විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතා ගේ හා විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. අල්විස් මහත්මියගේ වාර්තා ප්‍රසිද්ධ කරන්න - ගම්මන්පිල ඉල්ලයි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වී දෙසතිකටත් වැඩි බවත් ඔහු කටුවාපිටියේ යන කොටවත් පාස්කු ඛේදවාචකයට අදාළ වාර්තා ප්‍රසිද්ධ කරන්න මතක් වුණේ නැති බවත්, මහජන මුදලින් හදපු මේ වාර්තාවල අන්තර්ගතය ගැන දැන ගන්න පාස්කු වින්දිතයින්ට පමණක් නොව සමස්ත ජාතියටම අයිතියක් ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළේ ය. ඒ මාධ්‍ය හමුවක් පවත්වමිනි.''
'' හිටපු ජනාධිපති මේ වාර්තා සැඟෙව්වේ එතුමාගේ හිතවතුන් බේරා ගන්න කියලා අපි හිතමු. වර්තමාන ජනාධිපතිත් මේ වාර්තා සඟවන්නේ ඇයි? හිටපු ජනපතිතුමන්ට රැකගන්න අවශ්‍ය පිරිස ම වර්තමාන ජනපතිතුමන්ටත් රැකගන්න අවශ්‍ය ද?" යන්න ඔහු ප්‍රශ්න කළේ ය.
''නැති නම් මේ ආණ්ඩුව පිටුපස සිටින අදිසි හස්තය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා ද? යි කී ඔහු “රනිල් ගිහින් රනිල් ඇවිත්” කියලා කොළඹ සමාජයේ තිබෙන කසුකුසුව ඇත්තක් ද යන්න හේ මතු කළේ ය.
ස්වකීය මාධ්‍ය හමුවේ දී උදය ගම්මන්පිල මහතා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වමින් සඳහන් කළේ ය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක් ලැබුණු බවත් හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකළ එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක් බවත් පිවිතුරු හෙළ උරුමය නායකයා අවධාරණයෙන් පැවසී ය.
අද (07) පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නීතිඥ ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද කී ය.
''ජනාධිපතිතුමා ඊයේ කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍ය වලින් දැක්කාම අපි හිතුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති සැඟවූ කතෝලික පල්ලිය ප්‍රසිද්ධ කරන්න කියලා නිතර ඉල්ලන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඒ පල්ලියට ගියා කියලා. නමුත් එතුමා ගිහින් තිබුණේ හිස් අතින්. පල්ලියට රැස් වුණු වින්දිතයෙකු ඉල්ලා සිටියේ අපේ බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා තිබෙන නිසා අළුත් පරීක්ෂණ ආරම්භ කරන්න කලින් ඒ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න කියලා"
"අපේ බුද්ධි අංශ වලට චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද කියලා බලන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළා. ඒ විමර්ශන වාර්තාව පසුගිය ජූනි මාසයේ ජනාධිපතිට භාර දුන්නා. නමුත් අබිරහස් හේතුවකට කාව හෝ රැක ගන්න ඒ වාර්තාව ප්‍රසිද්ධ කළේ නෑ. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත කරුණු හතරක් විමර්ශනය කරන්න විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. මේ වාර්තා දෙකම හිටපු ජනාධිපතිට ලැබුණත් එකක්වත් ප්‍රසිද්ධ කළේ නෑ.
