උණුසුම් පුවත්

මුජිබර් රහුමන් අද දිවුරුම් දෙයි

දිවුරුම් දීම පෙරවරුවේ

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මුජිබර් රහුමන් මහතා අද (10) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.

රහුමන් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු සේ සමගි ජන බලවේගයේ නියෝජිතයකු සේ දිවුරුම් දෙන්නේ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිනියක සේ හුන් ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරමින් පෙරේදා (08) දෙන ලද තීන්දුවක් ප්‍රකාරව යි.

ඇගේ මන්ත්‍රී ධූරය අහෝසි වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රීවරියක සේ පාර්ලිමේන්තූව නියෝජනය කරමින් සිටිය දී ඇගේ එම ධූරය නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින් සමාජක්‍රියා කාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් විමසා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් දෙන ලද නියෝගයක් අනුව යි.

පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් මුජිබර් රහුමන් මහතා පත්කරන සේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ‌මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා සිටීමෙන් පසු ඊට අදාළ ගැසට් නිවේදනය කොමසාරිස්වරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

රහුමන් මහතා 2017 දී පාර්ලිමේන්තු නියෝජිතයකු සේ කොළඹින් පිවිසි අතර කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරය උදෙසා තරග කිරීමට මන්ත්‍රී තනතුරින් ඉල්ලා අස් විය.