ජගත් ගේ සතියේ සටහන - 61
වසර හතකට පසු ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යන පළාත් පාලන මැතිවරණ සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයින් 80, 000 ක් පමණ ඉදිරිපත් වී ඇතැ යි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 272 ක් ඇතුළු පළාත් පාලන ආයතන 336 ක් සඳහා වූ ඡන්ද විමසීම මැයි මස 06 වැනි දින පැවැත්වෙනවා.
මෙම පළාත් පාලන ආයතන මැතිවරණ වෙනුවෙන් නාමයෝජනා බාර ගැනීම පසුගිය 20 වැනිදා දහවල් 12 ට අවසන් වුණා.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කොට තිබූ නාමයෝජන පත්‍ර 425 ක් විවිධ අඩුපාඩු නිසා ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
පළාත් පාලන මැතිවරණවලට සූදානම් නොවී සිටි බොහෝ දේශපාලන පක්ෂ නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කඩිමුඩියේ අපේක්ෂකයින් තෝරා ගැනීම හේතුවෙන් නාමයෝජනා පත්‍ර සම්පූර්ණ කිරීමේ දී අඩුපාඩු සිදු වී ඇති බවත් ඒ නිසා නාමයෝජනා පත්‍ර රාශියක් මෙසේ ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් අප සමඟ කියා සිටියා.
පරණ අපේක්ෂකයින් පුංචි ඡන්දෙට නෑ වගේ
එමෙන් ම පළාත් පාලන මැතිවරණ සඳහා 2023 වසරේ නාමයෝජනා බාරදුන් අපේක්ෂකයින් විශාල පිරිසක් මෙවර තරග කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බව ද වාර්තා වෙනවා.
ඒ ඒ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා අපේක්ෂකයින් සොයා ගැනීමට නොහැකි වීමෙන් දේශපාලන පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයින් මහත් අසීරු තත්වයන්ට පත් වූ බව ද දැන ගන්නට තිබෙනවා.
විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණත්, පුටුව ලකුණින් තරග කරන පොදුජන එක්සත් පෙරමුණත් අපේක්ෂකයින් සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරූ බව ද පැවසෙනවා.
දේශපාලනය කෙරෙහි ඇති කලකිරීම හා ඡන්දවලට වැය කිරීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති වීම නිසා සමහරුන් මැතිවරණවලට ඉදිරිපත් වී නැහැ.
වර්තමාන ආණ්ඩුව යටතේ පළාත් පාලන ආයතනවල සංවර්ධන වැඩවල දී කොන්ත්‍රාත් ආදියෙන් මුදල් උපයා ගැනීමට අවස්ථාවක් නොතිබීම නිසා ද කලින් පළාත් පාලන ආයතනවල සභාපති හා සභික තනතුරු දැරූ විශාල පිරිසක් ද මෙවර තරග කිරීමට ඉදිරිපත් වී නැතැ යි ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් අප හා ප්‍රකාශ කළා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කොට තිබූ නාමයෝජනා පත්‍ර 27 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒවා අතර එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, සර්වජන බලය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවල නාමයෝජනා පත්‍ර ද තිබෙන බවත් වාර්තා වෙනවා.
දැනට වාර්තා වී ඇති පරිදි ජාතික ජන බලවේගයේ නාමයෝජනා පත්‍රවලින් ප්‍රතික්ෂේප වී තිබෙන්නේ මැදවච්චිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කොට තිබූ නාමයෝජනා පත්‍රය යි.
ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණ සඳහා එම පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු සති ගණනාවකට පෙරසිටම සකස් කොට තිබුණා.
එක් එක් මැතිවරණ කොට්ඨාසවල, ග්‍රාම නිලධාරී වසම් පදනම් කොට පිහිටුවා තිබෙන එම පක්ෂයේ කොට්ඨාස සභා මඟින් අපේක්ෂකයින් නම් කොට එවා තිබූ බැවින් පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම පහසු වූ බව ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ ප්‍රකාශකයෙක් අප කළ විමසුමක දී ප්‍රකාශ කළා.

ජාජබයෙන් කොළඹ පුරපති තරගයට බල්තසාර්
පළාත් පාලන මැතිවරණවලට තරග කරන දේශපාලන පක්ෂ අතරින් ජාතික ජන බලවේගය හැර අනෙක් කිසිදු පක්ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතන අපේක්ෂක ලැයිස්තුවේ කණ්ඩායම් නායකයා සහ නගරාධිපති අපේක්ෂකයා හෝ සභාපති අපේක්ෂකයා හෝ නම් කොට නැහැ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාව සඳහා මෙතෙක් නගරාධිපති අපේක්ෂකයකු නම් කොට තිබුණේ ජාතික ජන බලවේගය පමණයි. ව්‍රායි කැලී බල්තසාර්ගේ මහත්මිය එම පක්ෂයේ නගරාධිපති අපේක්ෂිකාව යි.
එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කිරීමට මුලදී තීරණය කොට තිබුණා. එහෙත් එම පක්ෂයේ නාමයෝජන පත්‍රයට ඇගේ නමවත් ඇතුළත් කොට නැහැ.
රෝසි සේනානායක මහත්මිය කොළඹ නගරාධිපති ධුරය දැරූ සමයේ එහි සිදුවූවා යැ යි කියන දූෂණ හා අක්‍රමිතා රාශියක් පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මේ දිනවල පරීක්ෂණ පවත්වා ගෙන යනවා. ඒ හේතුවෙන් ඇය කොළඹ මහ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කොට නැති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා.

සමගි ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරාපේක්ෂකයා ලෙස ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා ඉදිරිපත් කරන්නට පක්ෂ නායකත්වය ඊයේ දහවල් තීන්දු කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ගේ නම කලින් යෝජනා වී තිබුණත් අවසානයේ ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග අනාවරණය කළේ.
කොඝළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගය විසින් ප්‍රකාශයට පත් කරැති නගරාධිපති අපේක්ෂක වෛද්‍ය රුවේස් හනීෆා මහතා හිටපු කතානායකවරයකු වූ එම්. එච්. මොහොමඩ් මහතා ගේ මුනුබුරෙක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොදුජන එක්සත් පෙරමුණ ද කොළඹ මහ නගර සභාව සඳහා ඔවුන් ගේ අපේකෂකයින් නම් කොට නැහැ. එහෙත් සර්වජන බලය එහි නගරාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරිකයකු වන හසන් අලල්දීන් මහතා නම් කොට ඇති බව එම පක්ෂය පවසනවා.
මේ අතර පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් රාශියක් තමන් නියෝජනය කළ පළාත් පාලන ආයතනවලට ස්වාධීන කණ්ඩායම් වලින් තරග කිරීමට නාමයෝජනා බාරදී තිබෙන බවද වාර්තා වෙනවා.
සජෙබ අභ්‍යන්තර ගැටුම් දැන් එළියට
සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පක්ෂයේ සභාපති ධූරය ඇතුළු එම පක්ෂයේ තමා දැරූ සියලු තනතුරු වලින් ඉවත්වීම නිසා සමගි ජන බලවේගය තුළ කලක් තිස්සේ අභ්‍යන්තරයේ ඇති වී තිබුණු ගැටුම් දැන් එළියට පැමිණ තිබෙනවා.
තමා පක්ෂයේ සභාපති ධූරය ඇතුළු සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දන්වමින් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා තිබුණේ වාක්‍ය හතරකින් යුත් ලිපියක්.
මේ ලිපිය ලැබුණු වහාම සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට පවසා තිබුණේ ඉම්තියාස් ගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොගන්නා බවයි. ඔහු සමඟ ඒ ගැන සාකච්ඡා කොට යළිත් ඉම්තියාස් පක්ෂයට එක්කර ගැනීමට කටයුතු කරන ලෙස ද පක්ෂ නායකයා රංජිත් මද්දුම බණ්ඩාර මහතාට දැනුම් දී තිබුණා.
දුරකතන ඇමතුම්වලට පවා පිළිතුරු නොදෙමින් බේරුවල සිය මහ ගෙදරට වී සිටින ඉම්තියාස් බාකීර් මාකාර් මහතා රාමසාන් උත්සවය අවසන් වන තුරු ආපසු කොළඹට නොපැමිණෙන බව යි ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ.
මීට පෙර පක්ෂයේ සභාපතිව සිටි සරත් ෆොන්සේකා, උප සභාපතිව සිටි පාඨලී චම්මික රණවක හා පක්ෂයේ නායකයකු වූ දොස්තර රාජිත සේනාරත්න මහත්වරුන් පක්ෂයෙන් ඉවත්ව ගියත් එයින් පාක්ෂිකයින්ට එතරම් බලපෑමක් වුණේ නැහැ.
එහෙත් වසර පනහකට අධික කාලයක් දේශපාලනයෙහි නිරතව සිටි දක්ෂ කථිකයකු හා පරිණත නායකයකු වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ඉවත්වීම සජිත් ප්‍රේමදාස මහතා ට සුනාමියක් වී ඇති බව එහි පාක්ෂිකයින් පවසනවා.
පසුගිය මහ මැතිවරණයට ඔහුට කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කරන්නට ඉඩ නොදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයකට පත්කරන බවට සජිත් ප්‍රේමදාස මහතා ඉම්තියාස්ට පොරොන්දුවක් දී තිබුණා. ඒ අනුව ඔහු රටවටා ගොස් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළා. එහෙත් මැතිවරණ ප්‍රතිඵලවලින් පසු සජිත් ඔහුට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දුන්නේ නැහැ.
ඉන්පසු බාකීර් මාකාර් මහතා පක්ෂය නඟා සිටුවීම සඳහා යෝජනා 12 කින් යුත් ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බාරදි තිබු නමුත් පක්ෂ නායකයා ර ගැන නිහඩව සිටියා.
පසුව එම ලිපිය සිහිකැඳවමින් ඉම්තියාස් පිටු හතරකින් යුත් තවත් ලිපියක් ද සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබුණා.
සජබෙ මොන තීරණ ගත්තත් වැඩ ලක්ෂ්මන් ෆොන්සේකා කියන ලෙසට?
එම අවස්ථාවේ ඉම්තියාස් කැඳ වූ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මසකට වරක් රැස් කිරීමටත් කළමනාකරණ කමිටුව සතියේ සෑම බදාදාවක ම රැස් කිරීමටත් කටයුතු කරන බවට පොරොන්දු වී තිබෙනවා.
එසේ වුවද එයින් පසු කළමනාකරණ කමිටුව හා කාත්‍යාධිකාරී මණ්ඩලය රැස් කොට තිබුණේ එක වතාවක් පමණයි.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කුමන තීරණ ගත්තත් සජිත් ප්‍රේමදාස මහතා සිය බිරිඳ ජලනී ප්‍රේමදාස, මෑණියන් වන හේමා ප්‍රේමදාස ගේ මිතුරකු වන ලක්ෂ්මන් ෆොන්සේකා යන අයගේ උපදෙස් අනුව ක්‍රියාකරමින් පක්ෂයේ තීරණ ක්‍රියාත්මක නොකරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර ප්‍රසිද්ධියේ සාකච්ඡා වන කරුණක්.
සමගි ජන බලවේගය තුළ පවත්නා මෙම තත්වය පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් රැසක් විසින් අවබෝධ කර ගෙන ඇතත් ඔවුන්ට නිහඬව පක්ෂය තුළ රැඳී සිටින්නට සිදුවී තිබෙන්නේ එම පිරිසට යෑමට වෙනත් පක්ෂයක් නොමැති නිසා බව එහි ජ්‍යේෂ්ඨ නායකයෙක් අප සමඟ ප්‍රකාශ කළා.
මේ අතර පසුගිය දා සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී දෙදින විවාදයක් පැවැත්වීමට කතානායක වරයා ගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ කාරක සභා රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.
1988 - 1989 ජවිපෙ කළ එජාප පාක්ෂිකයින් ගේ මාධ්‍ය සාකච්ඡා!
එම විවාදය අප්‍රේල් 10 වැනි දා සහ මැයි මාසයේ දිනයක පැවැත්වීමට යන නමුත් විපක්ෂය ඉල්ලා සිටියේ එම විවාදය මැයි 06 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලින් පසුව සිදු කරන ලෙසයි. එහෙත් ආණ්ඩුව එම ඉල්ලීම පිළිගෙන නැහැ.

ධර්මන් වික්‍රමරත්න
මේ අතර 1988 - 1989 දෙවැනි කැරැල්ල සමයේ දී ඝාතනය වූ එක්සත් ජාතික පාක්ෂිකයින් පිළිබඳ ලැයිස්තු ඉදිරිපත් කරමින් විවාදයේ දී කතා කිරීමට විපක්ෂය තීරණය කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.
එම කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබූ එක්සත් ජාතික පාක්ෂිකයින් ගේ පවුල්වල අය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගෙන්වා මාධ්‍ය සාකච්ඡාපැවැත්වීම සඳහා එම පක්ෂය තීරණය කොට ඇති බව ද වාර්තා වෙනවා.
- ජගත් -