උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

විදුලි බිල උඩ යවන්න වෙනවා – ජනපති

ජගත් ගේ සතියේ සටහන  -  67

 

 

මැයි 06 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ අවසන් වුණා. පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු වේගවත් වුණේ පසුගිය සති දෙක තුළ යි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර යන මහත්වරුන් හා එම පක්ෂවල සෙසු ප්‍රධාන නායකයින් ඡන්ද රැස්වීම්වලට සහභාගි වීමත් එක්කයි.

මෙම රැස්වීම්වල දී එම පක්ෂවල නායකයින් කළ සමහර කතා බොහෝ දෙනා ගේ විමතියට ද හේතුවී තිබුණා.

සමගි ජන බලවේගයේ නායකයකු වන කබීර් හෂීම් මන්ත්‍රීවරයා එම පක්ෂයේ ප්‍රචාරක රැස්වීමක දී පවසා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා ලබන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන බව යි.
මේ අතර එක්සත් ජාතික පක්ෂය් නායකයකු වන දොස්තර රාජිත සේනාරත්න මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති වන බවප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර බේවර්ධන මහතා ගාල්ලේ පැවති ඡන්ද රැස්වීමක දී රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ අප්‍රේල් වන විට ජනාධිපති ධූරයට පත්වීම ස්ථිර වශයෙන් ම සිදුවනු ඇතැ යි පවසා තිබුණා.
ඔවුන් ගේ මෙම ප්‍රකාශ ජාතික ජන බලවේග ආණ්ඩුවේ අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් ගණනාවක් විසින් සමච්චලයට හා උපහාසයට ලක් කරමින් අදහස් දැක්වූවා.

විපක්ෂයේ නායකයින්ගේ මෙම ප්‍රකාශ ගැන විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ වර්තමාන ආණ්ඩුවට රටේ ආර්ථික ප්‍රශ්න විසඳා ගත නොහැකි වීමෙන් රට අර්බුදයක් කරා ගමන් ගන්නා බවත් ඒ අනුව රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධව නැඟී සිට ආන්ඩු බලයේ වෙනසක් කිරීමට අරගලයක් සිදු කරනු ඇති බව යි. එවිට රටේ පාලනය ගෙනයෑමට පළපුරුදු නායකයකු අවශ්‍ය බැවින් එම අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇති බවයි රාජිත සේනාරත්න හා වජිර අබේවර්ධන මහත්වරුන්

 ගේ අදහස වී තිබෙන්නේ. කබීර් හෂීම් මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වනු ඇතැ යි පවසා තිබුණේ ද මේ අරමුණෙන්.

එහෙත් ආණ්ඩුව පවසන්නේ යළිත් මේ රටේ අරගලයක් ඇති නොවන අතර පාර්ලිමේන්තුවේ 159 ක බහුතරයක් තිබෙන බැවින් කිසිසේත් ම ජනාධිපති ධූරයේ හෝ ආණ්ඩුවේ වෙනසක් සිදු නොවනු ඇති බව යි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කොට ඇති නව තීරුබදු යටතේ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට යවන ඇඟළුම් ඇතුළු අපනයන භාණ්ඩ සඳහා 44% තීරුබද්දක් ගෙවීමට සිදුවීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ 4 වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 344 ක මුදල ලැබීමට තවත් මාස කිහිපයක් කල්යෑම,  හා විදුලි ගාස්තු ඉහළ දමන ලෙසට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තරයේ කියා සිටීම ආදිය නිසා මේ අවුරුද්දේ ඉදිරි මාස කිහිපය ශ්‍රී ලංකාවට විශාල අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් විදුලි ගාස්තු ඉහළ දැමීය යුතුව ඇතැ යි ජාත්‍යන්තර මුද්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා තදින් ම පවසා තිබුණා.

විදුලි බිල උඩ යනවා - ජනපති

දැනට පවතින විදුලි ගාස්තුව ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය උත්පාදනය කිරීම සඳහා වැය වන මුදල ආවරණය නොවන බව ද ඔහු සඳහන් කොට තිබුණා. ආණ්ඩුව විදුලි ගාස්තු වැඩි කරන තුරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන 4 වැනි ණය වාරිකය ප්‍රමාද කරනු ඇති බව යි දැනගන්නට තිබෙන්නේ.

ලංකා විදුලි බල මණ්ඩලය ජූලි මාසයේ සිට විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමටමූලික සාකච්ඡාවක් පවත්වා  ඇති නමුත් මහජන උපයෝගිතා කොමිසම පවසා ඇත්තේ විදුලිය නිපදවීමට යන පිරිවැය අඩු කළ හොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට අවශ්‍යතාවයක් නොමැති බව යි.

එහෙත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනවා මැයි මස 15 දාට පෙර මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කරන බව පවසනවා.

මේ තත්වය යටතේ ආණ්ඩුව පත්වී ඇත්තේ අසීරු තත්වයකට යි.

IMF  බත් මුහුණයි - කැඳ මුහුණ යි

මේ අතර පසුගිය සිකුරාදා රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුනි මස 1 වැනිදා සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට යන බව ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව පිරිවැය පිළිබිඹු කෙරෙන විදුලි මිල තීරණයක් කිරීමට සිදුවී තිබෙන බව ද ඔහු කියා සිටියා. 

''ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 220 ක ණය බරක් තිබෙනවා. මේ ණයෙන් කොටසක් හෝ අඩුකර ගත හැකි වන්නේ විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පමණයි. එසේ වුවද මෙවර විදුලි ගාස්තු වැඩි කරන්නේ 2024 වර්ෂයේ වැඩි කළ ගාස්තු අනුපාතයට වඩා අඩු අනුපාතයකින්" යැයි ද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළා.

GSP+

GSP+

මේ අතර යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබෙන GSP+ තීරුබදු සහනය ඉදිරි වර්ෂය සඳහාත් ලබා ගැනීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වී තිබෙනවා.

එම සහනය ලබාදීම පිළිබඳව සොයා බැලීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් මැයි මස 8 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් රජයේ ප්‍රධානීන්, ඉහළ නිලධාරීන්, දේශපාලන පක්ෂ නායකයින් ආදීන් හමුවීමට නියමිත යි.

යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා ගේ නායකත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හමුවුණා. ශ්‍රීලංකාව මානව හිමිකම් සුරැකීම ආදි ජාත්‍යන්තර සම්මුතින් 27 ක් ක්‍රියත්මක කොට ඇති බව ජනාධිපතිවරයා ඔවුන්ට පවසා තිබෙනවා.

එහෙත් ආණුඩුව පසුගිය මැතිවරණයේ දී පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට මෙතෙක් පියවර නොගැනීම පිළිබඳව කණස්සල් පළකොට ඇති බව ද වාර්තා වෙනවා.

මේ ගැන විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා පවසා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා කමිටුවක් ද පත්කොට ඇති බවයි. එම කමිටුවේ වාර්තාව මාස 3කින් ලැබෙන අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද විදේශ ඇමතිවරයා පවසා තිබුණා.

තවද ආණ්ඩුව දූෂණ වංචා වැළැක්වීම සඳහා දූෂණ විරෝධී පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කොට ඇති අතර රාජ්‍ය දේපොළ අවභාවිතය වැළැක්වීමට කටයුතු යොදා ඇති බව ද හේරත් මහතා එම නියෝජිත පිරිසට පෙන්වා දී තිබෙනවා.

මේ තත්වය අනුව GSP+ තීරුබදු සහනය ඉදිරි වසර සඳහා ද ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැ යි ආණ්ඩුව පවසනවා.

මැයි 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය එදින රාත්‍රී 11 වන විට නිකුත් කල හැකි වනු ඇතැ යි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඊයේ (3) ප්‍රකාශ කළා.

හය වැනිදා පෙරවරු 7. 00 සිට පස්වරු 4. 00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන අතර මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 71000 කට වැඩි පිරිසක් ඉදිරිපත් වී සිටිනවා. පළාත් පාලන ආයතන 339 ක් සඳහා ඡන්ද කොට්ඨාස 4872  කින් සභිකයින් තෝරා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියා.

මෙම මැතිවරණ ඡන්ද ගණන් කිරීම, ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසු පස්වරු 4 සිට එම මධ්‍යස්ථානවල දී ම සිදු කෙරෙනවා.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව සභිකයින් පත්වන්නේ ක්‍රම දෙකක් අනුවයි. ඡන්ද කොට්ඨාසයෙන් වැඩිම ඡන්ද ලබන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයා තේරී පත්වන අතර පක්ෂයට ලැබෙන මුළු ඡන්ද ප්‍රමාණය අනුව සමානුපාතික ලැයිස්තුවෙන් ද සභිකයින් පත් කෙරෙනවා.

මැතිවරණයට නාමයෝජනා භාරදෙන විට පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් හෝ නාමයෝජනා භාරදෙන අවස්ථාවේ කොට්ඨාස ලැයිස්තුව හා සමානුපාතික ලැයිස්තුව ලෙස ලැයිස්තු දෙකක් බාරදෙනු ලබනවා. සමානුපාතික ලැයිස්තුවෙන් පක්ෂයට ලැබෙන සභිකයින් සංඛ්‍යාව අනුව පක්ෂයේ මහ ලේකම් හෝ ස්වාධීන කන්ඩායම් නායකයා විසින් හෝ සභිකයින් නම් කරනවා. කොට්ඨාසයට තරග කොට පරාජය වූ අපේක්ෂකයින් ද අවශ්‍ය නම් සමානුපාතික ලැයිස්තුවෙන් සභික ධූර ලාබා ගැනීම සඳහා පරාජිත අපේක්ෂකයින් අතර පොරයක් ද හට ගැනීමට ඉඩ තිබෙනවා.

මෙවැනි ගැටුම් වැළැක්වීම සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහත්වරුන් සමඟ සාකච්ඡා කොට ක්‍රමයක් සකස් කොට තිබෙනවා. ඒ අනුව මෙම සභික තනතුරු ලබා දෙන්නේ පක්ෂයට හා මැතිවරණයට කැපවී උනන්දුවෙන් කටයුතු කල අයට බවයි එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ.

²²² ²²² ²²²² ²²²

තලවාකැලේ මැයි රැලිය සජිත් අවුල් කළා?

මේ අතර සමගි ජන බලවේගය විසින්  ‌ෙදමළ ප්‍රගතිශීලී සන්ධානයේ ද සහාය ඇතිව තලවාකැලේ පැවැත් වූ මැයි දින රැලියේ ප්‍රධාන කථිකයා සේ සහභාගි වූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව කලින් අවසන් කොට රැස්වීමෙන් ඉවත්ව යෑම නිසා එයට සහභාගි ව සිටී වතු කම්කරු ජනයා ද රැස්වීම අවසන් යැ යි සිතා පිටවී යෑම හේතුවෙන් මැයි රැලිය කඩාකප්පල්වී ගියා.

ඔහුට පසුව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද කතා කිරීමට නියමිතව සිටියා. එහෙත් සෙනඟ නැති බැවින් ඔවුන්ට කතා කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ.

සජිත් ප්‍රේමදාස මහතා තලවාකැලේ මැයි රැලියට පැමිණ තිබුණේ හෙලිකොප්ටරයකින්. එදින හැන්දෑවේ රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැත්වීමට කටයුතු යොදු තිබු සාකච්ඡාවකට සහභාගි වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කලින් පිටත්ව ගිය බවයි දැනගන්නට තිබෙන්නේ. අඳුරු වැටුණු පසු හෙලිකොප්ටරයට ගමන් කිරීම අපහසු නිසා ඔහුට කලින් යෑමට සිදුවූ බවත් පැවසෙනවා.

එසේ වුව ද සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ආනන්ද පාලිත මහතා පසුදා මාධ්‍ය හමුවක් පවත්වා සජිත් ප්‍රේමදාස මහතා මැයි රැලියෙන් කලින් පිටව යෑම තරයේ විවේචනය කොට තිබුණා.

  - ජගත්  -