ජගත් ගේ සතියේ සටහන - 58
යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය මඟින් උපයන විදේශ විනිමය ආදායමෙන් සියයට පහළොහක (15%) බද්දක් අප්‍රේල් මස 01 වැනිදා සිට අයකිරීමට රජය තීරණය කර තිබෙනවා.
වර්තමානයේ රටට විශාල වශයෙන් ඩොලර් ගෙන එන ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්වී ඇති යූටියුබ් ආදී සමාජ මාධ්‍යවලින් මෙසේ බදු අය කිරීමට යෑම ගැන සමාජ මාධ්‍යකරුවන් මෙන් ම දේශපාලන පක්ෂ හා මහජන සංවිධාන ද දැඩි ලෙස විරෝධය පළ කරනවා.
ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙම සමාජ මාධ්‍ය මහත් කැපවීමෙන් කටයුතු කළා.
මේ වන විට ශ්‍රී ලංකාවේ යූටියුබ් කරුවන් දහස් ගණනක් සිටින අතර සමහර යූටියුබ් නාලිකාවල ප්‍රේක්ෂක සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. එවැනි අයට දැන්වීම් මාර්ගයෙන් ඩොලර් දහස් ගණන් ලැබෙනවා.
ආණ්ඩුව විසින් පණවා ඇති මෙම නව බද්දට එරෙහිව සර්වජන බලයේ නායක දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් විශාල හඩක් නැඟුවා. මෙම බද්දට විරුද්ධව යූටියුබ්කරුවන් ද මාධ්‍ය සාකච්ඡා හා සම්මන්ත්රණ පවත්වමින් එයට විරෝධය පළ කරමින් මෙම බද්ද ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීමට පටන් ගෙන තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම 15% බද්ද පිළිබඳව නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ විදේශයන්ගෙන් මෙරට බැංකු හරහා ලැබෙන විදේශ මුදල්වලින් 15% බද්දක් අය කරන බවයි.
ආණ්ඩුවේ මෙම තීරණය නිසා ඉදිරියේ දී යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යකරුවන් නීත්‍යානුකූලව බැංකු හරහා මුදල් නොගෙන්වා උණ්ඩියල් හෝ නවාලා වැනි අනීතික ක්‍රම මඟින් මුදල් ගෙන්වා ගැනීමට ඉඩ තිබෙන බවත් එයින් රටට ලැබෙන විදේශ විනිමය ආදායම අහිමිවන බවත් ආර්ථික විද්‍යාඥයින් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසනවා.
එහෙත් ආණ්ඩුව පවසන්නේ මසකට රුපියල් 150000. 00 අඩු ආදායම් ලබන අයගෙන් කිසිදු බද්දක් අය නොකරන බවයි.
"සාමාන්‍ය යූටියුබ්කරුවකුට මසකට ඩොලර් 5000 – 8000 අතර මුදලක් තමයි ලැබෙන්නේ. එහෙත් දෙරණ, හිරු වැනි රෑපවාහිනී නාලිකවල යූටියුබ්වල ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන පහ ඉක්මවා තිබෙනවා. ඒ අනුව එම ආයතනවලට ඔවුන් ශ්‍රී ලංකාවේ රෑපවාහිනී නාලිකාවලින් උපයන මුදලට වඩා වැඩි මුදලක් ලබනවා. මේ බද්දෙන් විශාල බලපෑමක් ඇතිවන්නේ දිලිත් ජයවීර මහත්තයගේ දෙරණ යූටියුබ් නාලිකාවට යි. එනිසයි ඔහු මේ ගැන ඉදිරියට පැමිණ විරෝධය දක්වන්නේ" යි අප සමඟ අදහස් දක්වමින් එක් යූටියුබ්කරුවකු ප්‍රකාශ කළා.
ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන ප්‍රවීණ නළු රංජන් රාමනායක මහතා මේ ගැන අදහස් දක්වමින් මෙසේ පැවසුවා. ''මටත් මගේ යූටියුබ් චැනල් එකෙන් මාසෙකට ලක්ෂ ගාණක මුදලක් ලැබෙනවා. අනික අපෙන් අය කරන බද්ද මුළු ලංකාවට ම විහිදිලා යනවා. ඒ නිසා මේ දේවල් වලට කුහක නොවී තිනයම හම්බ දරන්නේ නැතිව ඒකෙන් 15% ක් රට වෙනුවෙන් දුන්නා කියලා මං හිතන්නේ නෑ පාඩුවක් වේවි ය කියලා"
''අනික අපි බදු ගෙවනවා වගේ ම තමයි යූටියුබ් නාලිකා බලන ප්රේක්ෂකයාත් ඒ දේවල් බලන්නෙ බදු ගෙවා ගෙන. එයාලා අපේ වීඩීයෝ බලන්න වැය කරන අන්තර්ජාල පහසුකම් වලටත් බද්දක් ගෙවනවා. එහෙම බලන කොට මට නම් මේ බද්දේ වරදක් පේන්නේ නැහැ" යි රංජන් රාමනායක මහතා තව දුරටත් පවසනවා.
රටේ දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරුන් පිරිසක් පසුගිය සඳුදා හැන්දෑවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයට රැස්වී තිබෙනවා.
ඉකුත් යහපාලන ආණ්ඩුව කාලයේ පසමිතුරන් සේ සිටි මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මෙහිදී එකට හමු වී සුහදව කතා කිරීම දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්වුණා.
මෙම සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, සාගල රත්නායක, තලතා අතුකෝරල, දොස්තර රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, සුගීශ්වර බණ්ඩාර, හා පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් පැමිණ සිටියා.
මේ අවස්ථාව තීරණාත්මක බැවින් සියලු දෙනා භේද අමතක කොට එකතු විය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා ද කියා සිටියේ විපක්ෂයේ සියලු දෙනා එකට එකතුවී වැඩ කළ යුතු අතර ඒ සඳහා වැඩපිළිවෙලක් ද සකස් කළ යුතු බවයි.
ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණ නිවේදනය කිරීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වීමටත්, මෙම එකතුව ඡන්දයට සීමා නොවී ඉදිරියට ගෙන යා යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට සැම දෙනාගේ අනුමැතිය හිමි වුණා.
නව දේශපාලන පක්ෂයක්
මේ අතර මෙම සාකච්ඡාවට පෙර පසුගිය ආණ්ඩුවේ තනතුරු දැරූ පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් දහ දෙනකු පමණ හිටපු ඇමති කාංචන විජේසේකර මහතා ගේ නිවසට රැස්වී තිබුණා.
ඉදිරි දේශපාලන කටයුතු ගැන මෙහිදී සාකච්ඡා වී ඇති අතර නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම පිළිබඳව ද එහි දී කතා බහ වූ බව වාර්තා වෙනවා.
කිසිදු හේතුවක් මත පොදුජන පෙරමුණට එකතු නොවීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. පොදුජන පෙරමුණට මහින්ද මහත්තයාගේ නම විකිණීම හැර වෙනත් කිසිදු වැඩපිළිවෙලක් නැහැ. අනික ඒ පක්ෂය කැරකෙන්නේ එකම පවුලක් වටා. ඒ නිසා අපි නැවතත් පොදුජන පෙරමුණට එකතුවිය යුතු නැහැ යි රැස්වූ හැම දෙනා ම පාහේ පැවසූ බව ද වාර්තා වෙනවා.
ඉදිරි පළාත් පාලන මැතිවරණයලට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩනැඟීමේ කටයුත්ත දෙපක්ෂයේ ම ප්‍රධානීන් කිහිප දෙනකු ගේ විරෝධය හේතුවෙන් ඇණ හිට තිබුණා.
එහෙත් එම පක්ෂ දෙක යළි මේ ගැන සාකච්ඡා කොට සන්ධානගත විය යුතු බව සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ම බොහෝ දෙනෙක් පවසනවා. එකතු නොවී පළාත් පාලන මැතිවරණය ජයගත නොහැකි බවයි ඔවුන් පවසන්නේ.
එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් සමගිය සඳහා කොළ එළියක් දැල්වී ඇතත් සමගි ජන බලවේගයේ එස්. මරික්කාර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආදීන් ප්‍රසිද්ධියේ ම එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට විරෝධය පළ කරනවා.
සමගි ජන බලවේගයේ ලක්මන් ෆොන්සේකා හා ජලනි ප්‍රේමදාස මහත්මිය මෙම එකතුවට දැඩි ලෙස විරෝධය පාන බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් ටෙලිපෝනය ලකුණින් පළාත් පාලන මැතිවරණතරග කරන්නේ නම් ප්‍රශ්නයක් නැති බවයි ඔවුන් පවසන්නේ.
සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක නොවීම නිසා එම පක්ෂයේ පළපුරුදු ජ්‍යේෂ්ඨ නායකයින් ගණනාවක් නිහඬව සිටීම පක්ෂයට බලවත් පාඩුවක් බවට පක්ෂය තුළින් ම හඬක් නැඟෙමින් පවතිනවා.
සහගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ද පක්ෂයේ කටයුතු වලින් ඈත්වී සිටින අතර එක්සත් ජාතික පක්ෂය සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවලින් ද ඉවත් වුණා. ඒ පක්ෂයේ ම පිරිසක් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය දෙසට ඇදගෙන යන බවට කරන ලද චෝදනා හේතුවෙන්.
පොත පත කියවමින් මිතුරන් හමුවෙමින් කාලය ගත කරන ඉම්තියාස්
කබීර් හෂීම්, ඉම්තියාස් බාකීර් මාකාර් යන මහත්වරුන් ද මේ දිනවල නිහලඩ පිළිවෙතක සිටින බවයි වාර්තා වෙන්නේ.
1960 දසකයේ විශ්වවිද්‍යාල සිසුවකුව සිටියදීම එක්සත් ජාතික පක්ෂයට එක්වී සමවාදී ශිෂ්‍ය පෙරමුණ පිහිටුවා දේශපාලනයට එක්වූ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස ආදී නියකයින් සමඟ දේශපාලන කළ පළපුරුදු ජ්‍යේෂ්ඨයෙක්.
ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පැමිණ සමගි ජන බලවේගය පිහිටුවීමට ද මූලික වුණා. වර්තමානයේ ඔහු එම පක්ෂයේ සභාපතිවරයා යි.
එහෙත් සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් පවසන්නේ ඔහුට පක්ෂයෙන් විශාල අසාධාරණයක් වූ බවයි. පසුගිය මහ මැතිවරණයට ඉම්තියාස් බාකිර් මාකාර මහතා කළුතර දිස්ත්‍රික්කයට තරග කිරීමට සූදානමින් සිටිය බවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන බවත් එබැවින් රට පුරා ගොස් පක්ෂයේ ඡන්ද ප්රචාරක කටයුතුවල යෙදෙන ලෙසත් දැනුම් දී තිබුණා.
ඒ අනුව ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පසුගිය මහ මැතිවරණයේ දී නැගෙනහිර පළාත ඇතුළු රටපුරා ගොස් පක්ෂය වෙනුවෙන් ඡන්ද රැස්වීම් ඇමතුවා.
එහෙත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීන් පත්කරද්දි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ලෙස පත් කළත් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත්කළේ නැහැ. මැතිවරණයට තරග කළා නම් ඔහුට කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයෙන් පහසුවෙන් ම ජයගත හැකිව තිබුණා.
පක්ෂ නායකයාගේ මේ අසාධාරණ ක්‍රියාව හේතුවෙන් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සියලු ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී පොත පත කියවමින් මිතුරන් හමුවෙමින් මේ දිනවල නිවසට වී කාලය ගත කරන බවයි වාර්තා වෙන්නේ.