපේ ම වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කොට ගත්තේ 1972 ජුලි 22 දා යි. ඒ අනුව සුද්දන්ගේ රාජ්‍ය ලාංඡනය වෙනුවට අපේ ම වූ, රාජ්යා ලාංඡනයක් හෙවත් රාජ්‍ය මුද්‍රාවක්, නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පැන නැඟුණි. එය සපුරාලීම උදෙසා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින්, මෙහි වගකීම පවරණ ලද්දේ එවක සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, ස්ථිර ලේකම් මෙන් ම සහ ජාතික ලාංඡනය සහ ධජ නිර්මාණ කමිටුවේ සභාපති වූ නිශ්ශංක පරාක්‍රම විජයරත්න මහතාට යි.

විජයරත්න මහතා ශ්‍රී දළඳා මාලිගාවේ 17 වැනි දියවඩන නිලමේ වරයා ලෙස 1975 සිට 1985 දක්වා දස වසරක කාලයක්, දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය දරමින් කරන ලද මාහැඟි සේවාව සුළුපටු නොවේ.
හේ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා සේ ද, අධිකරණ ඇමතිවරයා සේ ද කටයුතු කරන ලද්දේ ය.
නිශ්ශංක පරාක්‍රම විජයරත්න මහතා උපන්නේ 1924 ජුනි මස 12 වැනිදා යි. ඒ කෑගල්ලේ බුද්දෙණිපොළ වලව්වේ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න හා ලීලා විජයරත්න මාපියන්ගේ දෙවැනි දරුවා ලෙස යි.
නිශ්ශංක විජයරත්නයෝ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අකුර කළහ. අනතුරුව සරසවි වරම් ලැබ ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් දිනා ගත්හ. ඔහුට ආගමික දර්ශනය හා සමාජවිද්‍යාව කෙරෙහි ලොකු උනන්දුවක් තිබිණි. ඔහු ඉතා දක්ෂ ඉංග්‍රිසි බසින් කවි ලියූ කිවිඳෙකි.
උපාධිධාරියකු සේ විශ්ව විද්‍යාලයෙන් පිටවූ ඔහු කෙටි කලක්, ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු බළකායේ, ස්වේච්ඡා නිලධාරියකු සේ හමුදා සේවයට එක්විය. ඒ දෙවන ලුතිනන්වරයකු හැටියට යි. අනතුරුව සිවිල් සේවා විභාගයට පෙනී සිට ඉන් සමත්ව ලංකා පරිපාලන සේවයට එක් වූයේ ය. විජයරත්න මහතා අනුරාධපුරය, මන්නාරම හා යාපනයේත්, සිවිල් සේවා නිලය මෙහෙයුවේ ය. කෙටි කලක් ගාල්ලේ සහකාර නියෝජිතයා සේ ද ක්‍රියා කළේ ය.
අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ, සභාපතිවරයා වූයේ ද විජයරත්නයන් ය. ඔහු යුනෙස්කෝවේ විධායක මණ්ඩල සාමාජිකයකු ලෙස ද සේවය කළේ ය. ඒ 1987 සිට දෙවසරක කාලයකි.
අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින්, රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන්නැ යි, ඔහුට දන්වන විට හේ සංස්කෘතික අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා යි. ජාතික ලාංඡන හා ධජ නිර්මාණ කමිටුවේ සභාපතිත්වය දැරුවේ ද විජයරත්නයන් ය.
මේ සඳහා ඔහු සම්බන්ධ කරගෙන, වගකීම පවරන ලද්දේ මාපලගම විපුලසාර හිමිපාණන්ට යි. උන් වහන්සේ ලෝක පූජිත කලාකාර ධර්මදූත මෙහෙයෙහි යෙදුණු සංඝ පීතෘවරයෙකි.
උන්වහන්සේ පැවිදි බව ලද්දේ, රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙනෙහි ය. එහි වැඩ වාසය කරමින් උපසම්පදාව ලද උන් වහන්සේ, අගලවත්තේ ප්රතිරාජ පිරිවෙනෙන් ද, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් ද, ශාසනික වත් පිළිවෙත් හා ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණත්වය ලදහ. අනතුරුව උන්වහන්සේ පරම ධම්මචේතිය පිරිවෙනෙහි අධිපතිත්වය ද දැරූහ.
මාපලගම විපුලසාර නාහිමිපාණන් වහන්සේ, ජන්ම දායාදය ලද්දේ 1
925 මාර්තු මස 3 වැනිදා යි. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසනයේ, මාපලගම ගම් පියසේ දී ය. දෙමාපියන් විසින් එදා විජේදාස ගණේවත්ත යනුවෙන් නම් තැබූ, ඒ හිමිපාණන් සැරියුත් මුගලන් පරම්පරාවට, එක්වූයේ 1939 දී ය. උන්වහන්සේ අපවත් වන ලද්දේ, 2000 ඔක්තෝම්බර් 28 වැනිදා ය.
මාපලගම හාමුදුරුවෝ විදෙස් රාජ්‍යයන් හි, බුද්ධ ප්‍රතිමා හා මූර්ති නිර්මාණය කාර්යයේ යෙදී දෙස් විදෙස් හි කීර්තියක් දරන ලද්දාහ. 1984 දී කලාශූරී සම්මානය, ලක් රජය විසින් පිරිනැමී ය. සෝවියට් දේශයේ මෙන් ම මහජන චීනයේ ද, චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන පවත්වමින් ඒ රට රාජ්‍යයන් හි ජනප්රසාදය දිනා ගත්හ.
ඉන්දියා මහා බෝධි සංගමයේ මහ ලේකම් පදවිය පිරිනැමීම විපුලසාර හිමියන්ගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවකි. ඓතිහාසික ඉන්දියානු බෞද්ධ සිද්ධස්ථානවලට සුදුසු දැන උගත් භික්ෂූන් වහන්සේ පත්කොට එම ආයතන ආරක්ෂා කර ගැනීමට හා එමඟින් ආගමික හා ශාසනික මෙහෙවරක් ඉටුකිරීමටත් උන්වහන්සේ සුවිශාල වැඩ කොටසක් ඉටු කළ බව අවධාරණය කළ යුත්තේ ම ය.
දේශීය කලාවට මෙන් ම, කලාකාරයින්ට ද නිසි තැන ලබා දෙන්නට, උන්වහන්සේ කළ කැපකිරීම්, ප්‍රශංසා කටයුතු ය. 'ජාතික කලා පෙරමුණ' මාපලගම හිමියන්ගේ, අප්‍රතිහත ධෛර්යේ ප්රතිඵලයකි. විදෙස් හි ධර්මදූත මෙහෙයේ යෙදෙමින්, මාපලගම හාමුදුරුවන් රටට හා, බොදුනුවන්ට අත්කර දුන් කීර්තිය අමිල ය.
පාප් වහන්සේගේ ආරාධනයෙන් 1974 වසරේදී වතිකානුවට වැඩම කළ විපුලසාර හිමියෝ රෝමය ග්‍රීසිය ආදි රටවල පවත්නා විවිධ කලාත්මක නිර්මාණයන් ද මයිකල් ඇන්ජලෝ ආදී විශිෂ්ට ගණයේ කලාකරුවන්ගේ අගනා කෘතීන් ද දැක බලා ලබාගත් දැනුම හා පරිචය ද උන්වහන්සේ තම නිර්මාණවලට දායක කරගත්හ.
නිශ්ශංක විජයරත්න මහතා ගේ උපදෙස් මත, ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය මුද්‍රාව, නිමහම් කරන්නට කාලය මිඩංගු කළ මාපලගම හිමිපාණන්, එහි ඇති ලාංඡනයේ නිර්මාණකරු ය.

අපේ රටේ අද දක්වා යෙහෙන් පවතින ධර්ම චක්‍රය ඉහළින් ම බැබළෙන මේ අපේ රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම කළ හු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ නියැළිණු එස්.එම් සෙනෙවිරත්නයෝ ය.
රටෙහි ජාතික පුෂ්පය වන, නිල් නෙළුම් වල, රන් පෙති වලින් වට වූ, මෙරූන් පසුබිමක මධ්‍යයේ, දකුණු ඉදිරිපස පාදයේ (ශ්‍රී ලංකාවේ ධජයේ සිංහයා) කඩුවක් අල්ලාගෙන සිටින, රන් සිංහයෙකු, මෙම ලාංඡනය දක්වයි. මෙය සෞභාග්‍යය පිළිබිඹු කරමින්, මායිම වටා කැරකෙන සහල් ඇට කැබලි, දළුලන සම්ප්‍රදායික ධාන්‍ය බඳුනක් මත තබා ඇත
ලාංඡනය මුදුනේ ධර්මචක්රය වන අතර, එය බුද්ධාගම සහ සාධාරණ පාලනය සඳහා, රටේ ප්‍රමුඛස්ථානය සංකේතවත් කරයි. සූර්යයා සහ චන්ද්‍රයා සඳහා, සම්ප්‍රදායික සිංහල හෙරල්ඩික් සංකේත ආධාරකරුවන් සාදයි.
ලාංඡනය උඩම ධර්මචක්රය වන අතර එය බුදුදහමට සහ සාධාරණ පාලනයට රටේ ප්‍රමුඛස්ථානය සංකේතවත් කරයි. සූර්යයා සහ චන්ද්‍රයා සඳහා සම්ප්‍රදායික සිංහල සංකේතාත්මක වස්තුවක් මෙන්ම ධර්මචක්රය බුද්ධාගම නිරූපනය කෙරෙයි. ඉර, හඳ සහ සිංහයාට ලබා දී ඇත්තේ අඩු ප්රමුඛස්ථානයකි.
රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත, සිංහයා - නිර්භීතකම කියා පාන්නේ ය. පුන්කලස, සමෘද්ධිමත් බව සංකේතවත් කරයි.
චිර ජීවනය ඉස්මතු කරන්නට, ඉර සහ හඳ යොදා ඇති බව කියැවේ.
ධාන්‍ය කරල් - සශ්‍රීකත්වය කියා පාන්නේ ය.ධාර්මිකභාවය සහ සාධාරණත්වය, පිළබිඹු කරන්නට, ධර්ම චක්‍රය තරම් අන් කවරක් භාවිතා කළ හැකි ද?
නෙළුම් පෙතිවලින් පිවිතුරුබව හා උතුම්බව, ඉස්මතු කරන්නට නිර්මාණකාර හිමිපාණන්, යොදා ගෙන ඇති බව පැහැදිලි ය.
විපුලසාර හිමියෝ වනාහි, මෙරට පහළ වූ අපූර්ව වූ භික්ෂු චරිතයකි. උන්වහන්සේ වනාහි මේ යුගයේ පහළ වූ, මහා කලාකරුවෙකි. කලාකරුවකු වශයෙන් විපුලසාර හිමියන් ලද, සුවිශේෂ ගෞරවය නම්, ශ්‍රී ලංකාවේ ජන රජ ලාංඡනය නිර්මාණය කිරීමට අවස්ථාව ලැබීම යි. මෙය රටක කලාකරුවකුට ලැබෙන, පරම භාග්‍යයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඒත්...

