උණුසුම් පුවත්

යොවුන් පරපුරේ සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් ගොඩනඟනවා

ඡන්දවලින් ආණ්ඩු මාරු වුණාට රටේ ජනතාවගේ ජීවිත වෙනස් වුණේ නැහැ

තමන්ගේ ජනප්‍රියතාවය කඩා වැටෙමින් තිබෙන බවත්, මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය වටා වේගයෙන් රොද බැඳගෙන තිබෙන බවත් ආණ්ඩුව තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා විවිධ දේවල් කියමින් උත්සාහ කරමින් ඉන්නවා ඡන්දය නොතියා යන්න පුළුවන්ද කියා බලන්න. ඉතිහාසයේ මෙවැනි තත්වයන් තිබුණා. 1980 ගණන්වල මුල පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා, නමුත් මහ මැතිවරණය තිබ්බේ නැහැ. ජනතාව පාර්ලිමේන්තුව තෝරා ගත්තේ වසර පහකට. ජේ.ආර්. කළේ ඒ වසර පහ, දහයක් කර ගැනීමයි. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් ව්‍යාපාරයක්. රටේ තරුණ පරම්පරාව දේශපාලනයට උනන්දුව නොදක්වපු කාලයක්. සමාජ මාධ්‍ය ජාලය ප්‍රචලිත නොවූ කාලයක්. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධනට ඒ වැඩේ කරන්න පුළුවන්කම තිබුණා. දැන් බෑනත් කල්පනා කරනවා ඒ වැඩේ කරන්න පුළුවන්ද කියලා. එක්සත් ජාතික පක්ෂය කියා නමක් තිබුණාට පක්ෂයක් නැහැ. ජනතා කැමැත්තක් ඇත්තේත් නැහැ. තරුණ පරම්පරාව අවදියෙන් වගේම තරුණ පරම්පරාව මැදිහත්වෙලා පාලකයන් පලවා හැර තිබෙනවා. රනිල් මොනවා කළත් ජනාධිපතිවරණය පවත්වන්න සිදුවෙනවා.

ඉතිහාසයට ආපසු ගියොත්, ඡන්දවලින් ආණ්ඩු මාරුවී තිබෙනවා. ඡන්දවලින් ආණ්ඩු මාරු වුණාට රටේ ජනතාවගේ ජීවිත වෙනස් වුණේ නැහැ. පරණ දුක, වේදනාව තමයි රටේ ජනතාවට උරුම වුණේ. මහජනයාගේ දේපොළ සොරකම් කරන එක, නීතිය බිඳ වට්ටන  එක, පාරම්පරික පවුල් දේශපාලනය, විකුණන  එක, ඒ ආණ්ඩු නියෝජනය කරන කට්ටිය, මාරුවුණෙත් නැහැ.  දීර්ඝ කාලයක් ආණ්ඩු මාරු වුණාට ඇත්ත මාරුවක් සිදුවෙලා නැහැ. ප්‍රතිපත්ති, දේශපාලන සංස්කෘතිය, ආර්ථික ක්‍රමවේදය, පවුල් සංස්ථාව, මාරුවෙලා නැහැ. ජනතාව මාරු කරනවා කියලා ආණ්ඩු හැදුවාට මාරු වෙලා නැහැ. ලංකාවේ පළමුවැනි වතාවට සැබැවින්ම මාරුවීමක් කිරීම සඳහා අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. සැබෑ දේශපාලන වෙනස්වීම් සිදුවන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. බලය අත්පත් කර ගත හැකි දේශපාලන අවස්ථාවක් එනවා. අපේ ව්‍යාපාරවල වගකීම සහ බැඳීම තමයි ඒ තත්වය එනකම් අල්ලා ගෙන ඉන්න එක. ඒ අවස්ථාව උදාවෙලා තිබෙනවා. දැන් බලය මාරු කළ යුතුයි. බලය ගත යුතුයි.

ජනතාවට තවදුරටත් මේ විදිහට ජීවත් විය නොහැකියි. ගොවි ජනතාවට, ව්‍යාපාරිකයාට, ධීවරයාට, ජීවත් වීම අමාරුකොට තිබෙනවා. තරුණ තරුණියන්ට තමාගේ අනාගතය අහිමි වී තිබෙනවා. පාලකයන්ට බලය අහිමි වීම පිළිබඳ අමාරුවට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවා. බලය අත්පත් කර ගැනීම සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය විශාල ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. කොට්ඨාස සභා හදා තිබෙනවා. ප්‍රබල තරුණ ව්‍යාපාරය ගොඩනඟා තිබෙනවා. බලවේග වශයෙන් ගොඩනැගී ඉන්නවා. සුපුරුදු බල හුවමාරුව වෙනුවට සාබෑ වෙනසක් සඳහා ජනතා ව්‍යාපාරයක් ගොඩනැගී තිබෙනවා. ජනතාවගේ විශ්වාසය ප්‍රබල ලෙස දිනා ගනිමින් ඉදිරියට ඇවිත් තිබෙන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි.

හම්බන්තොට අපට විශේෂ තැනක්. අමාරුවෙන් ඉන්න අවස්ථාවල අසීරුතම ජයග්‍රහණයන් ගෙනත් දුන්නේ හම්බන්තොටයි. 1994 පළමු ජයග්‍රහණය ලබාදුන්නේ හම්බන්තොටින්. අමාරුම වෙලාවක මේ ව්‍යාපාරය බලාගත්තේ, රැකගත්තේ, හුස්ම දුන්නේ හම්බන්තොට. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා, දිනන වෙලාවෙදිත් ලොකුම දිනුම අරගෙන දෙන්නේ හම්බන්තොටින් කියන එක. අපට වැඩ ගොඩක් කරන්න තිබෙනවා. අපේ රටේ දේශපාලනය පරම්පරා කිහිපයකට පමණක් අයිති කියා ඒගොල්ලෝ සිතාගෙන ඉන්නවා. පැරණි, වැඩවසම්, ගෝත්‍රික ලක්ෂණයක් තමයි පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලනය  ගලාගෙන එන එක. 1947 අගමැති ඩී.එස්. සේනානායකගෙන් පස්සේ 1956 වන තෙක් රට පාලනය කළේ බෝතලේ වලව්වේ, ඩී.එස්., කොතලාවල. 1956 අගමැති බණ්ඩාරනායකගෙන් පස්සේ 1965 වන තෙක් පාලන බලය හෙබවූයේ අත්තනගල්ලේ, හොරගොල්ල වලව්වෙන්. 1965 සිට 1970 තෙක් බෝතලේ වලව්වේ ඩඩ්ලි සේනානායක. 1970 සිට 77 වන තෙක් හොරගොල්ලේ වලව්වේ සිරිමාවෝ බණ්ඩාරනායක. 1977 සිට 1988 තෙක් ජේ.ආර්. ජයවර්ධන කොල්ලුපිටියේ වලව්වෙන්. 1994 සිට 2005 තෙක් හොරගොල්ල වලව්වේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. 2005 සිට 2015 තෙක් මැදමුලනේ වලව්වේ මහින්ද. 2015 පොළොන්නරුවේ මහපොළොවේ ඉපදුණු ගැමියා මෛත්‍රීපාල සිරිසේන. ඊට පස්සේ මැදමුලනේ වලව්වෙන්. දැන් ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා. මේ කියන්නේ අපේ රටේ දේශපාලන බලය තිබුණේ පවුල් කිහිපයක් අතේ. ඒ පවුල් අමාරුවේ වැටුණු වෙලාවල අවුරුද්දක් දෙකකට කවුරු හෝ එනවා. අරමුණ තිබෙන්නේ මේ පවුල් අත බලය රඳවා ගන්න.

රට පමණක් නොවෙයි ප්‍රාදේශීය වශයෙනුත් එහෙමයි. තාත්තා ඇමති වෙන කොට පුතා මන්ත්‍රී වෙනවා. මාතර ලක්ෂ්මන් යාපා, එයාගේ පුතා, එච්.බී. සිරිසේන එයාගේ පුතා, මහින්ද විජේසේකර එයාගෙ පුතා, මහින්ද යාපා ලක්ෂමන් යාපා ඉන්නවා. ගාල්ලේ රූපා කරුණාතිලකගෙ පුතා ගයන්ත කරුණාතිලක, රිචඩ් පතිරණ එයාගේ පුතා, දොඩම්ගොඩ එයාගේ පුතා සහ බෑනා, ඉන්නවා. දේශපාලනයේ ඔලුව තිබෙන්නෙත් පවුල් කිහිපයක් අතේ, දේශපාලනයේ දිස්ත්‍රික් මට්ටමෙන් කඳ තිබෙන්නෙත් පවුල් කිහිපයක් අතේ. ඒ ගම්වල තරුණයන් පෝස්ටර් ගහන්න, කොඩි වැල් අදින්න, වේදිකා තනන්න ඕනෑ. මේක තමයි, අපේ පහළ පංතියේ මිනිසන්ට උරුම කර දී තිබෙන්නේ. මේ රට පාලනය කළ දූෂිත, විනාශකාරී ප්‍රභූ පෙළැන්තියෙන් පොදු ජනතාව අතට බලය මාරුකර ගන්න යුගයක් අපි නිර්මාණය කරන්න ඕනෑ. මෙතන ඉන්න කිසි කෙනෙක් තාත්තා මන්ත්‍රී නිසා හෝ ඇමති නිසා මෙතනට ආ අය නොවෙයි. පොදු ජනතාවගේ හැකියාව, දක්ෂතාවය තිබෙන තරුණ තරුණියන්ට මේ රටේ පාලන  බලය දක්වා ගමන් කළ හැකි නව දේශපාලන සංස්කෘතියක් අපේ රටට ඕනෑ. මෙතෙක් කල් අපේ රටේ පවුල් කිහිපයක් අතේ හිරවෙලා තිබුණු. කොටුකරගෙන තිබුණු, පරවේණි භුක්තියට ලියාගෙන තිබුණු සංස්කෘතිය වෙනස් කිරීමයි. අපේ දරුවන්ට තාත්තා කුඹුරු කොටනවා නම්, පුතත් කුඹුරු කොටනවා. තාත්තා මාළු අල්ලනවා නම් පුතත් මාළු අල්ලන්න ඕනෑ. ඒ තත්වය බිඳ වට්ටවා දූෂිත ප්‍රභූ පවුල් තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට පාලන බලය ගන්න ඕනෑ. මේ කරන්න යන්නේ ලංකාවේ ලොකුම දේශපාලන පරිවර්තනයයි.