උණුසුම් පුවත්කාලීන

බ්‍රිස්බෙන් කොලම

අනුර හොරේෂස් ඕස්ට්‍රේලිවේ සිට ලියයි

ණය වෙන්නේ ඇයි?

මේ කතාව මම ලංකාවේ කාගෙන් හරි ඇහුවොත් එයාට ඉතා පහසු පිළිතුරක් තියෙනවා.

''වෙන මොනා කරන්න ද.....? හම්බ කරන දේ මාසයක් නෙවෙයි සුමානෙටත් මදි. බඩ පිරෙන්න දරුවොත් එක්ක කාළා , බීලා නෙවෙයි. යාන්තං බඩගින්න නිවා ගන්න පුළුවන්. ඉතින් ණය නොවී කොහොම ද?"

ඊට පස්සේ තමන් ගෙ හිතවතෙක් ගෙන් ණයක් ඉල්ලනවා. අසල්වාසියෙක් ගෙන් ඉල්ලනවා. වයසක අම්ම ගෙන් හරි තාත්තා ගෙන් හරි ඉල්ලනවා. පැන්ෂන් සල්ලිවලික් කීයක් හරි දෙන්න කියනවා. දරුවන්ගේ දුක්බර මුහුණුවල වේදනාව දරා ගන්න බැරිව වයසක දෙමව්පියෝ තමන් ගෙ පැන්ෂන් එකෙන් කීයක් හරි දෙනවා. බොහෝ වෙලාවට අසල්වැසියා හෝ මිත්‍රයා හෝ කියන්නේ තමන්ටත් වැලේ වැල් නැති බව යි.

ඊට පස්සේ මොකද කරන්නේ? ගෙදර තියෙන රත්තරන් බඩුවක් අරගෙන උකස් කඩේට දුවනවා. සමහර වෙලාවට රත්තරං කෑල්ලක්කත් ගෙදර හරියෙ නෑ. ඔක්කොම උකස් කඩේ. දුව වැඩිවිය පත් වුණු වෙලාවේ වෙනත් ණයක්වෙලා ගත්ත පුංචි කරාබු කූට්ටම ඇගේ දෙකනින් ගලවා ගන්නේ පුංචි ඇස්වලට කඳුළු හෝ ගාලා පිරෙද්දි.

''මොනවා කරන්න ද දුවේ.... මල්ලි බඩගින්නේ. ගෙදර හරියෙ හාල් ඇටයක් නෑ.... තාත්තා මාසෙ අන්තිමට ඕක ගෙනැල්ල දේවි" කියමින් බොහෝ මව්වරු පුංචි ඇස්වලට නැඟෙන කඳුළු පිස දමනවා.

කරන රස්සාවෙන් දරු පවුල කාලා ඇඳලා ඉන්න බැරි හින්ද ම සමහරු රස්සාව කරන තැන ම 'හොරෙක්' වෙනවා. මේක එයාගෙ උවමනාවට හෝ පුරුද්දට හෝ නොවන දෙයක් වෙන්න පුළුවන්. නමුත් බරපතල ප්‍රශ්ණයක්. පොත අත්සන් කරලා තමන් ගේ ප්‍රධානියාට මොකක් හෝ බොරුවක් ඇදබාලා සමහරු ආයතනයෙන් පැන ගිහින් සුමානෙට දවස් දෙකක් විතර වෙනින් තැනක පාට් ටයිම් එකක් කරනවා. සමහර වෙලාවට ප්‍රධානියත් ගත කරන්නේ මෙවැනි ම ණයබර ජීවිතයක්. ඒ හින්දා එයක් පාට් ටයිම් එකක් කරනවා. එහෙම කරලා අමතර කීයක් හරි හොයා ගන්නවා. පාට් ටයිම් නොකර රස්සාව කරන තැනින් ම අමතර කීයක් හරි හොයා ගන්නත් ඇතැමුන්ට පුළුවනි. ඒගොල්ලො මොනවද කරන්නේ? විකුණන්න පුළුවන්, සඟවා ගෙන යන්න පුළුවන් මොනවා හෝ දෙයක් ආතනයෙන් සොරකම් කර ගෙන යනවා. ගිහින් ඒක විකුණලා දරු පවුල නඩත්තු කරනවා.

තවත් සමහරු ආයතනය ඇතුළෙ ම 'පගාකාරයන්' වෙන්නෙත් මේ ණයබර හින්දා. තමන්ට ඕනැ කරන රාජකාරිය ඉෂ්ට කර ගන්න බොහෝ දෙනෙක් ආණ්ඩුවේ කාර්යාල ඇතුළට එන්නේ ඛීයක් හරි දීලා වැඩේ ඉක්මනට කරගෙන යන්න හිත හදා ගෙන. ඒ මනුස්සයත් කාගෙන් හරි ණයක් අරගෙන තමයි වැඩේ කර ගන්න එන්නේ. එහෙම ඉල්ලා ගෙන ආව ණය මුදල කන්තෝරුවෙ 'පගාකාරයන්ට' දීලා වැඩේ කර ගන්න සිද්ධවෙලා තියෙනවා. බලාගෙන යන කොට මේකචක්‍රයක් වගේ. ණයබර රටේ මිනිස්සුන්නේ ඔළුව වටේ කැරකැවෙන්නේ බඹර චක්‍රයක් වගේ.

මෙහෙම වෙන්නේ ඇයි? ලංකාවේ මිනිස්සුන්ට මේ තරම් ණය වෙන්න සිද්ධ වෙන්නේ ඇයි?? ඕකට ජනතාව සහ විපක්ෂයේ දේශපාලනඥයන් සපයන සරල පිළිතුරක් තියෙනවා. ඒ තමයි රටේ බඩු මිල ඉහළ යෑම. අද තිබෙන විපක්ෂය විතරක් නෙවෙයි අපි දන්න කාලේ ඉඳල හිටපු විපක්ෂ කිව්වේ ඔය කතාව. ඉතින් ඒක ඇත්තක් ද? මෙන්න මෙතැන තමයි ආකල්පමය වෙනස ඇති වෙන්න ඕනෑ. ජනතාව අතරෙ විතරක් නෙවෙයි බලයට පත්වෙන ආණ්ඩුවලත් ආකල්ප වෙනස් වෙන්න ඕනැ.

මොන රටේ ද බඩුවල මිල ඉහළ යන්නෙ නැත්තේ. හොඳට කල්පනා කරලා බලන්න. දියුණු යැ යි කියන රටවල බඩු මිල ඉහළ යන්නේ නැද්ද?? ඒ රටවල මිනිස්සු කාලා, ඇඳලා, නිවාඩුවට ලෝකෙ පුරා සංචාරය කරලා දරු පවුල් එක්ක සතුටින් ජීවත් වෙන්නේ නැද්ද??? එතකොට ඇතැමුන් කියනවා "ඒ රටවල හොඳ පඩි නේ ගෙවන්නේ " කියලා. ඔව්! ඒක ඇත්ත. හොඳ පඩි ගෙවනවා වගේ ම බඩු මිලත් අහස උසට. හැබැයි ඒ කවුරුවත් ණය වෙන්නේ නැහැ. දැන් ඔබට හිතෙයි ඒක මාර කතාවක් නේ කියලා. ඔව්... මාර කතාවක් තමයි. ඔබ දන්නවා ද

එක සුමානෙකට එවැනි රටවල කාමර දෙකක් සහිත පුංචි ගෙදරක කුලිය කීය ද කියලා. ශ්‍රී ලංකාවේ මුදලින් අඩුම තරමේ රුපියල් ලක්ෂ එකඑකහමාරක්කත් වෙනවා. ඉතින් ඒ මිනිස්සු ගෙවල් කුලියත් ගෙවල හොඳට කාලා, ඇඳලා ලෝකෙ පුරා රවුම් ගහලා ජීවත් වෙනවා. ඒ කොහොම ද? එතැන තමයි ඔබ සොයන උත්තරය තිබෙන්නේ.

දියුණු රටවල් කීපයේ මිනිසුන් ඒ විදිහට සුන්දර ජීවිතයක් ගත කරන කොට ලංකාවේ මිනිස්සු විතරක් ණයබරින් මිරිකෙන්නේ. නැහැ. ලංකාවටත් වඩා මහා දුක්ඛිත ජීවිත ගත කරන මිනිසුන් ජීවත් වන ලෝකයේ රටවල් බොහොමයක් තිබෙනවා. ඒ මිනිස්සුන්ට කන්න තියා බොන්න වතුරවත් නැහැ. මැරිල යන්නේ බල්ලො, බළල්ලු වගේ. ඒ අනුව බලන විට ලංකාව තවමත් තිබෙන්නේ 'කොළ' ඒළියක් මැද්දේ. හැබැයි ඒ මිනිස්සුන්ටත් තිබෙන්නේ අපේ රටේ මෙතෙක් කිසිවෙක් කතා නොකළ නිසා කාටවත් නොපෙනුණු ප්‍රශ්නයක්. දුප්පත් එහෙම නැති නම් තුන්වැනි ලෝකයේ රටවල් යැ යි කියා ගනිමින් තමන් ම හෑල්ලුවට පත් කර ගන්නා දේශපාලනඥයන් ඒ රටවලත් බොහොම යි. ඒක ඔවුන් ගේ 'මියුරු වාදනය' යි.  ඒ වැදනය අසමින්, ණය වෙමින්, සොරකමින් අලස ජීවිතවලට හුරු වෙමින් මිනිසුන් ඔහේ වයසට ගිහින් මැරී යනවා. මේක රටක ජනතාවගේ අපේක්ෂාව නෙවෙයි. එහෙත් එවැනි රටවලට උදා වී තිබෙන්නේ ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.

මම ඕස්‌ෙට්‍ර්ලියාවට පදිංචියට ආවේ 1998 දී. ඇත්තට ම මේ රටේ මිනිසුන් හොඳින් ජීවත් වෙනවා. ඔවුන් කිසිවකු හෝ කිසිවකුට ණය වෙන්න අවශ්‍ය නෑ. එහෙම ණයක් ඉල්ල ගන්න කෙනකුත් ඇත්තෙත් නෑ. රන් භාණ්ඩ උකසට ගන්නා ස්ථානත් නෑ, මේ රටේ මිනිසුන්ට හොඳින් ජීවත් වෙන්න ලැබෙන වැටුප හොඳටෝම ප්‍රමාණවත්. හැබැයි ඒ වැටුප ගෙවන විදිහ වෙනස්. ඒ නිසයි මිනිසුන්ට ණයක්, බරක් නොවී ජීවත් වෙන්න පුළුවන් වී තිබෙන්නේ.

මොකක් ද ඒ ක්‍රමය. එතැන තමයි රහස තිබෙන්නේ. ඒ තමයි දෙසතියකට වරක් වැටුප් ගෙවීම. මාස් පඩිය ගන්න අයත් ඉන්නවා. රජය ගණන් හදල තියෙනවා රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අවුරුද්දක් හොඳෝන් ජීවත් වෙන්න එක් මනුස්සයකුට කොපමණ මුදලක් ඕනැ කරනව ද කියලා.  ඒ අනුව වැටුප් චක්‍රයක් සාදා තිබෙනවා. ඒ ඒ වෘත්තීන්ට පැයකට ගෙවිය යුතු අවම මුදල රජය සැලසුම් කරලයි තියෙන්නේ. රටේ කොතැනක එම වෘත්තියෙහි යෙදුණත් අදාළ පැයේ වැටුප ඒ ශ්‍රමිකයාට අනිවාර්යයෙන් ම හිමි වෙනවා. අනික දෙසතියකට වරක් ඔහුගේ අතට මුදලක් ලැබෙනවා. ඉතින් ණය වෙන්න අවශ්‍ය නැහැ.

දැන් අපි මෙහෙම හිතමු. මම දන්න විදිහට ලංකාවේ ස්ථිර වැටුප් චක්‍රයක් නැහැ. හිතෙන හිතෙන විදිහට නේ වැටපු සකස් කරලා තියෙන්නේ. ලොක්කත් එක්ක හිනාවෙලා හිටියොත් හොඳ වැටුප්. අවංකව රස්සාව කරලා ඔළුව පාත් නොකර ඉන්න සේවකාය ගේ වැටුප අඩුයි. ශ්‍රී ලංකාවේ නහුතයක් සේවක ප්‍රශ්න ඇති වෙන්නත් ඔය විෂම වැටුප් ක්‍රමය ප්‍රධාන හේතුවක්. ඒ කතාව අපි පැත්තකින් තියමු. මගේ ප්‍රශ්ණය මෙයයි. ඇයි රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට දෙසතියකට වරක් වැටුප් ගෙවන්න බැරි? ඒ කියන්නේ මාසයකට දෙවරක් වැටුප් ගෙවන්න බැරි ඇයි?? මොකක් ද ඒකට තියෙන බාධාව. එවැනි බාධා තිබේ නම් ඒ බාධක ඉවත් කරන්න බැරි හේතුවක් තියෙනව ද???

දෙසතියකට වරක් තමන් ගේ වැටුප ලැබෙනවා නම් මම හිතන්නෙ නෑ තදින් ණය වෙන්න තරම් හේතු එක දිගට එයි කියලා. මරණයක් හෝ මඟුලක් හෝ නම් වෙනම කාරණාවක්. ඊළඟ දෙසතිය අවසානයේ දී නැවතත් වැටුපක් ලැබෙනවා. ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සේවක පන්තිය අතිකාලසේවයේ යෙදෙනවා. ගමන් වියදම්, පැමිණීමේ දීමනා නොකඩවා සේවයේ යෙදීමේ හේතුවෙන් හිමි දීමනා ඇතුළු තවත් දීමනා ලබනවා. මෙන්න මේ දිමනා සහ අතිකාල දීමනා පස්වැනි සතියේ ගෙවනවා නම් සේවකයාට ණයක් වෙන්න අවශ්‍යතාවයක් නැති බව යි මගේ පෞද්ගලික අදහස.

ටිකක් කල්පනා කර බලන්න. මාසයකට දෙවරක් වැටුප් ලබා ඊළඟ මාසයේ මුල් සතියේ දීමනා එකතුවක් ලැබේ නම් ඒ සේවකයාට මොන තරම් පහසුවක් ද දරු පවුල සමඟ ජීවිතය ඉදිරියට පවත්වා ගෙන යන්න. එතකොට එයාට ලැබෙන ආදායම 'බැලන්ස්' කර ගන්න පුළුවනි. මේ පඩියෙන් දුවට හෝ පුතාට හෝ රැගෙන දෙන්න බැරි වූ පොත්, සපත්තු හෝ පාසල් පොත්පත් හෝ ඊළඟ ගෙන දිය හැකි බවට ඔහු තුළ තද විශ්වාසයක් පවතිනවා. එයත් අපහසු නම් අලුත් මාසයේ පළමු සතියේ දී ලබන දීමනාවෙන් පවුලේ අවශ්‍යතා ඉටු කර දිය හැකියි.

සඋත්‍රය ඉතා පහසුයි නේ. මෙය කියවන ඔබටත් එසේ හැඟෙනු ඇතැ යි මගේ විශ්වාසය යි. මා ජීවත් වන රටේ ජීවන වියදම මොන තරම් ඉහළ ගියත් 'බැලන්ස්' කර ගන්න පුළුවනි. මන්ද වැටුප් චක්‍රය හා දෙසතියේ වැටුප් ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වන නිසා. රටේ හා ජනතාවගේ දියුණුවට වගකිව යුත්තන්ගේ ආකල්පවල වෙනසක් වෙන්න ඕනෑ කියා මුලින් ම මා පැවසුවේ මෙවැනි කරුණු නිසා.