ජගත් ගේ සතියේ සටහන - 46
වසර දෙකක් තිස්සේ කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණ ලබන වසරේ මුල් මාස දෙක ඇතුළත පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට තිබෙනවා.
මහ මැතිවරණයෙන් පසු පළමුවරට පසුගිය බදාදා (27) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණය ගෙන තිබෙන්නේ පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මනින් පවත් වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන තීන්දුව අනුවයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 800 ක පමණ මුදලක් වැයවෙන බවට කොමිෂන් සභාව ගණන් බලා ඇති අතර එම මුදල රජය විසින් මේ සතියේ 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරන අතුරු සම්මත ගිණුමෙන් ලබා දීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 2022 වසරේ දී බාරගනු ලැබූ නාමයෝජනා අවලංගු කොට අලුතින් නාමයෝජනා කැඳවීමට ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ ගියවර නාමයෝජනා බාරදුන් අයගෙන් සමහරුන් විදේශගත වීම, තවත් අය මියයෑම හා තවත් පිරිසක් පක්ෂ මාරු කර තිබීම ආදී හේතු නිසයි.
මේ සඳහා පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බැවින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට යන බව ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් අප සමඟ ප්‍රකාශ කළා.
සන්ධාන හැරදමා තනි තනිව හටනට...
මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ ද පලාත් පාලන මැතිවරණය සඳහා දැන් සිට ම සූදානම් වන අතර ඒ පිළිබඳ සාකච්ඡා ද එම පක්ෂ තුළ පැවැත් වෙන බවත් වාර්තා වෙනවා.
පසුගිය ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට සන්ධානගත වී තරග කළ පක්ෂ ගණනාවක් මෙවර පළාත් පාලන මැතිවරණවලට තනි තනි ව තරග කිරීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරගෙන යන බව ද දැනගන්නට තිබෙනවා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ 'ගෑස් සිලින්ඩරය' ලකුණින් පසුගිය මැතිවරණවලට තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල කණ්ඩායම, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන නිදහස් පෙරමුණ, නිමල් ලංසාගේ නව සන්ධානය, මෙවර පළාත් පාලන මැතිවරණවලට වෙන වෙන ම තරග කරන බවයි එම පක්ෂවල ආරංචි මාර්ග පවසන්නේ.
මේ අතර වාමාංශික හා ප්රගතිශීලී පක්ෂ එක්කොට නව සන්ධානයක් පිහිටුවා එමඟින් පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වීම ගැන ද නිමල් ලංසාගේ නව සන්ධානය තීරණය කොට තිබෙනවා.
රාජපක්ෂ කඳවුරට විරුද්ධ ප්‍රහතිශීලී හා වමේ පක්ෂ එකතු කර ගෙන යෝජිත සන්ධානය පිහිටුවන බව යි නිමල් ලංසා මහතා පවසන්නේ.
ඉකුත් ජනාධිපතිවරණයට පෙර උත්තර ලංකා සභාගය නම් සන්ධානයක් පිහිටුව ගෙන පසුව සර්වජන බලයට එකතු වී දිලිත් ජයවීර මහතා ජනාධිපති කරවීමට ගිය විමල් වීරවංශ මහතා පසුව මහ මැතිවරණයට ද තරග නොකොට නිශ්ශබ්ද වුණා.
විමල් ස්වාධීනව ඉදිරිය බලනවා ලු
ඉකුත් දසක දෙකක කාලය තුළ චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා දේශපාලන වේදිකාවල ප්‍රධාන කථිකයකු වූ විමල් වීරවංශ මහතා දැන් පවසන්නේ තමන්ගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මින් ඉදිරියට කිසිදු පුද්ගලයකු නායකත්වයට ගෙන ඒම සඳහා කටයුතු නොකරන බවයි. ජාතික නිදහස් පෙරමුණ වශයෙන් දිගට ම දේශපාලනයෙහි නිරත වෙමින් ස්වාධීනව කටයුතු කරන බව ද ඔහු පවසනවා.
මේ අතර සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ද පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ මැති ඇමතිවරුන් ද එකතු කර ගෙන සර්වජන බලය විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් බවට පත් කිරීමට කටයුතු කර ගෙන යන බව ද දැන ගන්නට තිබෙනවා.
ඔහු පවසන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩුවට මුහුණ දීමට තරම් ප්‍රබල නැති බැවින් ප්‍රබල විපක්ෂයක් ගොඩනැඟිය යුතු බව යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල නොවන නායකයා වන එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද යළි පක්ෂය නඟා සිටුවීම සඳහා මේ දිනවල දැඩි කැපවීමකින් කටයුතු කරන බව නෙළුම් මාවත එම පක්ෂ කාර්යාලයෙන් වාර්තා වෙනවා.
පසුගිය මහ මැතිවරණයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග කොට පරාජය වී සිටින පොදුජන පෙරමුණෙන් කැඩී ගිය හිටපු මැති ඇමතිවරුන් සමඟ නාමල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා යළි පක්ෂයට එක්වන ලෙස ඉල්ලා තිබෙනවා.
සමගි ජන සන්ධානයට ගොස් සිටින මන්ත්‍රීන් කිහිප දෙනකුත් සමඟ ඔහු සාකච්ඡා කර ඇති අතර ඉන් බොහෝ දෙනකු යළි පොදුජන පෙරමුණට එක්වීමට කැමැත්ත පළ කොට ඇති බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
නාමල් රාජපක්ෂ මහතා ගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු දී ඇති හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනකු ම බැසිල් රාජපක්ෂ මහතා යළි පක්ෂයට එන්නේ නැතිනම් තමන් පක්ෂයට එක්වීමට සූූදානම් බව පැවසූ බව ද දැන ගන්නට තිබෙනවා.
අලුත් සන්ධානයක් ඇටවීමට කංචන කැඳවුම්කරු කරල
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගොස් සිලින්ඩරය ලකුණින් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග කොට පරාජය වූ මැති ඇමතිවරුන් පිරිසක් රාජගිරියේ පිහිටි හිටපු මන්ත්‍රී මධුර විතානගේ මහතා ගේ නිවසට පසුගිය සතියේ රැස් වී තිබෙනවා.
හිටපු මැති ඇමතිවරුන් 40 ක පමණ පිරිසක් මෙම හමුවේ දී පවසා ඇත්තේ ඉදිරියේ දී දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයකට එකතු විය යුතු බව යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කිසිසේත් ම එකතු නොවීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. ඉදිරියේ දී මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට ද තීරණය වී ඇති අතර අනිකුත් දේශපාලන පක්ස සමඟ සාකච්ඡා කිරීමේ වගකීම හිටපු ඇමතිවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, පවිත්‍රා වන්නිආරච්චිටත් පවරා තිබෙනවා. මෙම කණ්ඩායමේ කැඳවුම්කරු ලෙස කංචන විජේසේකර මහතා කටයුතු කරන බව ද දැන ගන්නට තිබෙනවා.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරට සහ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම් තනතුරට මෙතෙක් කිසිවකු පත් නොකිරීම, හේතුවෙන් අර්බුද රැසක් මතු වී ඇතැ යි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය වී ඇති නමුත් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා සිටින්නේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු වන කබීර් හෂීම් මහතා පත් කරන ලෙස යි.
ජනාධිපතිවරයා පත්වූ වහාම ජනාධිපති ලේකම්වරයා පත් කරන්නා සේ විපක්ෂ නායක පත්වීඹත් සමඟ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කළ යුතුව තිබෙනවා.
විපක්ෂ නායක විසින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීමෙන් පසු ඔහු පක්ෂ නායක රැස්වීම්, හා කමිටු රැස්වීම්වලට සහභාගි විය යුතු යි. එහෙත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නොමැති නිසා පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීම් හා කමිටු රැස්වීම් වලට සහභාගි වූයේ සජිත් ප්‍රේමදාස මහතා පමණ ය. මේ නිසා විපක්ෂයේ කටයුතු අවුල් සහලත තත්වයකට පත් වී ඇති බවත්, උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙකක් හා සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා සජිත් ගේ නායකත්වය නොමැතිව ස්වාධීන විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට මේ වන විට තීරණය කොට ඇති බවත්, පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
විපක්ෂ නායක කාර්යාලයට ලේකම්වරයකු පත් නොකිරීම නිසා එම කාර්යාලයේ කල යුතු අනිකුත් පත්වීම් ද ඇණහිට ඇති බව ද වාර්තා වෙනවා. මේ තත්වයට හේතු වී ඇත්තේ මෙතෙක් විපක්ෂනායක ලේකම් ව සිටි නීතිඥ විජේගුණවර්ධන මහතා යළි නීතිඥ වෘත්තියේ යෙදීමට එම තනතුරින් ඉල්ලා අස්වීම යි.
මේ අතර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හතර සඳහා සුදුස්සන් පත් කිරීම ද දිනෙන් දින කල් යන අතර ඒ නිසා පක්ෂය තුළ මත ගැටුම් රැසක් හට ගෙන ඇති බව ද වාර්තා වෙනවා.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ඉම්තියාස් බාකීර් මාකාර්, සුජීව සේනසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තුෂාර ඉඳුනිල්, එරාන් වික්‍රමරත්න හා සුදර්ශනී ෆ්‍රනාන්දුපුල්ලේ, ඩලස් අලහප්පෙරුම, ඇතුළු නම් ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
මේ අතැින් එරාන් වික්‍රමරත්න මහතා පත් කළ යුතු බවට සජිත් ප්‍රේමදාස මහතා ගේ පවුල තුළින් ම බලවත් ඉල්ලීමක් සිදු කොට ඇති බව ද පැවසෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ගේ ඡන්ද ව්‍යාපාරයට එක්තරා ආගමික ස්ථානයක් මඟින් එරාන් වික්‍රමරත්න මහතා හරහා රුපියල් කෝටි ගණනක මුදලක් ලබා දී ඇති බවත් එරාන් වික්‍රමරත්න මහතා පත්කරන ලෙස එම ආගගමික ආයතනය දැඩි බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බවත් මේ නිසා සජිත් ප්‍රේමදාස මහතා උභතෝකොටික ප්‍රශ්නයකට මුහුණ දී ඇති බවත් සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසනවා. 
මේ අතර පසුගිය මහ මැතිවරණයේ දී සමගිජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී පරාජය වූ කාන්තාවක් ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ගේ පවුලේ සමීපතම හිතවතකු වන උපදේශකයෙක් ඉල්ලා සිටින බව ද දැන ගන්නට තියෙනවා.
මේ තත්ත්වය යටතේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4 සඳහා සුදුස්සන් පත් කිරීම, තවත් කල් යනු ඇති බව යි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය සමාජගත කළ එන්. එම්. ෆාරිස් ට අධිකරණයෙන් දඩුවම්
මාර්ගගත සුරක්ෂිතතා පනත යටතේ දඩුවම් ලද පුද්ගලයා !
සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන පුද්ගලයිනට, චරිත ඝාතන, අභූත චෝදනා කරමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන සමාජ මාධ්‍යවලට වැට බැඳීම සඳහා පසුගිය ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරනු ලැබූ මාර්ගගත සුරක්ෂිතතා පනත යටතේ පවරනු ලැබූ නඩුවක් පසුගිය සතියේ කොළඹ පුධාන මහේස්ත්‍රාත් උසාවියේ දී විභාගයට ගෙන එහි විත්තිකරුට අත්හිටවූ සිර දඬුවමක් හා දඩයක් ද නියමකරනු ලැබුවා.
මෙසේ දඬුවම් නියම වූයේ එන්. එම්. ෆාරිස් නම් ව්‍යාපාරිකයකුට යි. ඔහුට වසරක සිර දඬුවමක් හා රුපියල් 5000. 00 දඩයක් ද පණවන ලද අතර සිර දඬුවම වසර දෙකකට අත්හිටවනු ලැබුවා.
පසුගිය ආණ්ඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ කාදර් මස්තාන් මහතාට බොරු චෝදනා එල්ල කරමින් ඔහුට විරුද්ධව සමාජය නොමඟ යවන අන්දමින් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කාදර් මස්තාන් මහතා මෙම නඩුව පවරා තිබුණේ මාර්ගගත සුරක්ෂිතතා පනත යටතේ යි.
මෙම පනත යටතේ පවරනු ලැබූ ප්‍රථම නඩුවෙන් දඬුවම් නියම වූ පුද්ගලයා වන්නේ ද ෆාරිස් සමැති ව්‍යාපාරිකයා යි.