උණුසුම් පුවත්විශේෂාංග

පත්තරකාරයකු ගේ කටු සටහන් හෙවත් කුරුටු ගී

කුරුටු ගී  - 03

 

 

 

"ධාර්මිෂ්ඨ සමාජයේ අවුරුද්දක් "

1977  මහ මැතිවරණයේ දී මහ දැවැන්ත බලයක් එක්සත් ජාතික පක්ෂය හිමිකර ගත්තේ මන්ත්‍රී ආසන එකසිය හතළිහක් තමන් සතුකර ගනිමින්. සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ අත්තනගල්ල ආසනය ඇතුළු ආසන අටක් යාන්තමින් බේරා ගැනීමට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි වූවත් වාමාංශික පක්ෂ දෙකට - සමසමාජ හා කොමියුනිස්ට් කාරයන්ට හිමිවූයේ අන්ත පරාජයක කටුක වේදනාව සූප්පු කර කර ඉන්න.

ජේ. ආර් ගේ ඉතා සියුම් වූත් කෛරාටික වූත් උපාය උපක්‍රම හේතුවෙන්, පාර්ලිමේන්තුවේ  සටන්වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරමින්, ජනසෙත වෙනුවෙන් කැපවීම් කර හිරේ විලංගුවේ වැටුණු මිනිසුන් ගෙදර යවන්නට පෙලඹුණ ඡන්දදායකයින්, එජාපයෙන් අලුත් මුහුණු රැසක් තම නියෝජිතයින් බවට තෝරා පත්කර ගත්තා.

එයින් කෙනකු වූයේ ගාල්ල ආසනයට ඩී. ජී. ඇල්බට් සිල්වා ඡන්දදායකයින් විසින් තෝරා ගැනීම.

ගාල්ලේ මහ මැතිවරණයේ දී දහනායක උන්නැහේ  ප්‍රථම  වරට පරාජය වුණේ 1960 මාර්තු  මහ මැතිවරණයේ දී. ඩබ්ලිව්. ඩී. ඇස්. අබේගුණවර්ධන හෙවත් පැටී මහත්තයාට යි ඒ. එහෙත් දහනායක උන්නැහේ 1960 ජූලි මහ ඡන්දෙන් ගාල්ල ආසනය මාස තුනක දි තම අතට ගන්නට සමත්කම් පෑවා

ඇල්බට් සිල්වා වැඩට බැස්සා. ඔහු ගේ අංක එකේ වැඩකිඩ වුණේ කරාපිටිය මහ රෝහල ඉදිකිරීමට සිරිමා ආණ්ඩුවෙන් තබන ලද මුල්ගල උස්සවා ගෙන ගිහින් පාළු ළිඳක දැම්මා. ඊට පස්සෙ එජාපයේ වැඩකිඩ පෙන්නන්න අලුතින් මුල්ගලක් තියල වැඩ ඇරඹුවා.

ලංකාවේ දිගම බස් නැවතුම්පොළ ගාල්ලේ තනන්නට තත්පර වුණා. ඒ අනුව පරණ බස් නැවතුම්පොළ කඩා තාවකාලික බස් නැවතුම් කීපයක් තන් තන්. හී අටවන්නට පියවර ගත්තා.

ඒ අනුව කොළඹ, අම්බලන්ගොඩ, හික්කඩුව, දොඩන්ගොඩ හා ඇල්පිටිය බලා යන මගී ජනතාව උදෙසා තාවකාලික බස් නැවතුම් මඩු ගාල්ල නගර ශාලාව ඉදිරියේ ඇටෙව්වා.

මේ වෙනකොට ධාර්මිෂ්ඨ ආණ්ඩුව බලයට පත්වෙලා හවුරුද්දක් ගතවී හමාර යි. ජේ. ආර් ගේ මුදල් ඇමති රොනී ද මැල් ගේ මංගල අයවැය ඉදිරිපත් කොට වසරක් අහවර යි.

විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් රොනී කළ එක් හපන්කමක් තමයි අපේ රුපියල ආකාහේ පාකර හැරීම. ඒ දක්වා අපේ රුපියලේ කාසිය, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂ වූයේ රුපියල් 7. 50 කට. එය රුපියල් 12.50 ක් දක්වා නංගල ආකාහේ .

මේ ගැන සමසමාජ නායකයා ඇන්. ඇම්. පෙරේරා කල් ඇතුවම අනතුරු අඟවල යි තිබුණේ. පෝෂ්‍යදායී  ධාන්‍යා රාත්තල් අටක් නොමිලේ කෑමට බලා හුන් එක්සත් ජාතික පක්ෂයකට ඡන්දය දුන් ජනතාව කරකියා ගත නොහැකිව පසුවූයේ  ලතවිල්ලේ.

පාර්ලිමේන්තුවේ ආසන අටකට හිමිකම් කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුළුමනින් ම අකර්මන්‍ය ය යි. ගම්වල ශ්‍රී ලංකා කාරයකු බෙහෙතකටවත් සොයාගන්නට නෑ. ඒ තරමට ම ජේ. ආර්. - ප්‍රේමදාස ඩබලගෙ ධාර්මිස්ඨ ප්‍රොජාතන්තරවා ය හැම තැනක ම එක විදියට දෝර ගලනවා.

ඒත් සමසමාජ හා කොමියුනිස්ට් පාක්ෂිකයන් ද  ටී. බී. සුභසිංහ,  නන්ද එල්ලාවල, අමරසිරි දොඩන්ගොඩ ආදීන් විසින් නිර්මාණය කරන ලද මගේ මතකයේ හැටියට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ 5/6 බලය ගැන නොතකා ජනතා ප්‍රශ්න හමුවේ පෙරට ආවා.

"ධාර්මිෂ්ඨ සමාජයේ වසරක්'' මැයෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා විසින් රොනීගේ ආර්ථික ප්‍රතිපත්තිය අනාවරණය කරමින් සත 50 ක වටිනාකමින් යුත් පොත් පිංචක් එළිදැක්වූවා.

මේ පොත් පිංච ජනතාව අතරේ අලෙවි කරමින් ඔවුන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ගාල්ලේ දී ඇරඹුවා. ඒ උදෙසා සමසමාජ හා කොමියුනිස්ට් පාක්ෂිකයන් ද, හිතවතුන් ද, සීයක එකසිය පණහක පමණ දෙනා ගාල්ල නගරයේ වීදිවලට පිවිසුණා.

පිරිසක් මහවීදිය බලා ගියා. තවත් පිරිසක් රජයේ කාර්යාල කරා ගියා.

රජ්ගම ඇත්ත පත්තරකාරයා ත්, දැනට කරාපිටිය රෝහලේ මනෝ ව්‍යාධි පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ගේ පියාණන් වූ රූබන් සහෝදරයා ත්, ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට බස් නැවතුම් මඩු පෙළවල් අතරත් රේල්ලුව අසලත් ඒ පැත්තට වංගියක් ද, වංගියක් මේ පැත්තට ද යමින් එමින් පොදු ජනයාට, මගීන්ට 'ධාර්මිෂ්ඨ සමාජයේ අවුරුද්දක්' අලෙවි කර කර හුන්නා.

ඕන් ඔය අතරේ අප කරා ගාල්ල ලංගම ඩිපෝවේ ජාතික සේවක සංගමයේ සභාපති ඩී. ජී. නන්දපාල ගෝලබාලයන් හය හත්දෙනකු  එක්ක ආවා. නන්දපාල ත් හෙංචයියනුත් අප දෙන්නා කරා ආවේ චණ්ඩි පාට් එකෙන්. නන්දපාල ගාල්ල චීන කොරටුව මැද පාරෙ ඉපදිලා හැදී වැඩිච්ච ගාල්ලෙ ම ගාල්ලෙ පොරක්. වේගවත් ගමනකින් අප වෙත ආ ඔහු කට ඇරියා.

"මොනවද ඔය?"

''ධාර්මිෂ්ඨ සමාජයේ අවුරුද්දක්..... ධාර්මිෂ්ඨ සමාජයේ අවුරුද්දක්"

ඔවුන් අහපු දේ තුට්ටුවකටවත් ගණන් නොගෙන රෑබන් සහෝදරයයි මමයි සද්දෙට කිය කියා මිනිසුන් වෙත පොත් පිංච දිගු කරනවා. කෙනෙක් සත පණහක් දීලා පොතක් ගන්නවා. කෙනෙක් ගත්තු පොත පිටු පෙරළ පෙරළ බලනවා.

අපි දෙන්නා තවත් හයියෙන් සද්දෙ නඟ නඟා අපේ වැඩේ අපි.

''ඕයි.... අයිෂෙ...."

නන්දපාල සද්දෙට අහනවා.

''සහෝදරයා සහෝදරී.... මේ අරන් කියවල බලන්න කෝ ''ධාර්මිෂ්ඨ සමාජයේ අවුරුද්දක්" කොහොමද කියා.

මහමඟ යනෙනන් වෙත පොත් පිංච පාමින් වරෙක රෑබන් සහෝදරයා ද විටෙක මා ද මාරුවෙන් මාරුවට කටහඬ අවදි කරනවා.

''අයිෂේ.... මේ තමුසෙලගෙන් අහන්නෙ.... මොකක්ද ඔය"

මා වෙත ආ නන්දපාල ත් ගෝලයින් රොත්තත් රවුමට රවුමට වටේට වටේට එහා මෙහා වෙනවා.

"අයිෂේ මේ තමා ධාර්මිෂ්ඨ සමාජයේ අවුරුද්දක්" ගෙවිච්ච හැටි.... ඕනැද පොතක්.. කියවලා බලන්න... සත පණහයි... සත පණහයි"

ගාල්ල ලංගම ඩිපෝවේ සිට ආ ජාතික සේවක සංගම් ලොක්කන් රොත්ත අපි දෙන්නා දිහා බලා හිටින හැටි පෙනේ. උන්ගේ දෑස්වලින් පිටවන්නේ ගිනි පුළිඟු ය.

මා යළිත් කටහඬ යළි අවදි කළා.

ආහ්... මේ ධර්මිෂ්ඨ සමාජයේ අවුරුද්දක් " මම  පිළිතුරු දුන්නා.

" හ්ම් ... එහෙම ද ? කියද ඔය පොතක්" 

"සත පනහයි"

"දෙනව එහෙනං "

මම ඔහුට පොතක් දුන්නා.

ඒත් එක්කම පරිසරයේ පැවති උණුසුම ඉහළ නඟින්න පටන් ගත්තා. හැම දෙනා ම පාහේ හිස ආවරණය කර ගන්න තමයි උත්සාහය. බොහෝ දෙනා අර තාවකාලික බස් නැවතුම් මඩු වෙත ඇදී යන්න වුණේ ඔවුන්ගේ ඔළුගෙඩි පරෙස්සං කර ගන්න හිතල වෙන්නැති. ඒත් මටත් රූබන් සහෝදරයටත් ඒ වගේ වගක් නෑ. 

රස්නෙ දැනෙන්න දැනෙන්න අපි දෙන්නා කටහඬේ සද්දෙත් වැඩි කරන්නෙ මූණින් කටින් දාදිය ගලන බවක්කත් නොදැනෙ වගේ. 

අපි දෙන්නා හමුවේ සිටින්නේ ගාල්ලේ සද්දන්ත අලි රොත්තක්. උන්ගේ ගෝරනාඩුවට බය නොවන කෙනෙක් ඇද්ද?

ඔහු පොත ගෙන යන්නට හැරුණේ සත පනහ නොදී..

"මහත්තයා සත පනහ දෙන්න කරුණාකරලා "

"කවුද ඕයි තමුසෙගෙන් පොතක් ගත්තේ!?

නන්දපාල සද්දෙ දැම්මේ අපි දෙන්නා බය කරන්නට වගේ පාරෙ යන එන මිනිස්සුන්ටත් ඇහෙන්න. මහ සද්දෙන්. දැන් දැන් පාරෙ යන එන්නන් අපි දිහා බලන්නෙ කිසියම් වලියක් දැන් දැන් ඇති වේවිදෝ යන හැඟීමෙන් වගේ. කෙනෙක් යන්න ගිහිපු ගමන නවත්තලා අපි දිහා බලා ඉන්නවා.

සමහරුන් තූෂ්ණිම්භූත වෙලා වගේ බලන් ඉන්නෙ අපි දෙන්නට කිසියම් කනගාටුවක් මුහුණුවල රඳවන් වගේ.

''මේ මහත්තයෝ ඕයි බෝයි කියන්නෙ ශීලාචාර විදියට කතාකරන්න ඉගෙන ගෙන නැද්ද?"

මා ගැන කොහොම වුණත් නන්දපාල අපේ රූබන් සහෝදරයා ගැන හො දන් ම දන්නවා. ඔහු ගාල්ල කොටුවේ පදිංචිකරුවෙක්. ගාල්ලේ සාන්ත ඇලවිෂියස් විද්‍යාලයේ ගුරුවරයෙක්.  මා ගැනත් ඔහු නොදන්නවා ම නොවේ. මොකද අපේ පක්ෂ කාර්යාලය තියෙන්නෙ හැව්ලොක් පෙදෙසෙ මැද නිසා. එහි අපේ කට්ටිය නිතර ගැවසෙන තැනක්. නන්දපාලත් එක්ක මගේ ඥාතියකුත් මේ රැළේ ඉන්නවා. ඔහු ඉතාම ළඟ නෑයෙක්.

මිනිහ පැත්තකට වෙලා ඉන්නෙ මට මූණ දෙන්න බැරි කමට බව තේරෙනවා. මං කීප වංගියක් ම ඥාතියා දිහා බැලුවේ තරමක රළු පෙණුමක් මුහුණේ රඳවන්.

"මහත්තයා තමුසෙ නෙවැ පොත ගත්තේ. පොතේ වටිනාකම සත පනහයි. සත පනහ දෙනවා. නැත්තං පොත දෙනවා "

"දෙන්නෙ නෑ. තමුසෙ පුළුවන් නං ගන්නවා".

ඔහු මා දිහාත් රූබන් සහෝදරයා දිහාත් බලන්නට වූයේ 5/6 බලයේ තරම පෙන්නන්න ට වගේ.

''මේ මහත්තයා මහත්තයෙක් විදිහට වැඩ කරනවා. තිරිසනෙක් නොවී.

එයින් ඔහුට මෙන් ම ජාතික සේවක සංගම් හෙංචයියන්ට ද මල පැන්න බව අපට පෙනුණා.

''ආඩෝ.... ඔව්.. මේ ගාල්ල බව මතක තියා ගන්නවා. හරිද... හරිද..."

''ආහ් බොහොම හොඳයි කියා දුන්නු එක ගැන... ගාල්ල බව නොදැන හිටිය අපට මතක් කරපු එකට.."

නන්දපාලට පිළිවදන් බැන්ද  මා රූබන් සහෝදරයා වෙත බැල්මක් පා ''සහෝදරයා මේ ගාල්ල ය කියන්නෙ හැබෑ ද. ඔය සහෝදරයත් ගාල්ලේ කියල නේ මං අහල තිබුණේ? ... "

එතකොටත් අපේ ඥාතියා කළුවා නගර උද්‍යානයේ තාප්පය මත වාඩි වී බලා හිටින්නේ දෙකට දෙවාරමේ බව මට තේරුණා.

නන්දපාල ඇතුළු පිරිස ධාර්මිෂ්ඨ මැර කල්ලිය ආවේ දඩල්ලේ කළුවා කැටිව ය. කළුවාගේ අක්කාගේ සැමියා මගේ ලොකු අම්මා ගේ තුන්වැනි පුතා ය. කළුවා ගාල්ලේ ප්‍රසිද්ධ චරිතයකි

මම කළුවා ඇමතුවා.

"කළු උඹ එක්ක ආපු නිසයි මං මේ යෝදයට පොත දුවන්නේ. මූට කියපං කළු සත පනහ දෙන්න ය නැත්තං පොත දෙන්නය කියා "

 මා කළුවා ට එහෙම කීව සැණින්

 "නන්දේ පොත දෙනවා යි කී කළුවා හෙවත් කළුමල්ලී නන්දපාල අත වූ පොත ගෙන මට දිගු කළා.

මේ සිද්ධිය සැල වූ අපේ කණ්ඩායම ඇසිල්ලකින් අප කරා එනු දුටු නන්දපාල හා සහචරයන් කොළඹ පැත්තට ආ "යකා"   බස් එකේ එල්ලුණු අයුරු අප බලා හුන්නේ කෝපය මුසු හිනාවෙන පිරුණු මුහුණුවලින්.

""හොඳ වැඩේ... අපි බලං හිටියේ නිකංවත් ඔය දෙන්නට අතක් උස්සන කං"

බස් පෝලිමේ හුන් නොහඳුනන මගීන් කී අයුරු දැනුදු මතකයට නැඟේ.

පත්තරකාරයකු ගේ කටු සටහන්

හෙවත් කුරුටු ගී (08)

ඇත්ත කාරයා පොලිස් අත්අඩංගුවට

අපේ රුපියල මස්තබාල්දු කරමින් වැඩ ඇරඹූ ජේ. ආර්. - ප්‍රේමදාස ඩබලගේ ධාර්මිෂ්ඨ සමාජයක් ආණ්ඩුව අධාර්මිෂ්ඨකම් කළේ ප්‍රතිවාදීන් සෑහෙන පිරිසක් ඝාතනය කරමින්.  කඩු පිහි වැනි තියුණු අවි ආයුධවලින් කපාකොටා පිරිසක් ආබාධිතයන් කළා. ගේදොර කුඩුපට්ටම් කළා. ගිනිබත් කළා. කළ වින්නැහිය සුලුපටු නෑ.

පොදු මහජනයා ලෝකයේ ඇති සියලු දහදුක් විඳගෙන රටේ බැංකුවලට ණය තුරුස්වෙලා අන්තිම අමාරුවෙන් අසීරුවෙන් අටව ගත්තු ගෙපැල්කොට ජේ. ආර්. - ප්‍රේමදාස බානගේ ගම් නියම්ගම්වල සිරිසැරූ  හැත්ත බුරුත්ත ගිනි තිබ්බේ කුඩු පට්ටම් කළේ හිත්පිත් නැති නරුමයන් වගේ. හරියට ම දසබිම්බරක් මාර සේනාව ගම් බිම්වලට එකවර කඩා පාත් වෙච්චි ගාණට.

එතකින් නොනැවතුණු ධාර්මිෂ්ඨ නායක ඩබල රාජ්‍ය සේවකයන් දඩයම් කළේ නරුම වූත් චිරස්චීන වූත් පිළිවෙතක් අනුගමනය කරමින්. දොට්ට දැමූ ප්‍රතිවාදී රාජ්‍ය සේවක පුරප්පාඩු, සුදුසුකම් බල්ලන්ට දමල යූඇන්පී සහචරයින්ගෙන් පුරවන ලද්දේ පිළිකුල් සහගත අයුරින්.

කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැති විදිහට කරපු ඒ නොපනත්කම් නිසා පවුල් කීයක් නං එදා ඉඳල අද වෙන තුරුත ගෙවුණු හතළිස් හවුරුද්දක තරම් කාලයක් පුරා දුක් විඳිනව ද?

හැබැයි ඒ කිසිම දෙයක් නොසිදු කළා සේ තමා අද මේ ඇත්තන් පප්‍රජාතන්ත්‍රවාදේ ගැන කතා කරන්නේ. මූලික මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන්නේ

ඊළඟ කොටස 4 වැනිදා කියවමු