මංගල අයවැය පරාජය වීමෙන් පසු නගරාධිපතිනිය හෘදය සාක්ෂිය ගැන හිතා බලන සේ කියයි
ඉදිරි වර්ෂය සඳහා වන කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 3 කින් විපක්ෂයේ පක්ෂ විසින් පරාජයට පත් කරන ලදි.
ජාතික ජන බලවේගය සතුව බලය පවතින කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය ලේඛනය ඊයේ (22) පැවති විවාදයේ දී පරාජයට පත් වූයේ විපක්ෂයේ නියෝජිතයින් 60 කු ඊට විරුද්ධව ඡන්දය දීමෙනි. පාලක ජාතික ජන බලවේගයට ඡන්ද විමසුමේ දී ලැබුණේ ඡන්ද 57 කි. අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 57 ක් හා යෝජනාවට විපක්ෂව ඡන්ද 60 ක් ලැබීම නිසා, වැඩි ඡන්ද 3 කින් පරාජය විය.
මෙම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ඉදිරි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව වේ.
ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳව ආරම්භයේ සිටම මුහුණ පෑවේ අර්බුදකාරී ස්වභාවයක යි.
කොළඹ මහ නගර සභාවේ සම්පූර්ණ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 119 කි. කිසිදු දේශපාලන පක්ෂයකට තනිව පාලනට තරම් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගැනීමට ඒ සඳහා පැවති මැතිවරණයේ දී හැකි නොවිණි.
බහුතර ආසන ගණනක් හිමිවූයේ ජාතික ජන බලවේගයට වුව ද ඔවුනට පාලනය කිරීමට තරම් ප්‍රමාණවත් මහජන නියෝජිතයින් නැතිවීම නිසා කොළඹට පත්ව සිටින ස්වාධීන හා සුළුතර පක්ෂ නියෝජිතයින් ගේ සහාය ලබා ගෙන ඔවුන් පාලන බලය ලබා ගන්නා ලදි.
