උණුසුම් පුවත්

පුනරුද යුගය තුළ පුරවැසි ඉතිහාසය ලිවීමේ අයිතිය ලැබෙන්නේ පුරවැසියන්ටමයි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය

අපි එදා සිතුවා රට පාලනය කළ නායකයන් අපේ සිහිනත්, බලාපොරොත්තුත් විනාශ කළා කියලා. අද ඒක වෙනස් වෙලා. ඒ වෙනස කළේ ඔබ. නමුත් රටේ පාලකයන් වෙනස් වෙලා නැහැ. ඒ දූෂිත, ජඩ දේශපාලනය ඉවර කිරීම සඳහා මේ රටේ පුරවැසියන් හැටියට එක අරමුණකින්, සාමූහිකව එකතු වෙලා අපි සියලු දෙනා තුළම නැවත වතාවක් බලාපොරොත්තු ඇති කර තිබෙනවා; සිහින දකින්න අවස්ථාවක් උදාකර තියෙනවා. නැවුම් බලාපොරොත්තු සහිතව, මේ රට ගොඩගැනීම සඳහා අපට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

 

අපේ බලාපොරොත්තු මොනවාද? මේ දුෂ්ට පාලනය වෙනස් කරලා, මේ රටේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපති සහෝදරයෙක් අපිට පත්කර ගන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ජනාධිපති ලෙස පත්වෙලා පැය 24ක් යාමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන බව ප්‍රකාශ කර තිබෙනවා. එවිට දූෂිත පාර්ලිමේන්තුව සුද්ද කරලා අපට අවශ්‍ය පරිදි, ජනතාවාදී, ජනතාව ගැන හිතන අලුත් මහජන නියෝජිතයන් පත්කර ගන්න, අවස්ථාවක් උදාවෙනවා. මේ කරුණු දෙක සම්පූර්ණ කර ගත්තාට පසුව රට හදන වැඩේ පටන් ගන්න අපට හැකිවෙනවා.

පළමු වැනි දිනයේ සිට අපේ ක්‍රියාකාරකම්වල, අපේ භාවිතයෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගන්නවා. දේශපාලනඥයාගේ සීමාව තේරුම් ගන්න දත්ත විද්‍යාව මත ජනතාව පෙරදැරි කරගත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති හදන දේශපාලන සංස්කෘතියක් අපි ආරම්භ කරනවා. දේශපාලනය කියන්නේ වරප්‍රසාදවලට කෑදරකමින් ඉන්න තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය වෙනුවෙන් වැඩකරනවා වෙනුවට, ජනතාවට අවංකව සේවය කරන ජනතාවට වග වෙන රාජ්‍ය යාන්ත්‍රණයක් අපි පත්කරනවා. ඒ යාන්ත්‍රණය හරහා අලුතින් නිර්මාණය කරන අලුත් බලාපොරොත්තු එක්ක සාමූහික ප්‍රතිපත්තිවලට අනුව වැඩකරන නිලධාරීන් සමග දේශපාලන නායකත්වය ඒකාබද්ධ කොට මේ රට ක්‍රමානුකූලව ගොඩනැගීමේ පුනරුද යුගය අපි ආරම්භ කරනවා.

අලුත් ආර්ථික ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. ජනතාව කේන්ද්‍රීය කරගත්, ජන සහභාගිත්වය ලබා ගන්න, නිෂ්පාදනය වැඩිකරන ආර්ථිකයක් අපට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන දත්ත, ප්‍රතිපත්ති, විද්‍යාත්මක පර්යේෂණ, කරන්න පටන් ගන්න ඕනෑ. ඒ අවශ්‍යතාවය මූලික කරගෙන ලංකාවේ පළමුවැනි වතාවට විද්‍යාඥයන් විශාල සංඛ්‍යාවක් එකතුවෙලා රටේ සංවර්ධනයට අවශ්‍ය පර්යේෂණ මොනවාද යන්න සාකච්ඡා කරන්න අපේ පර්යේෂණ ප්‍රතිපත්ති අපි එළිදැක්වූවා. එවැනි ආර්ථිකයක අපි සියලු දෙනාගේ සහභාගිත්වය ලබාගෙන ශක්තිමත් ආර්ථියක් අපි ගොඩනඟනවා. මේ රටේ 52%ක් වන ගැහැනුන්ට, තමන්ගේ සුරැකුම් වැඩවලට වටිනාකමක් දෙන, සමාජ වගකීමක් අරගෙන තමන්ගේ රැකියාවන් නිදහසේ කරන්න හැකිවෙන රාජ්‍ය මැදිහත්වීම් තුළින් ඒ සුරැකුම් වැඩවල බර අඩුකරමින් ඒ හදන ව්‍යුහය තුළ, කාන්තාවන්ට මේ ආර්ථිකයේ සමාන කොටස්කරුවන් විය හැකි ආර්ථිකයක් අපි ගොඩනඟනවා. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ අපි සියලු දෙනාටම සාධාරණය භුක්ති විඳීමට හැකි  ක්‍රමවේදයක් අපි සකස් කරනවා. ඒ සියල්ල කරන්න අපේ මානව සම්පත රැකගන්න ඕනෑ. මහජන සේවාවන් තුළින් ජනතාවට සේවයක් වන, ජනතාවට විශ්වාසයක් ඇතිවෙන ආකාරයෙන් මහජන සේවාවන් ලැබෙන ආකාරයේ පරිවර්තනයක් අපි සකස් කර ගත යුතුයි.

අධ්‍යාපනය ලබන දරුවෙකු පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා අරමුණක් සහිතව රැක ගනිමින්, සමාජ වගකීම ලැබෙන, සමාජයෙන් තමාට ලැබෙන වගකීම ගැන ආකල්ප වර්ධනයක් ඇති කරන, ආර්ථිකයට සම්බන්ධ වීමට අවශ්‍ය කුසලතා ලබා ලබාදෙන, සමාජ සංවර්ධනයට සහභාගි විය හැකි තත්වයක් ගොඩනගනවා. සමාජයට නායකත්වය දෙන්න පුළුවන් වන පුරවැසියෙක් බිහිකරන අධ්‍යාපනයක් අපි ක්‍රමානුකූලව ලබා දෙනවා.  නිරෝගී පුරවැසියෙක් බිහිකරන, ආරක්ෂා කරන සෞඛ්‍ය සේවයක් අපි ගොඩනගනවා. මහජනතාවගේ අවශ්‍යතාවයන් අනුව, ජනතාවට සංවේදී වන, මහජන ප්‍රවාහන සේවයක් අපි හදනවා.

අපේ ගැහැනුන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගත යුතුයි. කිසිවෙකු කුසගින්නේ ඉන්න ඉඩ නොතබන අතර, පෝෂණයෙන් සම්පූර්ණ වූ, ආහාරවල ගුණාත්මකභාවය ගැන සැකයෙන් ජීවත් වෙන්න ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපට ශක්තිමත් සමාජ ආරක්ෂණයක් අවශ්‍යයි. සමාජයේ සියලුම කොටස් ආබාධිත සහිත වූවන්, විශේෂිත උදව් අවශ්‍ය වන ගැහැනුන්, දරුවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලු දෙනා ආරක්ෂා වෙන ආයතන පද්ධතියක් අපට අවශ්‍යයි. කිසිවෙක් අසරණ විය යුතු නැහැ. සියලු දෙනා වෙනුවෙන් වගකියන, සියලු දෙනා රැකගන්නා, සමාජ ආරක්ෂණයක් අපි ගොඩනඟනවා. ඒ වගේම මේ රටට නීතියේ ආධිපත්‍යය  අවශ්‍යයි. කිසිවෙකුට හෝ වෙනස්කොට නොසලකන, නීතියේ ආධිපත්‍යය, යුක්තිය, සාධාරණත්වය තහවුරු කරන නීති පද්ධතියක්, අධිකරණ ක්‍රියාවලියක් අපි හදනවා. මේ සියල්ල කර ගැනීම සඳහා අපට ශක්තිමත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍යයට මුල්තැන දෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල්ම අර්ථය දෙන ආකාරයෙන් සකස් කරනවා. ශ්‍රී ලංකා පුරවැසියෙක් කියන්නේ මැතිවරණයකදී කතිරයක් ගහන එක්කෙනෙකුට එහා යන තමන්ට පාලනයට ඍජුව සම්බන්ධ විය හැකි, තමාගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවිය හැකි, තමාගේ මූලික අයිතිවාසිකම් තහවුරු වෙන, ආරක්ෂා වෙන අලුත් ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලිය අපි  ආරම්භ කරනවා.

අපි දශක ගණනාවක් ලේ වැගිරූ රටක්. ඒවාට මූලයක් වූ ජාතික අසමගිය වෙනුවට ජාතික සමගිය අපි ඇති කරනවා. කිසිදු පුරවැසියෙකුට වෙනස් කොට නොසලකන, දෙවන ගණයේ පුරවැසියෙක් ලෙස හැඟෙන්නේ නැති සියලු දෙනාටම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිතව තමන්ගේ සංස්කෘතික අයිතිවාසිකම්, භාෂාව, ආගම අභිමානයෙන් රැක ගත හැකි සමාජයක් අපි ගොඩනඟනවා. සියලු දෙනාම පිළිගන්න, සමාජය තුළ තිබෙන විවිධත්වය ඇගයිය හැකි ජාතික සමගියක් සහිත රටක් අපි ගොඩනඟනවා.

අපි බලාපොරොත්තුවෙන පුනරුදය, ගැඹුරු සමාජ පරිවර්තනය කියන්නේ ජනතාවගේ යුගය ආරම්භ වන කාලයයි. අපි වසර 2500ක ඉතිහාසයක් ගැනත් වසර 75ක ඉතිහාසයත් ගැන කතා කළා. අපිට කියවන්න, අහන්න ලැබෙන්නේ පාලකයන්ගේ පැත්තෙන් ලියැවුණු ඉතිහාසයක්. ඒ ඉතිහාසයේ වීරයන් වීරවරියන් බවට පත්කරලා තිබෙන්නේ  පාලකයන්, නැතිනම් ප්‍රභූ පැළැන්තියේ අය. රජවරුන්ගේ, සිටුවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ කතා අහන්න ලැබෙනවා. අගමැතිවරු, ඇමතිවරු ගැන දන්නවා. මේ රටේ ඇත්තම වීරවරුන් වීරවරියන් වන්නේ මේ රටේ ජනතාවයි. සියලු අර්බුද දරාගනිමින්, ඒවාට මුහුණ දෙමින්, රට වැටෙන්න නොදී අල්ලාගෙන ගියේ මේ රටේ ජනතාව, මේ රටේ පුරවැසියන්. නමුත් පුරවැසියන්ගේ ඉතිහාසය ගැන අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ පුනරුද යුගය තුළ අපි ලියන්නේ පුරවැසියන්ගේ ඉතිහාසය. ඒ ලිවීමේ අයිතිය පුරවැසියන් ලබා ගන්නවා. 2024න් පසුව අපි ආරම්භ කරන්නෙත් පුරවැසියන් බාර ගන්න, පුරවැසියන් ලියන, පුරවැසියන් නිර්මාණය කරන ඉතිහාසයක්. ඒක තමයි පුනරුද යුගය තුළ සිදුවෙන විශේෂිතම දෙය. ප්‍රභූ පැළැන්තියෙන් මිදුණු පුරවැසි යුගයක් අපි ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් තමයි, ඒකෙ කොටස්කරුවන් වන ඔබ සියලු දෙනා මෙතනට එකතු වී සිටින්නේ. ඒ පුනරුද යුගය ළඟාකර ගැනීම සිහිනයක්, බලාපොරොත්තුවක් පමණක් නොවෙයි, එය යථාර්ථයක්, අත්දැකීමක්, අපේ ජීවිතය බවට පත්කර ගනිමු.

ලංකාව පුනරුදය කරා ගෙනයාමේත් ඊට නායකත්වය දීමේත් හැකියාව මාලිමාව සතුයි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති

නිලන්ති සහෝදරිය ‘උබුන්ටු’ වචනය කියන කොට මගේ දෙසවනට සංගීතය වගෙයි. දකූණු අප්‍රිකානු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ ‘උබුන්ටු’ කියන වචනය නොදියුණු ගෝත්‍රික වචනයක් නොවෙයි. මානව සහෝදරත්වය පිළිබඳ උණුසුම් වචනයක්. මේ තමයි අපේ උබුන්ටු. මේ තමයි අපේ සහෝදරත්වය. මේ තමයි අපේ අනෙකා පිළිබඳ කැපවීම, කැක්කුම.

අද මම මෙතන කතා කරන්නේ ඉතාම ආත්මාර්ථකාමී ආශාවකින්. මම වැඩිහිටි වියේ පසුවෙන්නෙක්. මට වුණු හිරිහැරයකින් නිදහස් වෙන්න මට ආසයි. ඒක මගේ ආත්මාර්ථකාමී ආසාවක්. රූපවාහිනිය බලනකොට, පත්තරයක් කියවනකොට මගේ වැඩිහිටි ජීවිතය පුරාම ඇස් දෙකට හිරිහැරයක් වුණු කරදරයකින් නිදහස් වෙන්න මට ආසයි. ප්‍රවෘත්ති අහනකොට කණට හිරිහැරයක් වුණු කන් කරච්චලයකින් නිදහස් වෙන්න මට ආසයි. මගේ දෙසවන් වේදනාවට පත්කරන කරදරය කුමක්ද? මේ රටේ පාර්ලිමේන්තුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉඳගෙන මේ රට පාලනය කරන මිනිස්සුන්ගේ මුහුණු කටහඬවල් පුදුමාකාර හිංසනයක්. ඔක්තෝබර් මාසෙ, ඒ හිංසනයෙන් මිදෙන්න මට අවශ්‍යයි. මේක ආත්මාර්ථකාමී ආශාවක්. ඔබ හැමදෙනා තුළ එවැනි ආත්මාර්ථකාමී ආශාවක් නැද්ද? ඒ තමයි අපේ උබුන්ටු. ඒ තමයි සහෝදරත්වය. ඒ තමයි රට වෙනුවෙන් කැක්කුම. ඒ තමයි අනෙකා පිළිබඳ කැක්කුම. ඒක සාමූහික ආශාවක්. සාමූහික ප්‍රාර්ථනයක්. සාමූහික සිහිනයක්. අනුර කියන්නේ අපේ සාමූහික සිහිනයේ අනුරුව. අපේ සාමූහික ආශාවේ අනුරාගය. අපේ ප්‍රාර්ථනාවේ අනු කෘතිය.

ලංකවේ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වෙලාවේ ඉන්න ඉතාම පරිපූර්ණ, දැක්මක් ඇති දේශපාලනඥයා ඔහුයි. ඔහු අපේ නායකයා. ඔහු අපේ හදවත. ඉදිරි මාස කිහිපය තුළදී ඒ අනුරුව හඹා යමු. අලුත් ලංකාවක් පිළිබඳව සිහින දකින ආශාවට හැකියාව, දැනුම එක්කරමු. අපේ සිහිනයට ප්‍රඥාව එකතු කිරීමේ, සබුද්ධිකත්වය එකතු කිරීමේ ආශාව තමයි ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයත්, අනුර සහෝදරයාගේ සාර්ථකත්වයත්. මේ රටේ කීර්තිමත් අනාගතය දෙස බලා ඉඳිමු. ඒ අනාගතය වර්තමානය බවට පත්වෙන දිනය ආසන්නයි. ජාතික ජන බලවේගයේ එක ශක්තියක් තමයි ප්‍රඥාවේ මූලාශ්‍ර තිබෙන්නේ කොහේද, ඒ ඕනෑම තැනකින් උකහා ගැනීමේ විවෘතභාවය, සුඛ නම්‍යතාවය අපට තිබෙනවා. ඒක එක ශක්තියක්. ලංකාවට පුනරුදයක් අවශ්‍යයි. ලංකාව පුනරුදය කරා ගෙනයාමේ හැකියාවත් නායකත්වයත් දීමේ හැකියාවත් අපට තිබෙනවා.

පුනරුදයකරා යාමට මනුෂ්‍යත්වයට එරෙහි පාපයන් 11 පරාජය කිරීම අවශ්‍යයි. යුක්තිය මත පදනම් වූ ප්‍රතිපත්තිමය මූලධර්මයන් නැති දේශපාලනය අපි පරාජය කළ යුතුයි. ඒ ප්‍රතිපත්තිමය පදනමක් නැති දේශපාලනය පාපයක්. ඒ පාපය අපි ගාව නැහැ. දෙවැනි පාපය විනෝදය. අපේ රටේ දේශපාලකයෝ, ජනාධිපති පුත්තු කොවිඩ් 19 ඇතුලේ, සාගතය ඇතුලෙ මුහුදු ක්‍රීඩාවලට ගිහින් හිටියා. ඒ විනෝදය පාපයක්. දේශපාලකයන්ගේ රාත්‍රී ජීවිතය බැලුවොත් හෘදය සාක්ෂියක් නැති විනෝද ජීවිතයක්. වැඩ කිරීමෙන් තොර ධනය පාපයක්. ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයට හේතුවක් තමයි, මේ රටේ දේශපාලන පංතියේ චෞර වළල්ල ගැන අනුර සහෝදරයා විසින් හෙළිදරව් කිරීම. ඒ පාපය පරාජය  කිරීමේ ශක්තිය හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයටයි. චරිතයෙන් තොර දැනුම, හතරවැනි පාපය. ජනතාව සමග සාමූහික විමුක්තිය පැත්තේ හිටගන්න චරිත ශක්තිය නැත්නම් ඒක දැනුමක් නොවෙයි. ඒක චරිතයෙන් තොර දැනුම. පස්වැනි පාපය ආචාරධර්මවලින් තොර ව්‍යාපාර. අපේ සාමාන්‍ය මනුස්සයා කුසගින්නේ මැරෙද්දී, ලෙඩරෝගවලින් මැරෙද්දී, ඔවුන් වෙනුවෙන් ගේන ඇන්ටිජන්වලින් හොරාකන ව්‍යාපාරිකයා ආචාරධර්ම නැති, හොඳ නරක පිළිබඳ තර්කනයක් නැති ව්‍යාපාරිකයෙක්. හයවැනි පාපය මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව. මේ විද්‍යාවෙන් ඵලයක් තිබෙනවාද, ඒක මනුෂ්‍යත්වයට, පොදු සහෝදරත්වයට සේවය කරන්නේ නැතිනම්. ඒක තමයි අද විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති එළිදක්වන වෙලාවෙදි විද්‍යාඥයන් ඇහුවේ. කරුණාවෙන් තොර ආගම හත්වැනි පාපය. බෞද්ධ ආගම හෝ වෙන ආගමක් හෝ විය හැකියි. වගකීමෙන් තොර අයිතිවාසිකම් පාපයක්. අපේ වගකීම් පිළිබඳව කිසිදු හැඟීමක් නැතිව අයිතිවාසිකම් විතරක් හඹා යනවා නම් ඒක පාපයක්. ජාතික ජන බලවේගයේ පුනරුද යුගය කරා යාමට එකතු කරන්නේ ඒ පාපයන්ට දායක නොවෙන මිනිස්සු. ඊළඟ පාපය වගවීමෙන් තොර බලය. මේ රටේ සියලුම බලය ආර්ථික, මූල්‍යමය, සන්නද්ධ, සංස්කෘතික බලය බාරදෙන කොට ඒක වගවීමක්. ඔක්තෝබර් මාසයේ තමන් අතට එන මේ අසීමිත බලය වගවීමෙන් පාවිච්චි කරන්නේ අනුර කුමාර සහෝදර ජනාධිපතිවරයා. කල්පැවැත්මෙන් තොර සංවර්ධනයත් පාපයක්. අපේ පරිසර පද්ධතිය, සතා සීපාවා, අපේ ගහ කොළ, අපේ මනුෂ්‍යයෝ විනාශ කරන සංවර්ධනයක් නොවෙයි අපේ පුනරුදයේ සංවර්ධනය. ඊළඟ පාපය යුක්තියෙන් තොර නීතිය. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ පොඩි සිදුරක් සොයන්නේ කුමකටද? රිංගන්න නීතිමය හිස්තැනක්, ගැලවිල්ලක්, මිසක් යුක්තිය නොවෙයි සොයන්නේ. අපේ රැස්වීම්වලට එකතුවෙලා ඉන්න මහජනතාව යුක්තියේ පැත්තේ හිටගෙන ඉන්නකොට, නීතියේ කොපමණ හිල් තිබුණත් අපි  ඒවා පරාජය කරනවා.

මේ මා ඉදිරිපත් කළ පාපයන් එකොළහ පරාජය කළ සුඛිත මුදිත සමාජයක්, සහජීවනයෙන් යුතු සමාජයක් බිහිකළ හැකි දේශපාලන බලවේගයක් තිබේ නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. ඊට නායකත්වය දිය හැකි අපේ සිහිනයේ අනු රාවය වන්නේ අනුර කුමාර දිසානායක. මේ ඉදිරියට එන සති කිහිපයේ මේ පෙරළිය කරා යන ගමන අපි එකාවන්ව යමු. තව තවත් එකතු කර ගනිමු. අපි හැමෝගෙම මුහුණුවල සතුටු කඳුළු දිදුලන දවස කරා යමු.