නෙතින් රස උකහා ගන්න! මේ පරිසරය සුරකින්න
ආනවිළුන්දාව........ආනවිළුන්දාව........ආනවිළුන්දාව........
සමහර විට ඔබ මේ නාමය මීට පෙර අසා ඇති .ඇතැම් විට ඔබ මේ නාමය අසන මුල්ම අවස්ථාව මෙය විය හැකියි. ආනවිළුන්දාව යනු පාරිසරික වශයෙන් ඉතා වැදගත් ජීව පද්ධතියක් දරා සිටින තෙත්බිමක්.අලියා එරුණු වල යන අර්ථයෙන් දෙමළ බසින් 'ආන උලන්දඬු' පසුකාලීනව ව්‍යවහාරයේ පහසුව සඳහා ආනවිළුන්දාව බවට පත් වූවා යැයි ජනප්‍රවාද තොරතුරුවලින් තහවුරු වේ.ඉතා මනරම් වැව් පද්ධතියක්, වෙරළබඩ කලාපයක් ,සත්ත්ව විශේෂ රාශියක් දරා, හරිත පැහැයෙන් වර්ණවත් වී ඇති මේ අභය භූමියේ සුන්දරත්වයෙන් ඔකඳ වෙමින් මේ අගනා බිමෙහි සැරිසරන්නට ඔබ උත්සුක වුවොත් කෙතරම් වටින්නේ ද යන්න නොකිවමනා ය. එහෙයින් ම ඔබේ සංචාරක දිනපොතෙන් එක් පිටුවක් වෙන් කළොත් ඔබ උකහ ගන්නා මතක සටහන් වලින් ඔබ පොහොසත් වනු ඇතැ යි යන්න මගේ විශ්වාසය යි.
ජාත්‍යන්තර රැම්සා තෙත්බිමක් වශයෙන් මේ සුන්දර පරිසරය ප්‍රකාශයට පත් කෙරුණේ අදින් හවුරුදු විසි තුනකට (23) පෙර දවසක ය. හරියටම කියනවා වම් 2001 වසරේ අගෝස්තු මස 3 වැනි දා ය.
ආනවිළුන්දාව තෙත්බිම ශ්‍රී ලංකාවේ පවතින අන්තර්ජාතික රැම්සා තෙත්බිම් තුනෙන් දෙවන වරට ප්‍රකාශයට පත් කරන ලද තෙත්බිම ය. මෙහි විශාලත්වය ප්‍රමාණාත්මකව ගත් කළ හෙක්ටයාර් එක්දහස් තුන්සිය පනස් හතර (1354) කි .ප්‍රථමයෙන්ම මිනිස් අවශ්‍යතා සඳහා නිර්මාණය කරන ලද වැව් පද්ධතියක් මෙම ප්‍රදේශයේ විය .පසුකාලීනව මෙම වැව් පද්ධතිය කේන්ද්‍ර කරගෙන ස්වභාවික තත්ත්වයට පත් වූ තෙත්බිමක් නිර්මාණය වී පවතී.
තමන්ට රජකම ලැබෙන්නට ප්‍රථම පළමුවන පරාක්‍රමබාහු කුමරු විසින් ආනවිළුන්දාව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන එහි ජලය හා තෙතමනය රඳවා ගැනීමත්, එමඟින් කුඹුරු අස්වැද්දවීමත් අරමුණු කරගෙන මෙම වැව් පද්ධතිය සෑදූ බවට ජනප්‍රවාදවලින් කියැවේ. පාරිසරික වශයෙන් ගත් කල මේ සුන්දර අභය භූමියේ ශාක විශේෂ 264 ක් පමණ හඳුනා ගත හැකි ය .මේ අතරින් විශේෂ එකසිය දහයක් ගස් වර්ග වේ. විශේෂ පනස් හතරක් පඳුරු ශාක ය .විශේෂ හැට අටක් පැළෑටි ද, වැල් වර්ග තිහක් හා අපි ශාක දෙකක් ද ආනවිළුන්දාව තෙත් බිමෙන් වාර්තා වේ .මුළු ශාක විශේෂ වලින් විසි දෙකක් ජලාශ්‍රිත වේ. මෙම තෙත් බිම ආශ්‍රිත භූමියෙහි ඖෂධ ශාක බහුලව දැකගත හැකි ය. මෙහිදී හමුවන පුපුළු ශාකය ශ්‍රී ලංකාවට ආවේණික වු ශාකයකි.
දේශීයව තර්ජනයට ලක් වූ කෙකටිය විශේෂ හා කළුවර ශාක ද ආනවිළුන්දාවේ දී ඔබේ නෙතට හසුවේ.
මේ අගනා අභය භූමියෙන් පෘෂ්ඨ වංශික ජීවීන් විශේෂ 274 ක් පමණ වාර්තාවේ. මෙයින් විශේෂ දහයක් ශ්‍රී ලංකාවට ආවේණික අතර 19 ක් දේශීය වශයෙන් තර්ජනයට ලක් වූ විශේෂ වේ. ආනවිළුන්දා තෙත් බිමෙන් වාර්තා වන මිරිදිය මත්සයින් සහ කිවුල්දිය මත්සයින් වර්ග විශේෂ රාශියකි. උභය ජීවීන් හා උරග විශේෂ ද අඩුවක් නැත. දංකොළ පෙතියා, මගුරා, ලංකා බැඳි මැඩියා වැනි මත්ස්‍ය විශේෂ ද මෙම තෙත්බිම නිවහන කර ගෙන සිටිති. ඒ මත්ස්‍යයින් රාශියක් ම ශ්‍රී ලංකාවට ආවේණික ය. ආනවිළුන්දාව තෙත් භූමියේ පවතින තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ පක්ෂීන් විශේෂ රාශියක් මෙහි සිය වාසස්ථාන කරගෙන සිටීමයි. උන් මෙහිදී සුලබව දැක ගන්නට ඔබට හැකි වේවි. ඔවුන්ගේ ආහාර බිම ලෙස මෙම තෙත්බිම ප්‍රමුඛස්ථානයක් ගනියි.
ශ්‍රී ලංකාවට ආවේණික වලිකුකුළා, අළු කෑදත්තා, හීන් කොට්ටෝරුවා යන විශේෂ ද මෙහිදී වාර්තාවේ ජල ආශ්‍රිත පක්ෂීන් විශාල සංඛ්‍යාවක් ආනවිළුන්දාව අභය භූමියෙන් වාර්තා වෙන බව සටහන් කරමි. සුදු කොකුන්, දියකාවන්, කොරවක්කන් උදාහරණ වශයෙන් දැක්විය හැකිය. එමෙන්ම තර්ජනයට ලක් වූ විශේෂයන් වන හඳුන් දිවියා, උණුහපුළුවා වැනි සතුන්ද මෙබිම ඇසුරේ දිවි ගෙවති. දේශීය වශයෙන් තර්ජනයට ලක් වූ සමනල විශේෂ දොළහක් පමණද මෙම තෙත්බිමෙන් වාර්තා වෙයි .
පාරිසරික වශයෙන් ගත් කල ඉතා වටිනාකමක් උසුලන පරිසර පද්ධතියක් ලෙස ආනවිළුන්දාව තෙත්බිම හඳුනා ගැනීමට හැකියි.ඇතැම් විට මේ මනස්කාන්ත පරිසරය නැරඹීමට ඔබේ සිත තුළද යම් කැමැත්තක් ඇතිවිය හැක .එසේ නම් මේ තොරතුරු පිළිබදවද ඔබ අනිවාර්ය දැනුවත් විය යුතු ය.මෙම අභය භූමිය තුළ නවාතැන් ගැනීම සඳහා නිකේතන පහසුකම් රාශියක් නොමැත.මෑතක දී ඉදි වූ නිකේතන දෙකක් පමණි මෙහි ඇත්තේ.
එය එසේ වූවත් ආනවිළුන්දාවට එපිටින් පිහිටි ආරච්චිකට්ටුව, බංගදෙණිය, පුත්තලම වැනි ප්‍රදේශවල නවාතැන් සඳහා පහසුකම් ඇත. ආපනශාලා, ප්‍රවාහන රෝහල්, ඉන්ධනහල්, වෙළඳසැල් අවශ්‍යතා හලාවත පුත්තලම මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශ වලින් සපයා ගැනීමට හැකි බව සිහියේ තබා ගන්න. සංචාරක ආකර්ෂණයක් දිනාගත් සොබා සෞන්දර්යයෙන් අනූන පරිසර නිකේතනයක් බැවින් සැලකිය යුතු සංචාරක පිරිසක් මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් පැමිණෙති. ඒ අතර විදේශීය සංචාරකයින් ද යම් ප්‍රමාණයක් වේ. මෙයට ඇතුළුවීම සඳහා මුදල් අය කිරීමක් සිදු නොකරන අතර නිශ්චිත ප්‍රවේශ දොරටුවක් ද නැත. අභයභූමිය තුළ ගම්මානයක් පිහිටා ඇති බැවින් ඒ සඳහා ඇති ප්‍රවේශ මාර්ගවලින් අභයභූමිය තුළට පැමිණීමේ හැකියාව තිබේ. හලාවත පුත්තලම් මාර්ගයේ ආනවිළුන්දාව දුම්රිය ස්ථානය අසලින් ඇති මාර්ගය ප්‍රධාන පිවිසුම් මාර්ගය යි. එම මාර්ගයේ මයියාව මංසන්ධියෙන්ද ප්‍රවේශ මාර්ගයක් තිබේ. එමගින් ද ඔබට මෙම අභයභූමියට ළඟාවිය හැක.
කඩොලාන පරිසර පද්ධතීන් පිළිබඳව අධ්‍යයනය කරන දෙස් විදෙස් පරිසරවේදීන් හට විශ්වවිද්‍යාලයක් බඳු වූ ආනවිළුන්දාව කඩොලාන ශාක හා කඩොලාන ආශ්‍රිත සත්ව විශේෂ 2020 වර්ෂයේ සිට ව්‍යාපාරිකයින්ගේ තර්ජනයට ලක්ව තිබේ. ඊට පෙර සිට යම් සුළු තර්ජනයන් තිබුණ ද එය මෑතක පටන් එය මේ අගනා පරිසරයට විශාල තර්ජනයක් වී තිබේ. විශේෂයෙන්ම ඉස්සන් වගාව සඳහා 2020 වර්ෂය වන විට මේ ප්‍රදේශයෙන් ස්ථාන කිහිපයක් ඩෝසර් කර තිබේ. මෙවැනි පාරිසරික වැදගත්කමක් සහිත පද්ධතීන් රැක ගැනීමට රජයක් වශයෙන් පියවර ගත යුතු අතර මහජනයා ලෙස අපට පැවරෙන වගකීම ද සුළු පටු නොවේ. මෙවැනි පරිසර පද්ධතින් විනාශ නොකිරීමට ස්වං ශික්ෂණයක් සියලු සත්වයින් අතර බුද්ධියෙන් ඉහළ යැයි සම්මත අප තුළ නිරායාසයෙන්ම ඇති විය යුතුය.
ඔබට විශේෂයෙන් සිහිපත් කළ යුතු දෙයක් අවසන මෙසේ සටහන් කරමි. මේ බිම අපේ ය. අපේ මතු පරපුරේ ය. ඔවුනට මේ අගනා, වටිනා බිම අප ආරක්ෂා කොට සුරැකිව භාර දිය යුතු ය. එය ඔබෙත් මගෙත් වගකීම ය. එය අපේ යුතුකම ය. අපේ මුතුන් මිත්තන් අපට මේ සුන්දර බිම ආරක්ෂා කොට දුන් නිසා අද අපි ඒහි සුන්දරත්වයෙන් වශී වී බලා තුටු වන්නෝ වම්හ. ඉතින් අපේ වගකීම ද අපේ පැරැන්නන් අපට උරුම කර දුන් මේ සුන්දරත්වයෙන් අනූන පරිසර පද්ධතිය ඊළඟ පරම්පරාවල්වලට ඒ අයුරින් ම බාරදිය යුත්තේ ය.
එහෙයින් මේ පරිසරය සුරකිමින් නරඹන්නට ඔබට ඇරයුම් කරන්නේ බ ගෙනෙන කිසිම අපලි දෙයක් මෙහි දමා එහි දිවි ගෙවනා සතා සීපාවට මෙන් ම ගහ කොළට ද හානියක් නොවන්නට ආපහු රැගෙන යන්න. එය අද ඔබ විසින් අවබෝධයෙන් කළ හොත් මතු පරපුර ද ඔබ ආදර්ශයට ගෙන මේ උතුම් බිමට කිසිදු හානියක් සිදු නොකරනු ඇති.