උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

ලැබෙන පළමු අවස්ථාවේ දී ම මේ ආණ්ඩුව පෙරළා දමනවා – මහා ජන හඬේ දී නාමල් සඵත කරයි

ජගත්ගේ සතියේ සටහන - 95

සජිත්, දිලිත්, විමල් නෑ

ජාතික ජන බලවේගය ආණ්ඩුවට වසරක් පිරෙද්දී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඇතුළු පක්ෂ හා සංවිධාන 17 ක් එක්වී පසුගිය සිකුරාදා (21) නුගේගොඩ දී පැවැත්වූ රැළිය ආණ්ඩුවට දුන් අනතුරු සංඥාවක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන් වනවා.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය, සර්ව ජනබලය, ජාතික නිදහස්  පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක්, මෙම රැළිය වර්ජනය කොට තිබීම ද, බොහෝ දෙනාගේ කතාබහට හේතු වීත තිබුණා.

මහා ජන හඬ පොටෝ එක AI වලින් හදපු එකක් ලු

නුගේගොඩ නගරය මැද පිහිටි ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවති මෙම රැළියට විශාල පිරිසක් පැමිණි නමුත් එම ප්‍රදේශයේ පවතින අඩු ඉඩකඩප්‍රමාණය හේතුවෙන් පැමිණි සෙනඟ කොපමණදැ යි නිගමනය කිරීම අපහසු යි.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස් බුක් පිටුවේ රැළියේ ඡායාරූපයක් ලෙස විශාල සෙනඟක් දැක්වෙන පින්තූරයක් පළ කොට තිබෙනවා.

ඈතක සිට වේදිකාවට එල්ල කොට ගෙන තිබූ එම පින්තූරයේ ජාතික කොඩි වනන පිරිසක් ද දැක්වුණා. එහෙත් නුගේගොඩට පැමිණි කිසිවකුත් ජාතික කොඩි රැගෙන පැමිණ නොසිටි බව එම රැළියට සහභාගි වූ අය හොඳින් ම දැන සිටියා.

මේ ඡායාරූපය කෘතිම බුද්ධිය (AI) සංස්කණය කළ එකක් බවයි ප්‍රවීණ පුවත්පත් ඡායාරූප ශිල්පියකු පැවසුවේ. මෙම රැළියේ ජාතික කොඩි රැගත් පිරිසක් පුවත්පත්වල හා රූපවාහිනී නාලිකාවල පළවූ පින්තූරවල දක්නට ලැබුණේ නැහැ.

එනවා ම ය කියපු මහින්ද ආවෙත් නෑ

කෙසේ වුවත් ආණ්ඩුවට විරුද්ධව සාර්ථක රැළියක් පැවැත්වීමට හැකි වූ බවයි එහි සාමාජික පක්ෂ පවසන්නේ. මේ අනුව ඉදිරියේ දී, මාතර, රත්නපුර හා කුරුණෑගල තවත් මෙවැනි යෝධ රැළි ගණනාවක් පැවැත්වීමට තීරණය කොට ඇතැයි පොදුජන පෙරමුණේ නායකයෙක් ප්‍රකාශ කළා.

නුගේගොඩ රැළියට තමා සහභාගි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ සිය උපන් දිනය නිමිත්තෙන් දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමට මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් සමඟ පවසා තිබුණා. එහෙත් ඔහු නුගේගොඩ රැළියට පැමිණියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා නුගේගොඩ රැලියට පැමිණෙන බවට මාධ්‍යවල පළ වී තිබුණා. නුගේගොඩ රැළියට පැමිණි ඇතැම් පොදුජන පෙරමුණේ ආධාරකරුවන් 'අපේ නායකයා කෝ...' 'රට බේරාගත් අපේ නායකයා කෝ' ආදී වශයෙන් හඬනඟනු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එහි මහ ලේකම් තලතා අතුකෝරළ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රෝහිත අබේගුණවර්ධන, දුමින්ද දිසානායක, ටිරාන් අලස්, මහින්ද අමරවීර, සංජීව එදිරිමාන්න, ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියා.

මෙහිදී පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ මහතා ලැබෙන පළමු අවස්ථාවේ දී ම මේ ආණ්ඩුව පෙරළා දමන බව පවසද්දී පිරිස ඔල්වරසන් හඬ දුන්නා.

ඔහුට අමතරව චාමර සම්පත් දසනායක, ප්‍රේමනාත් සී. දොළවත්ත, උදය ගම්මන්පිල, අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ උප සභාපතිනි සාමින්ද්‍රා එදිරිමාන්න මෙනෙවිය ද මෙහිදී අදහස් දැක්වූවා.

ඒකාබද්ධ විපක්ෂයේ රැළියක් වුව ද, නුගේගොඩ පැවති මෙම රැළිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියක් බවට පත්වී තිබූ බව දේශපාලන විචාරකයින් පවසනවා.

මහා ජන හඩ විරෝධතාවට විපක්ෂයේ පළමු පෙළේ නායකයින් ම්හ්හ්ග්

පිට ප්‍රදේශවලින් පොදුජන පෙරමුණේ විශාල පිරිසක් බස් රථවලින් පැමිණි අතර එක්සත් ජාතික පක්ෂයෙන් සහභගි වී සිටියේ කොළඹ හා අවට එම පක්ෂයේ පාක්ෂිකයින් පමණයි.

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රාද්ශීය නායකයින් පිරිසක් ද පැමිණ සිටි අතර සමගි ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් නුගේගොඩ රැළිය අසල ගොඩනැගිලිවල උඩු මහල්වලට වී රැළියේ කතා අසමින් සිටිය බව ද වාර්තා වෙනවා.

කෙසේ වුවද නාමල් රාජපක්ෂ හැර සෑම ප්‍රධාන පක්ෂයක ම  පළමු පෙළ නායකයින් මෙම රැළියට සහභාගි නොවීම කැපී පෙනුණා.

නුගේගොඩ රැළියේ අලුත් අදහස් කිසිවක් නැති ලු - දේශපාලන විචාරක මතය?

දේශපාලන විචාරකයින් පවසන්නේ නුගේගොඩ රැළියේ දී වෙනදා පාර්ලිමේන්තුවේ දී හා මාධ්‍ය සාකච්ඡාවල දී පළ කරන අදහස්වලට වඩා අලුත් අදහස් කිසිවක් මෙහිදී ප්‍රකාශ නොවූ බවයි. එබැවින් මේ රැළියෙන් ආණ්ඩුවට අභියෝගයක් එල්ල නොවූ බව ද ඔවුන් පවසනවා.

මේ අතර සමගි ජන බලවේගය දලබන ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික් මට්ටමින් පිට පළාත්වල ආණ්ඩු විරෝධී රැස්වීම් පැවැත්වීමට තීරණය කොට ඇතැ යි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ජාතික ජන බලවේගය ආණ්ඩුව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් මට්ටමින් මත්ද්‍රව්‍ය විරෝධී රැස්වීම් පැවැත්වීමට යනවා. ඒ පිළිබඳ පළමු රැස්වීම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ද දෙවැනි රැස්වීම පසුගිය 20 වැනිදා තංගල්ලේ දී ද  පැවැත්වුවා.  ලබන මාසයේ සිට අනෙක් රැස්වීම් පවත්වන බවයි දැනගන්නට තිබෙන්නේ.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ ඊයේ (22) සාකච්ඡාවට ගනු ලැබුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යි.

මෙහිදී විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා යි.

යහපාලන ආණ්ඩුව පැවති 2015 – 2019 වසරවල දී අයවැය තුන්වැනි වර කියැවීමේ විවාදවල දී විපක්ෂය වෙනුවෙන් පළමු කතාව කළ වර්තමාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා මෙවර සෞඛ්‍ය ඇමතිවීම විශේෂත්වයක්.

වර්තමාන ආණ්ඩුවේ කතානායක ජගත් වික්‍රමරත්න, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජේමුණි යන සිව් දෙනා ම වෛද්‍යවරුන්.

මීට අමතරව වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 26 ක් ම වෛද්‍යවරුන් වීම කැපී පෙනෙනවා.

මෙම විවාදයට සහභාගි වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය ගැනත් වෛද්‍යවරුන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා හා ප්‍රශ්න ගැනත් කතා කළේ හිඟ ඖෂධවල ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින්.

එමෙන් ම ඔහු තම ඉල්ලීම් ගැන ඊයේ පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධිය අසල උද්ඝෝෂණයක යෙදුණු වෛද්‍යවරුන් පිරිසක් ද හමුවීමට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න ගැන ද සිය කතාවේ දී සඳහන් කළා.

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ඖෂධ හිඟය ගැන සඳහන් කරමින් පැවසුවේ ඔහු ඉදිරිපත් කළ හිඟ ඖෂධ ලැයිස්තුවේ නමක් හෝ අත්සනක් නැති ටයිප් කළ කොළ දෙකක් බවයි. අනතුරුව ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ලැයිස්තුවේ දැක්වෙන ඖෂධ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රජයේ ඖෂධ ගබඩාවල තිබෙන බව සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දුන්නා.

සැරට කතා කරන මන්ත්‍රීවරුන් ගේ සැර බාල වුණේ?

ඊයේ විවාදයේ දී කතා කළ බොහෝ විපක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ප්‍රහාර එල්ල නොකර සෞඛ්‍ය දියුණු කිරීම සඳහා ආණ්ඩුව ම යෝජනා ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

වෙනදා සැරෙන් කතා කරන චාමර සම්පත් දසනායක, චමින්ද විජේසිරි ආදි මන්ත්‍රීවරුන් තම ප්‍රදේශවල රෝහල්වල පවතින අඩුපාඩු ගැන කතා කරමින් ඒවාට විසඳුම් දෙන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කාරක සභා අවස්ථාවේ සෞඛ්‍යය, අධ්‍යාපන, මහාමාර්ග ආදි අමාත්‍යාංශවල පවත්නා රෝහල්, පාසල් හා මහාමාර්ග පිළිබඳ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා යි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඔහු විසින් පසුගිය ආණ්ඩු කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කොට ගත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභා පනතින් පිහිටුවනු ලැබූ තොරතුරු දැනගැනීමේ කොමිසම මුහුණ පා ඇති ගැටලු ගැන කතා කළා. එහි පවත්නා කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම ගැන අවධාරණය කළ ගයන්ත කරුණාතිලක මහතා, 35 කින් සමන්විත වියයුතු එහි කාර්ය මණ්ඩලයේ දැන් සිටින්නේ 18 කු පමණක් බවත්, මෙය කොමිසමේ කටයුතු කරගෙන යෑමට බාධාවක් බවත් කියා සිටියා.

ඊයේ විවාදයේ දී මන්ත්‍රීවරුන් 40 ක් පමණ අදහස් දැක්වුව ද ජනමාධ්‍ය අමාත්‍යංශය හා ඒ යටතේ ඇති ආයතන ගැන කතා කළේ මන්ත්‍රීවරුන් 5 ටත් වඩා අඩු පිරිසක්. ඇමතිවරයාගේ පිළිතුරු කතාවේ දී ඒ ටික දෙනා මතුකළ කරුණු ගැන කිසිවක් සඳහන් වුණේ නැහැ.

අන්තිමේදී රාත්‍රී 7. 00 ට පමණ ඡන්දය විමසීමකින් තොරව වැය ශීර්ෂය සම්මත වුණා.

  - ජගත් -