ජගත්ගේ සතියේ සටහන - 94
නොවැම්බර් 21 දා
'මහා ජනහඬ' නිසා සජබෙ උණුසුම් වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් නොවැම්බර් 21 දා නුගේගොඩ දී පැවැත්වීමට යන 'මහා ජනහඩ' විරෝධතා රැළියට විපක්ෂයේ පක්ෂ රැසක් සහභාගි වන බව එහි සංවිධායකයින් පවසන නමුත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය එයට සහභාගි නොවන බවට ගෙන ඇති තීරණය හේතුවෙන් සමගි ජන බලවේගය තුළ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකයින් රාශියක් ම නුගේගොඩ රැළියට යෑමට දැඩි කැමැත්තෙන් පසුවන නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා අනුමැතිය ලබා දී නැහැ.
මේ අතර සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා 21 දා නුගේගොඩ පැවැත් වෙන ආණ්ඩු විරෝධී රැළියට සහභාගි වීමට පක්ෂයේ වෘත්තීය සමිතිවලට හා පාක්ෂිකයින්ට අවසර දෙන ලෙස ඉල්ලා සජිත් ප්‍රේමදාස මහතා වෙත පසුගිය සතියේ ලිපියක් ද යවා තිබුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නුගේගොඩ රැළිය සාර්ථක කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙනවා. ඔහු පසුගිය සතියේ ටී. බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ආදී නායකයින් හමුවී තිබුණා. ඔවුන් පවසා තිබුණේ නුගේගොඩ රැළියට තම පාක්ෂිකයින් සහභාගි කරවන අතර රැළිය සාර්ථක කිරීමට අවශ්යසෑම සහායක් ම ලබා දෙන බව යි.
එජාප යේ ලොක්කන් 3 ක් නාමල් ගේ සාකච්ඡාව කරහැරලා!


ඉන්පසු නාමල් රාජපක්ෂ මහතා කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට ගොස් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් සමඟ නුගේගොඩ රැළිය ගැන සාකච්ඡා කළ අතර එම පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය ලේකම් හරීන් ෆ්‍රනාන්දු මහතා කථිකයකු වශයෙන් සහභාගි කරවන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
නාමල් සමඟ පැවති මෙම සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව සාගල රත්නායක, රෝසි සේනානායක, තලතා අතුකෝරළ මහත්ම මහත්මීන් ද පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමල් සමඟ ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, සංජීව එදිරිමාන්න යන මහත්වරු එක්ව සිටියා.
එහෙත් මෙම හමුවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප සභාපති අකිල විරාජ් කාරියවසම් ආදි සෙසු නායකයින් සහභාගි වී නැහැ. නාමල් ඇතුළු කණ්ඩායම මල් පාරේ කාර්යාලයට පැමිණෙද්දී ම වජිර අබේවර්ධන මහතා එහි සිට පිටවී ගිය බව ද දැනගන්නට තිබෙනවා.
නාමල් පුම්ඹන්න ලොකු පොටෝ එකක්
නුගේගොඩ රැළිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් නාමල් රාජපක්ෂ මහතාගේ විශාල ඡායාරූපයක් සමඟ පෝස්ටරයක් නිකුත් කොට තිබෙනවා. මෙම රැළිය නාමල් රාජපක්ෂ පිම්ඹීම සඳහා සංවිධානය කරන එකක් බව පවසමින් සමහර එක්සත් ජාතික පාක්ෂිකයින් විරෝධය පළ කළ බව ද වාර්තා වෙනවා.
මේ අතර නාමල් රාජපක්ෂ මහතා නුගේගොඩ රැළියට පැමිණෙන ලෙස ආරාධනා කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නායකයින් හමුවී ඇති අතර තමන් එයට සහභාගි නොවන නමුත් ආශිර්වාදය පළ කරන බවත් සුමන්දිරන් මහතා පවසා තිබෙනවා.
⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆
අනුරගෙ 2 වැනි අයවැය වැඩි ඡන්ද 118 කින් සම්මතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමති වශයෙන් නොවැම්බර් 7 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිකුරාදා (14) පස්වරුවේ පැවති අතර එයට පක්ෂව ඡන්ද 160 ක් ද, විරුද්ධව ඡන්ද 42 ක් ද ලැබී වැඩි ඡන්ද 118 කින් සම්මත වුණා.
ඒ අවස්ථාවේ සභාවේ සිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියා. සමගි ජන සන්ධානයේ හවුල්කරුවන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, පී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ ජීවන් තොණ්ඩමන් මහතා ද අයවැයට පක්ෂව ඡන්දය දුන්නා.
අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ජනවාරියේ සිට වැඩි කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාකළ ප්‍රකාශය නිසා වතුකරය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් හතර දෙනා අයවැයට පක්ෂව ඡන්දය දුන් බවයි ඔවුන් ප්‍රකාශ කෙළ්.
වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා කිහිප වතාවක් ම වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළ නමුත් ඔවුන් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1500 කට වඩා ලබා දීමට එකඟ වුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබුණේ දිනකට රුපියල් 1700 ක් වතු කම්කරුවන්ට ලබා දෙන බවයි. මේ නිසා ජනාධිපතිවරයා වතු සමාගම් ලබාදෙන රුපියල් 1500 ට අමතරව රජයේ අරමුදල් වලින් රුපියල් 200 ක් ලබා දෙන බව ප්‍රකාශ කළා.


සජබෙ හවුල්කාරයින් 4 ක් අයවැයට පක්ෂව
අයවැය යෝජනාවක් වශයෙන් මේ බව ප්‍රකාශ වීමත් සමඟ වතුකරයේ ජනයා රතිඤ්ඤා පත්තු කරමින් සතුට පළ කළා. ආණ්ඩුව පැවසුවේ විපක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය දීම වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට විරුද්ධවීමක් බවයි.
මේ තත්වය යටතේ මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරම් හා ජීවන් තොණ්ඩමන් ආදීන්ට අයවැයට විරුද්ධ වීමට හැකියාවක් තිබුණේ නැති බවයි දැනගන්නට තිබෙන්නේ.
මේ අතර වතුකම්කරු වැටුප් වැඩි කිරීම සඳහා රජය මඟින් මුදල් ලබාදීම සමගි ජන බලවේගයේ දැඩි විරෝධයට හේතු වී තිබුණා. එම පක්ෂයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය මේ ගැන විගණකාධිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටපැමිණිලි කොට තිබුණේ වතුකම්කරු වැටුප් ගෙවීමට රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාදීම නීති විරෝධී බැවින්ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙසයි.
අයවැයට පක්ෂව ඡන්දය දුන් දෙමළ මන්ත්‍රීන් හතර දෙනාඡන්දය දීමෙන් වැළකී සිටීමට කලින් තීරණය කොට තිබූ බවත් එහෙත් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පැමිණිල්ල හේතුවෙන් අයවැයට පක්ෂව ඡන්දය දුන් බවත් දෙමළ ප්රගතිශීලී පෙරමුණේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
වතුකම්කරු වැටුප් සඳහා රජයේ මුදල් වැය කිරීම ගැන පළ කළ විරෝධය සමගි ජන බලවේගයට පාරාවළලක් වන ලකුණු පෙනී යාමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතා වතුකම්කරු වැටුප රුපියල් 200 කින් නොව රුපියල් 400 කින් වැඩිකළ යුතු බවට ප්‍රකාශ කොට තිබුණා.

රෝහිණී සජිත්ගෙ ලණුවක් කාළාලු
අයවැය විවාදයේ දී කතා කළ විදේශ කටයුතු හා සංචාරක ප්‍රවර්ධන ඇමති හේරත් මහතා වතුකම්කරැ වැටුප් වැඩි කිරීමට රජයේ මුදල් යෙදවීම ගැන රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පැමිණිලි කළේ පක්ෂ නායකයාගේ ලණුවක් කෑමෙන් බව ප්‍රකාශ කළා.
සමගි ජන සන්ධානය දෙදරලා?
කෙසේ වුව ද අයවැයේ දී සජබ කටයුතු කළ ආකාරය නිසා දෙමළ මන්ත්‍රීන් අයවැයට පක්ෂව ඡන්දය දීමෙන් සමගි ජන සන්ධානය දෙදරා ගොස් ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.
වසර ගණනාවක් ගතවී ඇතත් දිනෙන් දින කල් දමමින් පවතින පළාත් සභා මැතිවරණ පැවැත්වීම කඩිනම් කිරීමට විපක්ෂය දැඩි උත්සාහයකින් කටයුතු කරගෙන යනවා.
පළාත් සභා කතිර ගැහිල්ල කොට උඩ?
එහෙත් පසුගිය පළාත් පාලන මැතිවරණ හා සමූපකාර ඡන්දවලින් අපේක්ෂා කළ තරම් ජයක් නොලැබීම හේතුවෙන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණ නොපවත්වනු ඇති බවයි බොහෝ දේශපාලන නායකයින් පවසන්නේ.
ආණ්ඩුව මුලදි ප්‍රකාශ කළේ 2026 මුල් භාගයේ දී පලාත් සභා මැතිවරණ පැවැත්වීමට අදහස් කොට ඇති බවයි.
මේ අතර සෙනසුරාදා (15) පාර්ලිමේන්තුවේ දී සභානායක බිමල් රත්නායක මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්වය සමාලේචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සිදුකිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ප්‍රකාශ කළා.
ඇමතිවරයා මෙම ප්‍රකාශය කළේ අයවැය තුන්වැනි වර කියැවීමේ විවාදය ආරම්භ කිරීමට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි.
- ජගත් -

