උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

රනිල්, සජිත් එකම වේදිකාවකට?

ජගත් ගේ සතියේ සටහන -  110

ඇමති කුමාර ජයකොඩිට විශ්වාස භංගයක්!!?

ඇමරිකා - ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ පවත්නා යුදු උණුසුම නිසා ලෝක වෙළඳපොළේ තෙල් හා ගෑස් මිල විශාල ලෙස ඉහළ ගියා. මෙය ශ්‍රී ලංකාවට ද තදින් ම බලපා තිබෙන්නේ පසුගිය සතියේ මෙරට ද තෙල් හා ගෑස් මිල ගණන් ඉහළ දැමීම නිසයි.

තෙල් මිල ඉහළ දැමීම නිසා ප්‍රවාහන ගාස්තු, බස් හා දුම්රිය ගාස්තු, පාසල් වෑන් ගාස්තු ද, ගෑස් මිල වැඩිවීම හේතුවෙන් හෝටල් හා ආපනශාලාවල ආප්ප, කොස්තු, පරාටා, කිරිතේ, ප්ලේන්ටි ආදියේ මිලත් දැන් සිටම ඉහළ දමා තිබෙනවා. බස් ගාස්තු මෙතෙක් වැඩි කොට නැතත්, ත්‍රීරෝද හා කුලී රථ ගාස්තු වැඩිකොට තිබෙනවා. මෙය ජනතාවට දැරිය නොහැකි තත්වයක්.

මෙය ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල අවියක් කරගෙන තිබෙන විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරන්නේ පසුගිය ආණ්ඩු කාලයේ තෙල් හා ගෑස් මිල ඉහළ දැමූ අවස්ථාවල දැන් බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එයට විරෝධය පා ඒ දිනවල කියූ කතා වීඩීයෝ මඟින් ප්‍රදර්ශනය කරමිනුයි.

එයට අමතරව ලක් විජය බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබා ගත් ඉන්දීය සමාගම බාල ගල් අඟුරු සැපයීම ගැන ද ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙනවා.

විපක්ෂයේ අජිත් පී. පෙරේරා, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමන්, දයාසිරි ජයසේකර, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ආදීන් මේ පිළිබඳව නඟන චෝදනාවලට ආණ්ඩුව දක්වන දුර්වල ප්‍රතිචාර හේතුවෙන් මහජනතාව මේ චෝදනා විශ්වාස කරන්නට පටන් අරන්.

කුමාර ජයකොඩිට විශ්වාස භංගයක්

දැන් විපක්ෂය පවසන්නේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් විදුලිබල හා බල ශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ලබන සතියේ පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව යි.

මීට පෙරද විපක්ෂය අවස්ථා කිහිපයකදී ම ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන ඒම ගැන කතා කළ ද ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ.

මුළින් ම විපක්ෂය ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතාට විරුද්ධව විශ්වාස භංග  යෝජනාවක් ගෙන ඒමට මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගත්තා. එහෙත් එම යෝජනාව විධිමත් නොවන බව පවසමින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා එය ප්‍රතික්ෂේප කළා. එයට හේතුව වශයෙන් දැක්වූයේ ආරක්ෂක ඇමති සිටිය දී නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංග ගෙන ආ නොහැකි බවයි.

ඉන්පසු විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආ අධ්‍යාපන ඇමති හා අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවියට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බවට මහත් හඬ නැඟුවත් එම යෝජනාව කතානායකවරයාට භාරදීමට විපක්ෂය කටයූතු කළේ නෑ.

දැන් විපක්ෂය ගෙන ඒමට යන අලුත් ම විශ්වාස භංග යෝජනාව වී ඇත්තේ ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව යි.

බලශක්තිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් පත්කොට ඇති කාරක සභාවේ ප්‍රධානියා වන අජිත් පී. පෙරේරා මහතා මෙම විශ්වාස භංග යෝජනාව ඉතා ඉක්මනින් ගෙන ඒමට කටයුතු කරමු යැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යෝජනා කළ නමුත් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ මේ ගැන ලබන සඳුදා (16) පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තීන්දුවක් ගන්නා බව යි.

මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගතව එකට දේශපාලන කටයුතු කරගෙන යායුතු බවට එම පක්ෂ දෙකේම බහුතරයක් එකඟතාව පළ කරන නමුත් එම යෝජනාව ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැහැ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේ සාකච්ඡා 2025 ජනවාරි, පෙබරවාරි, මැහි සහ දෙසැම්බර් මාසවල පැවැත් වුණා. පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර සමානත්වයක් ඇතත් පක්ෂ නායකත්වය පිළිබඳව දෙපාර්ශ්වයට ම එකඟත්වයකට පැමිණීමට නොහැකි වූ නිසා එම සාකච්ඡා ඇනහිටි බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් පක්ෂ දෙකේ එකමුතුවේ සාකච්ඡා පිළිබඳ ප්‍රගතිය විමසූ අවස්ථාවල සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ එම සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙන අතර තමා ඒ පිළිබඳව තීරණ ගන්නා බවයි. එතෙක් පක්ෂ දෙකේ එකතුවීම ගැන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස ද ඔහු සිය පාක්ෂිකයින්ට දැනුම් දී තිබුණා.   

මේ අතර ජී. එල්. පීරිස්, උදය ගම්මන්පිල, ඩී. වී. චානක, මොහොමඩ් මුසම්මිල්, සුගීෂ්වර බණ්ඩාර, ප්‍රේමනාත් සී. දොළවත්ත, අනුර ප්‍රියදර්ශන යාපා, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැඟීමේ අරමුණින් 'මහජන හඬ'  නම් සංවිධානයක් පිහිටුවා ගෙන ඇති අතර එහි මංගල රැළිය පසුගිය වසරේ සැප්තෑම්බර් 21 වැනිදා නුගේගොඩ දී පවත්වනු ලැබුවා. එමගින් මාස් පතා මහජන රැළි පැවැත්වීමට තීරණය කොට තිබුණු නමුත් එකදු රැළියක්වත් මෙතෙක් පවත්වා නැහැ.

දැන් 'මහජන හඬ' නායකයින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමට පටන් ගෙන තිබෙනවා. පසුගිය දා ඔවුන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවූ අතර පොදු ප්‍රශ්නවල දී එක්ව වැඩ කිරීමට ප්‍රේමදාස මහතා ඔවුන්ට කැමැත්ත පළකොට තිබුණා.

පසුගිය සතියේ මෙම පිරිස ටී. බී. ජයා මාවතේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ දී එම පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා චාමර සම්පත් දසනායක මහත්වරුන් හමුවුණා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඒකාබද්ධ විපක්ෂයක් ලෙස පොදු ප්‍රශ්නවලදී කටයුතු කිරීමට 'මහජන හඩ' පිරිසට එකඟත්වය පළ කොට තිබෙනවා.

පසුගිය සිකුරාදා මෙම 'මහජන හඩ' සර්ව ජන බලය පක්ෂය හමුවුණා. එම සාකච්ඡජවට සර්ව ජන බලය වෙනුවෙන් එහි නායක දිලිත් ජයවීර, චන්න ජයසුමන, දිලුම් අමුණුගම, එස්. එම්. චන්ද්‍රසේන හා ගාමිණි වලේබොඩ යන මහත්වරු සහභාගි වුණා.

රටේ උද්ගතවී ඇති ප්‍රශ්න පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, විරෝධතා පැවැත්වීම මේ අවස්ථාවේ විපක්ෂයේ වගකීමක් බැවින් ඒ සදහා විපක්ෂයේ සියලු පක්ෂ එක්විය යුතු බවත් එයට සර්ව ජන බලයේ සහාය ද අවශ්‍ය බවත් මෙහිදී ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර මහතා නිශ්චිත වැඩපිළිවෙළක් අනුව මෙම ඒකාබද්ධ විපක්ෂයට එකතුවීමට තම පක්ෂය, සූදානම් බවත්, ඒ අනුව ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙලට සහාය දීමට තම පක්ෂය ද පෙරට එන බවත්, දිලිත් ජයවීර මහතා පැවසුවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විපක්ෂයේ සියලු පක්ෂ කැඳවා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පසුගිය සතියේ කොළඹ හෝටලයක දී පැවත්වනු ලැබුවා.

''ප්‍රජාතන්ත්‍රවාදය, නීතයේ ආධිපත්‍යය, සහ ජනතාවගේ පරමාධිපත්‍යය රැකගමු" යන තේමාවෙන් පැවති මෙම මාධ්‍ය හමුව සදහා හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවිඩයක් එවා තිබීම විශේෂත්වයක්.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගතව සිටින බැවින් රනිල් වික්‍රමසිංහ මහතා මෙයට සහභාගි නොවූ අතර ඒ වෙනුවෙන් මෙම සුබ පැතුම් පණිවිඩය එවා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය විසින් කියවනු ලැබූ එම පණිවිඩය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය බිඳවැටීමේ අභියෝගය ජයගැනීම සඳහා එකමුතුකම හැර වෙනත් විකල්පයක් නැතැයි යනුවෙන් එහි දක්වා තිබුණා.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මෙහිදී පැවසුවේ සමගි ජන සන්ධානයේ කොටස්කාර සංවිධානයක් ලෙස තමා සහ රාධක්‍රිෂ්ණන් මහතා සහභාගි වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවයි.

දැනට එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් නිල වශයෙන් සාකච්ඡා කරගෙන යන අතර එම සාකච්ඡා යම් තැනකට පැමිණි පසුව තමාට ද මෙහි පැමිණීමට හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවත් මනෝ ගනේෂන් මහතා පැවසුවා.

ජී. එල්. පීරිස්, පොදුජන පෙරමුණේ සජීව එදිරිමාන්න, නිමල් සිරිපාල ද සිල්වා, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල හා දයාසිරි ජයසේකර යන මහත්වරුද මෙහිදී කතා කළ අතර හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, දුමින්ද දිසානායක මහින්ද අමරවීර, ටිරාන් අලස්, එජාපයේ සභාපති වජිර අබේවර්ධන හා එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම ඇතුළු පොරොන්දු රාශියක් දී ඇති වර්තමාන ආණ්ඩුව ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. මේවා බලයට පැමිණ මාසයකින් දෙකකින් කළ නොහැකි වුවත්, ඒ සඳහා කිසියම් පියවරක් ගෙන තිබිය යුතුයි. එහෙත් එවැන්නක් සිදුවන්නේ නැහැ. මේ ගැන ජනමාධ්‍යයත්, සිවිල් සමාජයත් ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

මෙම කරුණුවලදී විපක්ෂය ආණ්ඩුවට යම් යම් බලපෑම් කරන නමුත් ඔවුන් ඒවා කරන්නේ කිසිදු වැඩපිළිවෙලක් අනුව නොව අහඹු සිදුවීම් ලෙස බවත් මෙම පොරොන්දු සිහිපත් කොට ආණ්ඩුවේ නායකයින් අසීරුවට පත් කිරීමට එහා යමක් සිදු කිරීමට විපක්ෂයට අවශ්‍යතායක් හෝ හැකියාවක් නොමැත් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සමහර දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ඒකාබද්ධ විපක්ෂය ලෙස සංවිධානය වී සිටින පක්ෂ නායකයින් බොහෝ දෙනකුට එරෙහිව අධිකරණයේ නඩු පවත්නා බව යි.

තමන්ට එරෙහිව ඇති අල්ලස්, දූෂණ පිළිබඳ නඩු දේශපාලන පළි ගැනීම් වශයෙන් පවරන ලද ඒවා බව පෙන්වීම මෙම පිරිසේ අරමුණ බව ද එම දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 ⋆⋆⋆   ⋆⋆⋆    ⋆⋆⋆

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර එක්වීමක් ගැන සාකච්ඡා පැවැත්වෙද්දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එකම වේදිකාවකට ගෙන්වන විශේෂ උත්සවයක් මාර්තු 20 වැනිදා කොළඹ දී පැවැත්වීමට යන බව වාර්තා වෙනවා.

මේ සඳහා මූලික වී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති වරයකු වන නවීන් දිසානායක හා සමගි ජන බලවේගයේ දෙවැනි පෙළ නායකයකු වන මයන්ත දිසානායක මහත්වරුන්. ඔවුන් සිය පියාණන් වන දිවංගත ගාමිණි දිසානායක මහතා ගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරන ගුණ සමරු උත්සවය සදහා රනිල්ට හා සජිත්ට මෙසේ එක වේදිකාවකට ඇරයුම් කර තිබෙනවා.

පකෂ දෙකේ ම අනෙකුත් නායකයින්ට ද මේ සදහා ඇරයුම් කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.

 - ජගත් -