උණුසුම් පුවත්කාලීනපරිසරය

වැස්ස වැඩියි – ගංවතුර බිය?

ගංවතුරෙන් මරණ 19 ක්

මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අධික වැසි සහ නායයෑම් සහිත අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 12 කට ගංවතුර තත්වය උග්‍රවී තිබේ.

නොවැම්බර් 30 දා දක්වා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 150 කට වැඩි තද වැසි, සුළං හා අකුණු ඇති විය හැකි අතර ප්‍රදේශ ගණනාවකට ක්ෂණික ගංවතුර තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 12 කට නායයෑමේ අවදානමක් සහ තවත් දිස්ත්‍රික්ක 12 කට ආපදා තත්වයක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිරිතදිග බෙංගාල බොක්ක සහ ශ්‍රී ලංකාව ආශ්‍රිත පහල වායුගෝලයේ පැවති කැළඹිලි තත්වය, අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වීමෙන්, මෙම තත්වය උද්ගතවී ඇතැ යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සතියක පමන කාලයක සිට ශ්‍රී ලංකාවට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන්, මේ වන විට මරණ 10 ක් සිදුවී, තවත් 7 කු තුවාල ලබා ඇතැ යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදන කළේ ය.

අධික වර්ෂාව සමඟ ප්‍රදේශ කිහිපයක ඇති වූ ගංවතුර හේතුවෙන්, දිස්ත්‍රික්ක රැසක වැව් පිටාර ගැලීම නිසා ඒවායේ වාන්දොරටු විවෘත කොට ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින ආපදා තත්වය හේතුවෙන් පවුල් 737 කට අයත් පුද්ගලයින් 2617 කු පීඩාවට පත්වී ඇතැ යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ ය.

මේ වන විට පවුල් 19 කට අයත් පුද්ගලයින් 67 ක් ආරක්ෂිත ස්තානවල රඳවා ඇති බව ද ඔහු පැවසී ය.