උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

මව්බිමේ ඉරණම තීන්දුවට තව හරියට ම දවස් 27 යි

ජගත් ගේ සතියේ සටහන - 33

ජනාධිපතිවරණයට ඇත්තේ හරියට ම තව දින විසිහතක් (27) පමණයි. මේ වන විට දිනෙන් දින උණුසුම් වන ඡන්ද ව්‍යාපාරයේ තරගය පවතින්නේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන තිදෙනා අතර බව පැහැදිලි ය.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් 39 දෙනා අතරින් එක් අපේක්ෂකයකු වන අයිඩස් ඉල්ලියාස් මහතා පසුගිය සතියේ හදිසි හෘදයාබාධයකින් මිය ගියා. ඒ නිසා දැන් තරගය පවතින්නේ ඉතිරි 38 දෙනා අතරයි. එයින් පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ, සර්ව ජනබලයේ අපේක්ෂක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ හා ජන අරගල ව්‍යාපාරයේ අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ ද කුඩා රැස්වීම් පවත්වමින් ගෙන්ගෙට යමින්, අත්පත්‍රිකා බෙදා හරිමින් හා සමාජ මාධ්‍ය යොදා ගනිමින් තම තමන් ගේ ඡන්ද ව්‍යාපාර කරගෙන යනවා.

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක යන තිදෙනා දිනපතා ම වාගේ යෝධ රැලි හා සමුළු පවත්වමින් ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා.

තිස්ස කුට්ටිගෙනුයි වීරසිංහ ගෙනුයි නාමල් හොඳට වැඩ ගන්න හැටි.

නාමල් ගෙ ඉලක්කය 2029 විචාරක මතයයි නාමල් රාජපක්ෂ මහතා ගේ මංගල රැලියේ දී ත්, තිස්ස කුට්ටිආරච්චි, ඩී. වීරසිංහ ආදීන් හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේන මහතාට හා ෂෙහාන් සේමසිංහ මහතාට පහර ගසමින් කතා කළ නමුත් නාමල් රාජපක්ෂ මහතා කිසිවකුටත් පහර නොගසා සිය ප්‍රතිපත්ති ගැන කතා කළා.

එහෙත් නාමල් ගේ රැලියේ දී ත්, රනිල් වික්‍රමසිංහ මහතාට හා අනුර කුමාර දිසානායක මහතාට තදින් ම පහර ගසමින් කතා කළ කථිකයින් සමගි ජන සන්ධානයට හෝ සජිත් ප්‍රේමදාස මහතාට හෝ විරුද්ධව වචනයක්වත් පැවසුවේ නැහැ. නාමල් රාජපක්ෂ මහතා ගේ අරමුණ රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීම මිස ජනාධිපතිවරණයෙන් ජය ගැනීම නොවන බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා. නාමල් තම ඡන්ද වයාපාරය ගෙන යන්නේ මෙවර දිනන්නට නොව 2029 ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ තත්ත්වය යටතේ සජිත් ප්‍රේමදාස මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර රහසිගත එකඟතාවයක් ඇතැ යි සමහර දේශපාලන විචාරකයන් සැක පළ කරනවා. ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගැනීමට කලින් දිනෙක සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ මහත්වරුන් එක්තරා මාධ්‍ය ප්‍රධානියකුගේ නිවසේ දී රහස් සාකච්ඡාවක් පැවැත්වී ඇතැ යි ඒ දිනවල මාධ්‍ය මඟින් වාර්තා කළ නමුත් සජිත්, නාමල් හා එම මාධ්‍ය ප්‍රධානියා ද එම කතාව ප්‍රතික්ෂේප කොට තිබුණා. මේ අතර සමගි ජන බලවේගයට සම්බන්ධ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය බලවේගයේ සමුළුවක් පසුගිය ඉරිදා (18) පෙරවරුවේ කොළඹ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබු නමුත් සෙනඟ නොපැමිණීම නිසා අවලංගු කර තිබෙනවා. මේ සඳහා 2000 කට ආරාධනා කොට තිබු නමුත් පැමිණ ඇත්තේ 30 දෙනකු පමණක් බව ද වාර්තා වුණා. මෙම සමුළුව කලින් සංවිධානය කොට තිබී ඇත්තේ දොස්තර රාජිත සේනාරත්න මහතා යි. ඔහු ආණ්ඩුවට එක්වීමෙන් පසු එය සංවිධානය කිරීම දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට භාර දී තිබු නමුත් එය අසාර්ථක වුණා. ඒ ගැන සජිත් ප්‍රේමදාස මහතා ඔහුට දොස් පැවරූ බව ද වාර්තා වුණා.

එසේ ම පහුගිය 21 වැනි දා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සමුළුවක් ද බත්තරමුල්ලේ මොනාක් ඉම්පීරියල් හෝටලේ දී පැවැත්වීමට සමගි ජන බලවේගය කටයුතු යොදා තිබූ නමුත් එයට පැමිණ ඇත්තේ විදේශ රැකියා ඒජන්සි කරුවන් 30 දෙනකු පමණක් බවයි දැනගන්නට තිබෙන්නේ.

එහෙත් එදින ඒ වෙලාවෙහි ම විදේශ රැකියා ඒජන්තවරුන් 200 ක පමණ පිරිසක් වෙනත් ස්ථානයක දී හිටපු කම්කරු ඇමති හා දැන් ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර මහතා හමුවූ බව ද වාර්තා වෙනවා.

දොස්තර කාවින්ද යි මාන්නප්පෙරුම යි ගෑස් ටැංකිය උස්සා ගනීවි ද?

සජිත් ප්‍රේමදාස මහතා ගේ තවත් ප්‍රචාරක රැලියක් පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආසනයේ දී පැවති අතර එයට ප්‍රමාණවත් සෙනඟක් පැමිණ නොසිටීම ගැන ඔහු දැඩි කණස්සල්ලටත්, කෝපයට පත් වූ බවත් ඒ ගැන රැස්වීම සංවිධානය කළ කටානේ සමගි ජන බලවේගයේ සංවිධායිකා රෝස් ෆ්‍රනාන්දු මහත්මියට දොස් පැවරූ බවත් මාධ්‍ය වාර්තාවල පළකොට තිබුණා. රැලියට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන දොස්තර කාවින්ද ජයවර්ධන සහ අජිත් මාන්නප්පෙරුමයන මහත්වරුන් පැමිණ නොසිටීම ගැන ද බොහෝ දෙනා කතා වී තිබු බව ද දැනගන්නට තිබෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ දොස්තර කාවින්ද ජයවර්ධන හා අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් දෙදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ඔහුට එක්වීමට යන බවට ද රාවයක් පැතිර යමින් පවතිනවා.

පසුගිය වසරේ (2023) මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ මුදල් ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ඉකුත් සතියේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කරනු ලැබුවා. එම පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු යොදන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළා.

ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය උණුසුම් වෙමින් පැවති අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මෙම තීන්දුව හේතුවෙන් දේශපාලන  ක්ෂේත්‍රයේ ද මහත් කැලඹීමක් හටගෙන තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් බොහෝ දෙනකු මේ වන විට ඔවුන් කලින් සිටි පක්ෂයෙන් ඉවත් වී වෙනත් පක්ෂවලට එකතු වී සිටීම නිස යි. තවත් සමරු දේශපාලනය අත්හැර ඇතැම් අපේක්ෂකයින් රැකියා සඳහා විදේශගත වී ඇති බව ද වාර්තා වෙනවා.

සමහර අපේක්ෂකයින් මිය ගොස් ඇති අතර නාමයෝජනා භාර දී ඇති ඇතැම් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසිර ගොස් ඇති බව ද දැන ගන්නට තිබෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන බදාදා (28) රැස්වීමට නියමිත යි. එහිදී පළාත් සභා මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට හැකියාවක් තිබේ ද යන්න ගැන සාකච්ඡා කරන බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළා.

මේ හැර පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි ද යන්න පිළිබඳව නීතිපතිවරයා ගේ උපදෙස් ලබා ගැනීමට ආණ්ඩුව අදහස් කොට තිබෙන බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා. අලුතින් නාමයෝජනා කැඳවීමට නම් ඒ සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් පිළිබඳ පනත සංශෝධනය කිරීමේ පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතුව ඇතැ යි නීති විශාරදයින් පෙන්වා දෙනවා.

පසුගිය වසරේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල්ගිය බැවින් ඒ සඳහා ලබා දී තිබූ මුදල් ආපසු භාණ්ඩාගාරයට යැවූ බවත් දැන් එම මුදල් යළි ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එල්. ඒ. එම්. රත්නායක මහතා පවසනවා.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

අගමැති දිනේෂ් ගේ නායකත්වයෙන් අලුත්   සන්ධානයක් 'ජන ජය පෙරමුණ'

ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් පසුගයි සතියේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රදානත්වයෙන් රැස් වී නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම ගැන සාකච්ඡා කොට තිබෙනවා. පොදුජන පෙරමුණෙන් ගිය අය ආපසු නොගන්නා බවට එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා තිබුණා. ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට හා අනිකුත් මැතිවරණවලට මුහුණ දීම සඳහා නව සන්ධානයක් පිහිටුවිය යුතු බව ඔවුන් මීට පෙර ද සාකච්ඡා කොට තිබූ නමුත් සාගර කාරියවසම් මහතා ගේ ඉහත ප්‍රකාශයෙන් පසු නව සන්ධානය පිහිටුවීම වේගවත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සන්ධානය ගැන තීරණ ගැනීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් 21 දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයක් පිහිටුවිය යුතු බවට මෙහි දී තීරණය වී තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ජනාධිපතිවරයාට සහයෝගය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ හමුවක් ද පැවති අතර ජනාධිපතිවරණයෙන් පසු තම කණ්ඩායමේ අනාගතය කුමක් දැ යි බොහෝ දෙනා මෙහිදී විමසා ඇති අතර ''අපි අලුත් පක්ෂයක් හදනවා"යැ යි රමේෂ් පතිරණ මහතාපැවසූ බව ද වාර්තා වෙනවා.

මෙම පිරිසේ අරමුණ වී ඇත්තේ පොදුජන පෙරමුණේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන මන්ත්‍රීවරුන්, පලාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන නියෝජිතයින් එක්කොට නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම යැ යි එහි ප්‍රකාශකයෙක් අප සමඟ පැවසුවා. අලුතෙන් පිහිටුවීමට යන පක්ෂයේ නම 'ජන ජය පෙරමුණ' වීමට බොහෝ දුරට ඉඩ ඇති බව යි ඔහු පැවසුවේ.

අලුතින් පිහිටුවන මෙම පක්ෂය අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලංසා ගේ නව සන්ධානය නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ද සමඟ එක්ව නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ඉදිරි මැතිවරණවලට ඒ නව සන්ධානයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු තව දුරටත් කියා සිටියා.

අපේක්ෂකයෝ සජීවි සංවාදයේ

රාජ්‍ය නොවන සංවිධාන 15 කින් සමන්විත 'මාර්තු 12  ව්‍යාපාරය' විසින් මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් ගෙන්වා සජීවී රූපවාහිනී සංවාද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙහි පළමු සජීවී සංවාදය  සැප්තැම්බර් 07 වැනිදා පස්වරු 3. 00 සිට 5. 00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන බවත් එයට සහභාගි වීම සඳහා ප්‍රදාන අපේක්ෂකයින් හය දෙනකු දැනටමත් කැමැත්ත පළ කොට ඇති බවත් මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මෙම විවාදය සජීවි ව විසුරුවා හැරීමට රූපවාහිනී නාලිකා හතක් එකඟතාවය පළ කොට ඇති බවත් මෙම විවාදයට සහභාගි වන බව සර්වජන බලයේ ජනාධිපති ධූරාපේක්ෂක දිලිත් ජයවීර, සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂයන මහත්වරුන් දැනටමත් නිල වශයෙන් දැනුම් දී ඇති අතර රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මහත්වරු ද සහභාගි වනු ඇතැ යි අපේක්ෂා කරන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අපේක්ෂකයින් 38 දෙනාට ම සහභාගි විය හැකි පරිදි හය දෙනා බැගින් වන වැඩ සටහන් කිහිපයක් සංවිධානය කිරීමට ද මාර්තු 12 වැනි දා ව්‍යාපාරය තීරණය කොට තිබෙනවා.

වර්තමානයේ රට මුහුණ පා තිබෙන ආර්ථික, සෞඛ්‍ය, විදේශ ප්‍රතිපත්තිය ආදී වැදගත් මාතෘකා පිළිබඳව මහජනතාව නඟන ප්‍රශ්න අපේක්ෂකයින් වෙත යොමු කොට ඔවුන්ගෙන් පිළිතුරු ලබා ගැනීමමෙම වැඩ සටහනේ සැකැස්ම බව ද ඒ මහතා කියා සිටියා.

මාර්තු 12 ව්‍යාපාරය මඟින් 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සඳහා ද මෙවැනි විවාදයක් පැවැත් වූ නමුත් එයට සහභාගි වී තිබුණේ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පමණයි. ප්‍රධාන අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම විවාදය මග හැරිය බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සමුළුවක් අද (25) කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත් වෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු සේ ඉදිරිපත්වීම ගැන පක්ෂයේ අනුමැතිය ලබා ගැනීම සඳහා මෙම සමුළුව කැඳවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

මේ සඳහා ආණ්ඩුවේ සිටින හා අනෙකුත් පක්ෂවල නියෝජිතයින්ට ද ආරාධනා කළ බව ද ඒ මහතා කියා සිටියා.

අනුරලා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට ජනගත කෙරේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වීම හෙට (26) පෙරවරු 10. 00 ට බත්තරමුල්ලේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එහෙත් සමගි  ජන සන්ධානය තවමත් ඔවුන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා නැහැ.

සර්වජන බලයේ අපේක්ෂක දිලිත් ජයවීර මහතා එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට ජනතාව අතර බෙදා හැරීමට පටන් ගෙන තිබෙනවා.

  -  ජගත්  -