උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

මව්බිමේ ඉරණම තීන්දු කෙරෙන්න ඇත්තේ දවස් 12 යි

ජගත් ගේ සතියේ සටහන - 35

තලතා රනිල් ගේ වේදිකාවට ගොඩ වූ අපූරුව

සමගි ජන බලවේග් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරාළ මහත්මිය අද (08) ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ මැතිවරණ රැළියක  වේදිකාවට නැංගා.  ඒ වැලිමඩ නගරයේ දි.

≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈  ≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈

         රටේ නායකයා තෝරා ගනු ලබන ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 12 ක් පමණයි. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් අතරේ උණුසුම දිනෙන් දින ම වැඩිවෙමින් පවතිනවා. ඒ අස්සේ ජනමත සමීක්ෂණ, මුදල් ඔට්ටු මෙන් ම ජ්‍යොතිෂ අනාවැකි පළ කිරීම් ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එකිනෙකාට බැණ දොස් පවරා ගැනීම් පමණක් නොව ඡන්දදායකයින් ට දෙන පොරොන්දුවලින් ද අඩුවක් නැහැ.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයින් සියලු දෙනා ම වාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දක්වා තිබෙනවා. ඒවා ලස්සන වචන හා පොරොන්දුවලින් පිරී පවතින අතර සමහරුන් ඒවා හඳුන්වන්නේ සුරංගනා කතා ලෙසයි.

ස්වාධීන අපේක්ෂකයකු සේ තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කොට තිබෙබෙ "පුළුවන් - ශ්‍රී ලංකා"යනුවෙන්. සමගි ජන බලවේගයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ''සැමට ජයක්" යනුවෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කොට තිබෙනවා.

''පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යනුවෙන් ජාතික බල වේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර ඇති අතර පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කොට ඇත්තේ "ඔබ වෙනුවෙන් දියුණු රටක්" යනුවෙන්.

පසුගිය ජනාධිපතිවරණවල ප්‍රධාන මාර්තෘකාවක් වී තිබුණු ජනාධිපති ධූරය අගෝසි කරනවා ද යන කරුණ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන්නේ ඒ ගැන තීරණයක් ගැනීම නව පාර්ලිමේන්තුවට පවරන බවයි.

අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට සඳහන් කොට තිබෙනවා. එහෙත් සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ මහත්වරුන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඒ ගැන කිසිදු සඳහනක් කොට නැහැ.

තමන් බලයට පත්වූ පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කරනවා ද යන්න පිළිබඳව අපේක්ෂකයින් සිව් දෙනා ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කොට ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ දිගට ම කටයුතු කරන බවයි.

පොරොන්දු දුන්නට ඒවාට අවශ්‍ය සල්ලි හොයන විධියක් නං කියන්නෙ නැහැ

අප පසුගිය සතියේ ද සඳහන් කළ අන්දමට රජයේ සේවක වැටුප් වැඩි කිරීම, ආදායම් බදු අනුපාතය අඩු කිරීම, අඩු ආදායම්ලාභීන්ට රුපියල් 20000 ක දීමනාවක් ලබාදීම, ගොවීන්ගේ වගා ණය කපා හැරීම, ආදී පොරොන්දු රැසක් සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා ආකාරය  එහි දක්වා නැහැ.

උසස් පෙළ සමත් දරුවන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරීම සඳහා වසරකට ශිෂ්‍යත්ව 200 ක්  - අනුර ජනපති වූ පසු

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික වෛද්‍යවිද්‍යාල පිළිබඳව කිසිදු සඳහනක් නැති නමුත් පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පාඨමාලා නියාමනය කිරීම සඳහා රාජ්‍ය නොවන අධ්‍යාපන නියාමන ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවන බව දක්වා තිබෙනවා.

එමෙන් ම උසස් පෙළ සමතුන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරීම සඳහා වසරකට ශිෂ්‍යත්ව 200 ක් ලබා දෙන බව ද එහි තව දුරටත් දැක්වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ගේ ''පුළුවන් - ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා තිබෙන්නේ ඔහු දැනට ක්‍රියාත්මක කොට ඇති වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන කාලයේ සිදුකළ සංවර්ධන කටයුතු 2015 දී නතර වූ නමුත් ඒවා තමා විසින් යළි ක්‍රියාත්මක කරන බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.

(සජිත් ''සැමට ජයක්" අරන් මහ නාහිමිවරුන් බැහැ දකින්නට සිය බලමුළුව ද කැන්දන් ගිහින් මාළිගාවේ දී)

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය සතියේ කොළඹදී එළිදක්වනු ලැබුවා. එය මහාචාර්ය ජී. එල්. පීරිස්, නාලක ගොඩගේවා, පාඨලී චම්පික රණවක හා ඩලස් අලහප්පෙරුම විසින් සකස් කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඇදුරිඳු හර්ෂලා රාජ්‍ය සේවාව කප්පාදුවට ''බ්ලූ ප්‍රින්ට්" එකෙන් යෝජනා කරලා ලු

එයට අමතරව හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා එරාන් වික්‍රමරත්න මහත්වරුන් විසින් සමගි ජන බලවේගයේ ආර්ථික වැඩ පිලිවෙළ දැක්වෙන 'බ්ලූ ප්‍රින්ට්' නම් වැඩ පිළිවෙළක් ද ඉකුත් සතියේ නිකුත් කළා. ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධාවත්වයෙන් පැවති සාකච්ඡාවක දී සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා 'බ්ලූ ප්‍රින්ට්' ආර්ථික වැඩ පළිවෙළ ගැන සාකච්ඡා වී තිබෙනවා. මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇත්තේ මේ ප්‍රකාශන දෙකේ පරස්පර කරුණු ඇතුළත් බවයි.

රාජ්‍ය සේවය කප්පාදු කරන බව බ්ලූ ප්‍රින්ට් ලියවිල්ලේ දැක්වෙන බවත්, ආරක්ෂ හමුදා කප්පාදු කොට, ස්‍යෙඛ්‍යය ඉවත් කිරීමටත් එහි යෝජනා කොට තිබෙන බවත් ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පෙන්වා දී තිබෙනවා.

සජිත් ගේ සමගි ජන බලේ ඇතුළෙ අසමගි කම් මෝරා වැඩෙනවා වගෙයි

මෙයින් සමගි ජන බලවේගයේ ජී. එල් , ගොඩහේවා ඇතුළු කණ්ඩායම හා හර්ෂ, එරාන්, කබීර් ඇතුළු පරණ කණ්ඩායම අතර ගැටුම පැහැදිලි වන බවද දොළවත්ත මන්ත්‍රීවරයා  පවසා තිබෙනවා.

≈≈≈≈≈≈≈≈       ≈≈≈≈≈≈≈≈    ≈≈≈≈≈≈≈≈     ≈≈≈≈≈≈≈≈

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ස්වාධීන ජනාධිපති ධූරාපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ට සහයෝගය දීම සඳහා මැති ඇමතිවරුන් සියයකට ආසන්න පිරිසක් පැමිණි අතර මන්ත්‍රීවරුන් සුළු පිරිසක් තවමත් පොදුජන පෙරමුණේ රැඳී සිටිනවා. එම පිරිස නාමල් රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිනවා.

 

ගෑස් ටැංකියට සපෝට් නැති රාජ්‍ය ඇමතිලා 4 ක් පැන්නූ රනිල්  තමන්ට සහාය නැති තව 4 ක් ළඟ තියන් ඉන්න ?

ඔවුන් අතරින් ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, සිරිපාල ගම්ලත් හා මොහාන් පී ද සිල්වා යන රාජ්‍ය ඇමතිවරුන් පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති වරයා විසින් ඔවුන් දැරූ රාජ්‍ය ඇමති තනතුරුවලින් නෙරපා හරිනු ලැබුවා.

එහෙත් නාමල්ට සහාය දක්වන ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, ඩී. වී. චානක හා ශෂීන්ද්‍ර රාජපක්ෂ ආදීන් තවමත් රාජ්‍ය ඇමති ධූරවල කටයුතු කරනවා.

මේ අතර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය  නොදෙමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු ම මැති ඇමතිවරුන්ට ධූරවලින් ඉවත් වෙන ලෙස දැනුම් දී ඇතැ යි ජනාධිපති කාර්යාලයී ය ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීම සඳහා ගිය පොදුජන පෙරමුණේ ප්‍රසන්න, සුසිල්, රමේෂ්, නිමල් සිරිපාල, මහින්ද අමරවීර ආදී නායකයින් කිහිප දෙනෙකුට හැර සෙසු අයගෙන් බොහෝ දෙනකුට ජනාධිපතිවරයා ගේ ඡන්ද ව්‍යාපාරයේ කිසිදු වැඩක් පවරා නැති බව ද දැනගන්නට තිබෙනවා.

රාජය අමාත්‍ය අරුන්දික ෆ්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ  පිළෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.  තමන්ට සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බවටත්, ජනාධිපතිවරයා පරාජය කිරීමේ වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය තුළින් ම ක්‍රියාත්මක වන බවටත්  චෝදනා කරමින් තමා ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ද හේ ප්‍රකාශ කළා. එසේ වුව ද පසුගිය 5 වන දා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පිහිටුවා ගැනීමේ උත්සවයට ඔහු පැමිණ සිටිනු දක්නට ලැබුණා.

වියදමට මුදල් නැති ලු රනිල් ගේ ඡන්ද ව්‍යාපාරයට

මේ අතර පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ගිය මන්ත්‍රීවරුන් හත් දෙනකු පසුගිය සතියේ කොළඹ තරු පහේ හෝටලයක දී පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහත්වරුන් හමු වී තිබෙනවා.

මෙම පිරිස රනිල් වික්‍රමසිංහ මහතා ගේ මැතිවරණ ව්‍යාපාරයේ පවත්නා ගැටලු ගැන ද පවසමින් මැතිවරණ ව්‍යාපාරයට මුදල් නොමැති වීම ලොකුම ප්‍රශ්නයක් වී ඇතැ යි බැසිල්ට හා නාමල්ට පැවසූ යේ යැ යි වාර්තා වෙනවා.

සැලුන් දොර ඇරියම බලමු ලු

රැස්වීම් සංවිධානය කිරීමට ද මුදල් නොමැති බවත් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ප්‍රචාරක රැස්වීම් 30 කින් අඩු කොට තිබෙන බවත් මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණ වියදම් විශාල ලෙස සීමා කරැති බවත් මෙම මන්ත්‍රීවරුන් තව දුරටත් කියා සිටිය බවයි දැන ගන්නට තිබෙන්නේ.

''අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී නැවතත් පොදුජන පෙරමුණට එනවා" යැ යි ද මොවුන් පවසා ඇති අතර ''දැන් සැලුන් දොර වහල තියෙන්නේ. 21 වැනිදා යින් පසුව බලමු" යැ යි  කියමින් නාමල් රාජපක්ෂ මහතා ඔවුන්ට පිළිතුරු දී තිබෙනවා.

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් එක්ව පසුගිය 5 වන දා දේශපාලන සන්ධානයක් පිහිටුවා ගනු ලැබුවා.

''පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" යනුවෙන් නම් කොට ඇති මෙම සන්ධානයේ ලාංචනය වන්නේ කුසලානය යි.                                                                                                    'ජන ජය' ගණ අවුලක්

නුදුරේදී ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින අවස්ථාවක ඉදිරි මැතිවරණවලට තරග කිරීම සඳහා ''පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" නිර්මාණය කළ බව එහි සභාපතිවරයා සේ පත්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නව සන්ධානය එළිදැක්වීම සඳහා 'වොටර්ස් එජ්' හෝටල‌යේ පැවති උත්සවයේ දී ප්‍රකාශ කළා.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන කණ්ඩායම් එකම වේදිකාවකට ගෙන එම සන්ධානය බිහිකිරීමේ අරමුණ බව ද දිනේෂ් ගුණවර්ධන මහතා තව දුරටත් කියා සිටියා.

නව සන්ධානය සඳහා මුල දී නම් ගණනාවක් යෝජනා වී තිබුණා. 'ජන ජය පෙරමුණ' නමින් පක්ෂය නම් කළ යුතු යැ යි මුල දී යෝජනා වී තිබුණත් එහි ගණ දෝෂයක් තිබෙන බව හෙළිවීම නිසා පසුව එය පොදුජන එක්සත් නිදහස් පෙරමුණ' ලෙස නම් කරනු ලැබූ බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඕං ඔය අස්සේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම මෙම මස 11 දා සිදු කෙරෙනවා. එයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් සඳහා පසුගිය සතියේ ඇප මුදල් තැන්පත් කොට තිබුණා. අලුතින් පිහිටුවා ගනු ලැබූ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ද එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරන බව එම පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. ‍

සමගි ජන බලවේගයත් එයට තරග කිරීමට යන බව එම පක්ෂයේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ගිය සතියේ කියූ බව කියන්නෝනැ.

≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈   ≈≈≈≈≈≈≈

ඡන්ද වරම හිමි තිස් හතළිස් ලක්ෂයකට කතිරෙ පුදන්න මෙදත් නොහැකියි?

මෙවර ජනාධිපතිවරණයට ඡන්දදායකයින් 17100000 ක් ලියා පදිංචි වී ඇතත් එයින් ලක්ෂ 30 - 40 කට පමණ ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැ යි මැතිවරණ නිරීක්ෂණ ආයතන පවසනවා. 

විදෙස්ගත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්, රිමාන්ඩ් සිරකරුවන් හා රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් මේ අතර සිටින බවත් මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් මේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කර නැති බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන 'අයිරෙස්'  සංවිධානයේ  ප්‍රධානියකු වන මංජුල ගජනායක මහතා පවසනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකේය ප්‍රජාවට ඡන්ද පාවිච්චි කිරීමේ පහසුකම් සැලසීම සඳහා 2016 වර්ෂයේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ ද එය රැස්වී තිබුණේ දෙවතාවක් පමණක් බවත් ඒ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ ලක්ෂ 30 ක් 40 ක් අතර පිරිසකට සෑම මැතිවරණයක දී ම ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වෙනවා. මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මේ තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධව ක්‍රියාකළ නමුත් පාර්ලිමේන්තුවේ කට්ටිවාදී හා අවස්ථාවාදී ක්‍රියා නිසා එම නීති ප්‍රතිසංස්කරණ වැළකී තිබෙනවා යැ යි ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගේ හා සිරකරුවන් ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට පාර්ලිමේන්තුව මෙන් ම බලධාරීන් ද කිසිදු උනන්දුවක් දක්වා නැතැ යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. ඒ. එම්. රත්නායක මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය ද මෙතෙක් පැවති නීති රාමුව තුළ පැවැත්වෙන බව ද  සභාපතිවරයා පැවසුවා.

මේ නීති ගෙන ඒම සඳහා නීති පද්ධතිය සංශෝධනය කිරීමට අප යෝජනා කළ සංශෝධන කිසිවක් පාර්ලිමේන්තුව මඟින් මේ දක්වා සම්මත කොට නැහැ. ඒවත් එක්ක පාර්ලිමේන්තුව තවම ඉදිරියට ගිහින් නැහැ. ඒ නිසා දැනට පවතින මැතිවරණ පනතේ රාමුව තුළ ම තමයි අපට වැඩ කිරීමට සිදුවී තිබෙන්නේ" යැ යි ද රත්නායක මහතා තව දුරටත් ප්‍රකාශ කළා.

  - ජගත් -