උණුසුම් පුවත්කාලීනදේශපාලන

විපක්ෂය කොට උඩ

ජගත් ගේ සතියේ සටහන - 38

 

නොවැම්බර් 14 දා පැවැක්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම පෙරේදා ආරම්භ වුණා. එය ලබන 11 දා දහවල් 12 ට අවසන් වෙනවා.

විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂ මෙම මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසයි.

මහ මැතිවරණයට තරග කිරීමේ අරමුණීන් විවිධ සන්ධාන ගොඩානැඟීම හා නොයෙක් සලකුණු විලින් තරග කිරීම පිළිබඳව විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡා පැවැත්වෙනවා. එහෙත් මේ වන තෙක් ඒවායේ කෙළවරක් පෙනෙන්නට නැහැ. මැතිවරණයට ඉදිරිපත් වන සන්ධානය හෝ ලකුණ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීමට මෙතෙක් නොහැකිවීමෙන් පක්ෂ ගණනාවක් ම අසීරු තත්ත්වයකට පත්ව සිටින්නේ නාමයෝජනා භාර ගැනීම අවසන් වීමට තවත් ඇත්තේ දින පහක් පමණක් වීම හේතුවෙන්.

එහෙත් ජාතික ජන බලවේගයට නාමයෝජනා ගැන කිසිදු ගැටලුවක් නැහැ. ඔවුන් සති ගණනාවකට පෙර එම පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු දිස්ත්‍රික් මට්ටමින් සකස් කොට තිබූ බව එහි ප්‍රධාන නිලධාරියෙක් ප්‍රකාශ කළා.

ව්‍යාපාරික ප්‍රජාවගේ සහ සමගි ජන බලවේගයේ පසුපෙළ මන්ත්‍රීන් හා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ වැඩි දෙනකුගේ පෙරැත්තය මත පක්ෂ දෙක එකතු වී සන්ධානයක් ලෙස මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා කිහිපයක් ම පවත්වා තිබුණා.

සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා සජිත් ප්‍රේමදාස මහතා ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ කොන්දේසි කිහිපයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සානච්ඡාවලට පැමිණි රුවන් විජේවර්ධන මහතා සම තලතා අතුකෝරළ මහත්මිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සාකච්ඡා බිඳ වැටුණු බව වාර්තා වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රැව්න විජයවර්ධන මහතාට ලබාදීම, පිහිටුවනු ලබන සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම, මැතිවරණය ටැලිපෝනය ලකුණෙන් තරග කිරීම යන කොන්දේසි සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නමුත් එක්සත් ජාතික පක්ෂය ඒවාට එකඟ නොවීම නිසා පක්ෂ දෙක දැන් වෙන වෙනම තරග කිරීමට තීරණය කොට තිබෙනවා.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත සිදු නොකළත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධායකයන් සමගි ජන බලවේගයට බඳවා ගන්නා බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ උප සභාපති අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු මෙවර මැතිවණයට තරග නොකිරීමට තීරණය කොට ඇති බව ද සිරිකොත ආරංචි මාරග් පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කළ 'ගෑස් සිලින්ඩරය' ලකුණ යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා ගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (නිමල් සිරිපාල පිල) නිමල් ලංසා හා අනුර ප්‍රියර්ශන යාපා මහතා ගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය එක් වී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස සංවිධානය වී මැතිවරණයට තරග කිරීමට තීරණය කොට තිබෙනවා.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ඩලස් අලහප්පෙරුම ගේ 'නිදහස ජනතා සභාව හා දයාසිරි ජයසේකර මහතා සමඟ එක්වී සමගි ජන සංධානය වශයෙන් තරග කිරීමට කටයුතු කරගෙන යනවා. සමගි ජන සන්ධානයේ අපේක්ෂකයින් පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවත් ඔක්තෝම්බර් 8 සහ 9 යන දිනවල නාමයෝජනා ලැයිස්තු සකස් කොට 10 සහ 11 යන දිනවල ඒවා භාර දීමට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවා.

දේශපාලනයට පිවිස මාස කිහිපයකින් ජනාධිපතිවරණයට තරග කොට ඡන්ද 122396 ක් ලබාගත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී ඇති චරිතයක් බවට පත්වී සිටිනවා.

මව්බිම ජනතා පක්ෂය සර්වජන බලය වශයෙන් මහ මැතිවරණයට තරග කරනු ලබන්නේ 'පදක්කම' ලකුණෙන්. පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් ම මැතිවරණයට තරග කිරීම සඳහා මව්බිම ජනතා පක්ෂයට එක්වීමට පැමිණ ඇතත් එම පක්ෂය ඒ සියලු දෙනා ම බඳවා ගෙන නැහැ. අධිකරණය හමුවේ නඩු තිබෙන, දූෂණ චෝදනා එල්ල වී ඇති අය තම පක්ෂයට බඳවා නෙගන්නා බව දිලිත් ජයවීර මහතා පවසනවා. එසේ වූවත් පසුගිය දා පැවති ජනාධිපතිවරණයට තරග කළ රොෂාන් රණසිංහ මහතාට මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරය පිරිනමා ඇති අතර පොදුජන පෙරමුණෙන් ඉවත් වී පැමිණි මහාචාර්ය චන්න ජයසුමන මහතා පක්ෂයේ උප සභාපති ලෙස ද, හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස ද, කෑගල්ල දිස්ත්‍රික් ආසන සංවිධායක වරිය ලෙස රාජිනී වික්‍රමසිංහ මහත්මිය ද පත් කොට තිබෙනවා. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ  පුත් දහම් සිරිසේන මහතා ද ඉකුත් සතියේ මව්බිම ජනතා පක්ෂයට එක් වූ අතර ඔහුට පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක තනතුරක් ලබා දී තිබුණා.

තරුණයින්ට අවස්ථාව ලබාදීම සඳහා බව පවසමින් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැති බව දැන ගන්නට තිබෙනවා.

පසුගිය 21 වැනි දා පැවති ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක 15 ක් ජය ගත්තා. පොදුජන පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ ඡන්ද බල කොටු ලෙස පැවති බොහෝ දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය ලැබුවේ වැඩි ඡන්ද දස දහස් ගණනකින්. මේ නිසා එම දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස නියෝජනය කළ හිටපු මැති ඇමතිවරුරාශියක් මෙවර මැතිවරණයට තරග නොකිරීමට තීරණය කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.

මහින්ද යාපා හා චමල් රාජපක්ෂ හිටපු කථානායකවරුන් දෙන්නාද මෙදා පොරපිටියට නැතිලු

හිටපු ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් වන කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජෝන් සෙනෙවිරත්න, ආචාර්ය විජයදාස රාජපක්ෂ, සිසිර ජයකොඩි, විමලවීර දිසානායක, ඇස්. බී. දිසානායක, ගුණපාල රත්නසේකර, ඒ. එච්. එම්. ෆවුසි, ගාමිණිලොකුගේ හා චමල් රාජපක්ෂ යන මහත්වරුන් මෙවර මැතිවරණයට තරග නොකරන බව ප්‍රකාශ කොට තිබුණා. වයස්ගත වීම හා සෞඛ්‍ය හේතුන් මත වාසුදේව නානායක්කර හා සී. වී. විග්නේශ්වරන් යන හිටපු මන්ත්‍රීවරුන් ද මෙවර තරග කරන්නේ නැහැ.

දිස්ත්‍රික්කයෙන් ම කුජීත වූ නාමල් ඉල්ලන්නේ නැතැයි ලු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කොට ඇතැ යි නෙළුම් මාවත පක්ෂ කාර්යාලයෙන් වාර්තා වෙනවා.

තමන් රට පුරා යමින් පොදුජන පෙරමුණේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන බැවින් තරග නොකරන බව ඔහු පවසා තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ගේ ඡන්ද බල කොටුවක්ව පැවති හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඔහුට ලැබුණේ අන්ත පරාජයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, මුල්ගිරිගල හා තංගල්ල ආසනවල ඡන්ද ප්‍රතිඵල අනුව ඔහු එම ආසනවල ඔහු සිව් වැනියා වූ  අතර තිස්සමහාරාම ආසනයෙන් පමණක් තුන් වැනියා වී තිබෙනවා. එම දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට තරග කළොත් ඔහුට ජය ගැනීමට ඇති ඉඩකඩ අවම බව දේශපාලන නිරීක්ෂකයින් පවසනවා.

හිරුණිකාට තදබල කැපිල්ලක් -  බලවන්තියක ගේ උදහසට ලු

මේ අතර ඒ ඒ දිස්ත්‍රික්ක වලට අපේක්ෂකයින් තේරීමේ දී සමගි ජන බලවේගයට අර්බුද රැසකට මුහුණ දීමට සිදුවී තිබෙන බව ද දැනගන්නට තිබෙනවා.  

පසුගිය දා පැවති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට උතුරු හා නැගෙනහිර පළාත්වලින් ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා. එහෙත් එම පළාත්වලට සමගි ජන බල සන්ධානයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයින් සොයා ගැනීම ප්‍රශ්නයක් ව ඇතැ යි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

සමගි ජන බලවේගයේ කාන්තා නායිකාවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජනාධිපතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීම වැළැක්වීමට එම පක්ෂයේ ම පිරිසක් කටයුතු කරගෙන යන බව ද යන බව ද දැනගන්නට තිබෙනවා. ඒ ඇය සමගි ජන බලවේගයේ නායකයකුගේ භාර්යාවගේ උදහසට ලක්වී ඇති නිසා බව යි පැවසෙන්නේ.

එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නාමයෝජනා ලබා නොදුණහොත් ප්‍රශ්නයක් වන බැවින්, හිටපු ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා ගේ භාර්යාව වන අප්සාරී තිලකරත්න මහත්මිය එම පක්ෂයේ බටහිර කොළඹ ආසන සංවිධායකවරිය ලෙස පත්කො‌ෙ ඇයට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීමට යන බව ද සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. අප්සාරිට තැන දී හිරුණිකා පරාජය කිරීමට මෙයින් හැකිවනු ඇතැ යි පක්ෂයේ පිරිසක් සාකච්ඡා කොට ඇති බව ද පැවසෙනවා.

හර්ෂටත්, එරාන්ටත් කැපිලි - මඩ ගහන්නත් පටන් අරන්

මේ අතර සමගි ජන බලවේගයේ ආර්ථිත විශේෂඥයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් දෙදෙනා මැතිවරණයේ දී පරාජය කිරීමට එම පක්ෂයේ ම පිරිසක් කටයුතු කරගෙන යන බව ද දැන ගන්නට තිබෙනවා. මේ සඳහා ඔවුන්ට පක්ෂයට සම්බන්ධ මාධ්‍ය මඟින් පහර ගැසීමට ද පටන් ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සබඳතා පැවැත්වීම හා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා කතා කිරීම බව ද සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසනවා.

මැතිවරණයට සූදානම් විම සඳහා කල්වේලා මදිවීම, ඡන්ද කටයුතු සඳහා මුදල් සොයා ගැනීමේ අපහසුව, දේශපාලනය ගැන කලකිරීම, තරග කිරීම සඳහා සුදුසු පක්ෂයක් තෝරා ගත නොහැකිවීමයන කරුණු මත මෙවර මැතිවරණයට හිටපු මැති ඇමතිවරුන් හා ආසන සංවිධායකයින් රාශියක් තරග නොකිරීමට තීරණය කොට තිබෙනවා.

මැතිවරණයට තරග කරන්නේ නම් ඡන්ද ව්‍යාපාරය සඳහා එක් අපේක්ෂකයකුට රුපියල් කෝටි තුනක වැනි මුදලක් අවශ්‍ය වෙනවා. වෙන වතාවල  මැතිවරණවල දී ව්‍යාපාරිකයින්, කර්මාන්ත හිමියන් ආදී ධනවතුන් එම අපේක්ෂකයින්ට මුදලින් ආධාර කළා. ඒ එම අපේක්ෂකයින් ගේ පක්ෂයට ආණ්ඩු බලය ලැබෙනු ඇතැ යි යන විශ්වාසයෙන්. එවිට එම අපේක්ෂකයා මැතිවරණයෙන් ජයගත් විට ඔහු මඟින් තමන් වැය කළ මුදල මෙන් කිහිප ගුණයක් මුදල් උපයා ගැනීමට ව්‍යාපාරිකයින්ට ටෙන්ඩර් හා කොන්ත්‍රාත් ලැබෙනවා.

නමුත් විපක්ෂයේ අපේක්ෂකයින්ට එසේ ආධාර කිරීමට ව්‍යාපාරිකයින් ඉදිරිපත් නොවන්නේ ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන නිසා බව හිටපු මන්ත්‍රීවරයකු අප සමඟ ප්‍රකාශ කළා.

මේ අතර අධිකරණයේ නඩු විභාග පවතින දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු මැති ඇමතිවරුන්ට මෙවර මැතිවරණයට නාමයෝජනා ලබාදීම සමගි ජන බලවේගය හා මව්බිම ජනතා පක්ෂය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව ද දැන ගන්නට තිබෙනවා.

කෙසේ වුවද විපක්ෂයේ පක්ෂ බෙදී තරග කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට රටේ විශාල බලයක් හිමි වී තිබීම ජනාධිපතිවරයාට රට කරගෙන යාම සඳහා ආණ්ඩුවක් පිහිටිවීමට සහාය දිය යුතු යැයි බොහෝ ඡන්දදායකයින් කල්පනා කිරීම ආදි හේතූන් නිසා මෙවර මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට මන්ත්‍රීධූර 125 ක් පමණ ලැබෙනු ඇතැ යි දේශපාලන විචාරකයින් අනාවැකි පළ කරනවා.

  -  ජගත් -