චම්මිගේ හිතිවිලි
බෝ පැළය යට පුංචි ගල් පොත්තේ උන්වහන්සේ වැඩ සිටී.
සුළඟට බෝපත් සෙමින් සෙළවී සෙමින් සෙමින් පසුව තදින් එකිනෙක ඇතිල්ලෙමින් එකිනෙක වදී.
ඒත් ඉන් නැඟෙන හඬ මුලින් ඇසුණු සිලි සිලිය මිස වෙනස් වූ ගොරෝසු හඬක් නොවේ.
උන් වහන්සේ තවමත් එකම සෙය්යාවෙන් වැඩ සිටී.
කිසිදු සෙළවීමක් හෝ සැළීමක් නොමැතිව.
මම එදෙස බලා සිටිමි.
පටිගත කළ තුන් සුතුර පසෙකින් ඇසේ. එහි මධුර ගුණය කැළඹී ගිය මසිත සිහිල් කරයි.
මැළවී ගිය මිරිස් පැළයකට දිය වට පසු කෙමෙන් කෙමෙන් අළු පැහැගත් සිහින් පත් කොළ පැහැ ගන්නා සේ. මොහොතකින් ඒ පත් යළි තමන්ට හිමි පැහැය ගනු ඇත.
මම එදෙස බලා සිටිමි.
වැස්සට ද අව්වට ද සුළඟට ද සීතල පින්නට ද එකසේ මුහුණ දෙමින් වැඩ වසන උන්වහන්සේ දෙස.
දුටු කිසිවකු ජීවතුන් අතර නැතුව ද උන්වහන්සේගේ මහා කරුණාව පෙරදැරි කරගත් මෙත් ගුණය විසින් පිරිපහදු කරගත් බැති සිතෙන් ඒ නිකලෙස් උපදවන රුව නිමවූ ඒ සිත්තරා මූර්ති ශිල්පියා මොනතරම් උතුම් ලෙස දුටු දුටුවන් සිත් මෙත් ගුණයෙන් නිවන්නේද?
පිරිත් අසද්දී එහි ඇති කර්ණ රසායන ගුණයම උතුම් සංගීතයකැයි කියූ රතන් ජංකර් පඬිතූමාද, මහ මෙව්නාවේ සමාධි පිළිමය දැක බොදු ගුණයෙන් පිරී ගිය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමා ද මගේ මතකයට එයි. ඔවුන් දෙදනාද සිටියේ නම් මේ මොහොතේ මා අභියස සිටිතැයි මට සිතේ.
මම උන්වහන්සේ දෙස බලා සිටිමි.
අන් අයගේ අනවබෝධය නිසා කැළඹී ගිය සිතින් දින ගණනක් ඔද්දල් වීමට ගිය සිත ඉන් මුදවා ගෙන ඉන්නා මම බෝ සෙවනේ වැඩ වසනා උන්වහන්සේ දෙස බලා නොසෙල් වී සිටිමි.
අචේතනකි වූ ඒ පිළිමය සම්බුදුන්ගේ නොසෙල්වෙන අඛිල අමිළ ගුණය නොවේද නොවෙනස්ව හැම බෝ සෙවණක් ඇතුව හෝ නැතුව වැඩ වසනා උන්වහන්සේ අපිට කියා දෙන්නේ.
ඇතිව නැතිව යන මේ ලොව තුළ සියල්ල භෞතික දේ මිස නොනසෙන දෙයක් නොවේ යැයි නිතර සිත යට සැඟව ගිය ඒ නිත්‍ය නොවූ ගුණය මම යළි යළිත් සිහි කරමි.
ජීවිතය ගසාගෙන යන තණ පතක් නොවේ.
එය කාලික වූ දහම යථාර්ථවාදීව අතැඹුළක් කරගත යුතුය.
බෝ පැළයේ පත් එළියෙන් හමා එන සුළඟට සෙමින් සෙළවේ.
ඒ පුංචි බුදුරුව එසේම මදෙස බලා සිටී.
ඒ දෙනෙතින් ගලන බැල්මේ රැඳි මෙත් මුදු කරුණා ඉවසීමේ ගුණය හා බැඳී ගිය ඒ උතුම් ජීවන දෙසුමේ මං සිතියම ඔස්සේ යළිත් මම ඇවිද යමි.
බෝපත් සොළවන ඒ සියුම් සුළඟේ සුවය මට දැනේ.
"යෝ මං පස්සති
සෝ මං පස්සති''
නිවීම ම උතුම් සුව නොවේද?
එසේනම් නිවීමෙන්ම ඔබ ද සැනහේවා!
