ජගත් ගේ සතියේ සටහන - 103

පසුගිය දා පැවති පළාත් පාලන මැතිවරණයෙන් සාර්ථක ජයක් අත්කර ගෙන සිටින විපක්ෂයේ මීළඟ බලාපොරොත්තුව වී තිබෙන්නේ පළාත් සභා මැතිවරණය යි.
වසර දහයකට ආසන්න කාලයකට අක්‍රිය වී ඇති පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන බවට ආණ්ඩුව මුල දී කළ ප්‍රකාශයක් හේතුවෙන් විපක්ෂයේ පක්ෂ දැන් ඒ සඳහා සූදානම් වෙමින් සිටිනවා.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නලීන් බණ්ඩාර වැනි කිහිප දෙනකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයට ගොස් ජයගෙන එම පළාත්වල මහ ඇමතිවීමේ අපේක්ෂාවෙන් පසුවෙන බව පසුගිය දිනවල ඔවුන් කළ ප්‍රකාශවලින් පෙනී යනවා.
එහෙත් දේශපාලන නිරීක්ෂකයින් පවසන්නේ මේවන විට ආණ්ඩුවට තිබෙන ප්‍රසාදය අඩුවී තිබෙන බැවින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමක් කිසිසේත් ම නොවනු ඇති බව යි.
පළාත් සභා මැතිවරණ වලදී මන්ත්‍රීන් තෝරා ගනු ලැබුවේ දිස්ත්‍රික් අනුපාත ඡන්ද ක්‍රමය අනුව යි. එහෙත් 2015 යහපාලන ආණ්ඩුව එම මැතිවරණ ක්‍රමය ඡන්ද කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීන් තෝරාගන්නා ක්‍රමයකට වෙනස් කළේ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමෙනි.
කොට්ඨාස ක්‍රමයට පළාත් සභා මන්ත්‍රීන් පත් කර ගැනීම සඳහා ඡන්ද කොට්ඨාස අලුතින් සකස් කිරීම පිණිස ආණ්ඩුව සීමා නීර්ණ කමිටුවක් ද පත් කළා. එහෙත් එම කමිටුව මඟින් නීර්ණය කළ ඡන්ද කොට්ඨාසවල ජනපදනම නියෝජනය නොවීම ආදි හේතුන් නිසා එයට දැඩි විරෝධයක් එල්ල වුණා. මේනිසා පළාත් සභා මැතිවරණ පැවැත්වීම දිනෙන් දින කල් දැමීමට එවකට පැවති ආණ්ඩුවලට සිදු වුණා.
අන්තිමේ දී විපක්ෂය යෝජනා කළේ පළාත් සභා කලින් තිබු දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට පවත්වන ලෙස යි. එහෙත් ආණ්ඩුව එයට කැමැත්තක් දක්වන්නේ නැහැ.
මේ නිසා පළාත් සභා මැතිවරණ පැවැත්වීම දිස්ත්‍රික් අනුපාත ඡන්ද ක්‍රමයට සිදු කරන්නේ නම් ඒ සඳහා පළාත් සභා ඡන්ද ක්‍රමය නැවත සංශෝධනය කළ යුතු වෙනවා.
පළාත් සභා ඡන්දෙ ගැන තේරීම් කාරක සභාවක්?
විපක්ෂය පවසන්නේ දැනට තිබෙන පළාත් සභා පනත සංශෝධන කොට කලින් තිබු අන්දමට දිස්ත්‍රික් අනුපාත ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක නරන්නේ නම් එයට විපක්ෂයේ සම්පූර්ණ සහාය ලැබෙන බවයි.
කලින් පැවති ආණ්ඩුව ජනතා විරෝධය සළකා බලා අනුපාත ඡන්ද ක්‍රමය අහෝසි කරැති බැවින් නැවත එම ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදහසක් නැති බව රජය පවසනවා.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සුදුසු පනතක් සහ ඡන්ද ක්‍රමයක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව ද ආණ්ඩුව ප්‍රකාශ කරනවා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා ඉකුත් සතියේ පෑවසුවේ පළාත් සභා ක්‍රමය ඇතුළත් වන්නේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධයේ බැවින් එම මැතිවරණ ක්‍රමය ඇතුළු සම්පූර්න ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව ම සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවයි.
''පාර්ලිමේන්තු තේරීම් සභාවකට මාසයකින් හෝ දෙකකින් තොරතුරු පරීක්ෂා කොට නීති සම්පාදනය කරන්ට බැහැ. මෙය දීර්ඝ ක්‍රියාවලියක්. සමහර විට අවුරුදු දෙක තුනකට වැඩි කාලයකටත් වඩා කල්ගත වෙන වැඩක්"
''ඒ නිසා ආණ්ඩුව මේ තේරීම් කාරක සභාව පත් කරන්නට යන්නේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට යැයි" අප කළ විමසීමක දී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියා සිටියා.
පළාත් සභා මැතිවරණය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ විට එහි වාර්තාව නිකුත් වෙන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම නීතියෙන් ම අත්හිටවෙනු ඇති අතර එනිසා 2029 වන තුරු පළාත් සභා දැන් පවතින අයුරින් ම ආණ්ඩුකාරවරුන් ගේ පාලනය යටතේ පවතිනු ඇති බවයි දේශපාලන විචාරකයින් කියන්නේ.
මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේත්, සමගි ජන බලවේගයේත් මන්ත්‍රීවරුන් හා ක්රීයාකාරිකයින් මහත් උනන්දුවෙන් බලා සිටින්නේ පක්ෂ දෙකේ එකතුවීම ගැන යි.
පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන, නවීන් දිසානායක හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ටාජ් සමුද්‍රා හෝටලයේ 'කළම්ඹු ක්ලබ්' හි දී හමුවී සාකච්ඡා කල අතර තවත් එක්සත් ජාතික පක්ෂයේ තවත් නායකයකු වන සාගල රත්නායක මහතා ද පසුදිනෙක සජිත් හමුවී තිබුණා.
මෙම හමුවීම දෙපක්ෂයේ ම පාක්ෂිකයින් ගේ අමන්දානන්දයට හේතුවී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මෙම සාකච්ඡාවල ප්‍රතිඵල පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම් දීමෙන් පසු ඉදිරි සාකච්ඡා සඳහා පක්ෂ දෙක එක්වී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සකස් කොට තිබුණා. සාකච්ඡා වලට හිස් අතින් යන්නේ නැතිව මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කොට සාකච්ඡා කරන්නැ යි ද රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට පවසා තියෙනවා.
අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් එම ක්‍රියාකාරී සැලැස්මකට අනුමැතිය ලබා දුන්නා.
යෝජනා හයකින් යුත් එම ක්‍රියාකාරී සැලැස්ම මෙසේ ය.
-
මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල පළාත් පාලන නියෝජිතයින්ගේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා දෙපාර්ශ්වයේ ම සාමාජිකයින්ගෙන් සමන්විත 'ඒකාබද්ධ ජාතික ක්‍රියාකාරී කමිටුවක්" පත් කිරීම.
-
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී කමිටු අතර ඒකාබද්ධ වැඩ සටහන් 3 ක් ආරම්භ කිරීම සඳහා කමිටුවක් පත් කිරීම.
-
නව තත්වය එම පක්ෂවලට පැහැදිලි කර වැඩිදුර සාකච්ඡා සඳහා පක්ෂ දෙකේ ම නායකයින්ගේ අනුමැතිය ඇතිව තවත් කමිටුවක් පත් කිරීම.
-
මූලික වැඩ සටහනපිළිබඳව එකතාවයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර රැස්වීමක් පැවැත්වීම.
-
පක්ෂ නායකයන් දෙදෙනා අතර රැස්වීමෙන් දෙපාර්ශ්වයේ ම ක්‍රියාකාරි කමිටු සාමුහිකව රැස්වීම.
-
ඔවුන් සමගි ජන බලවේගය සමඟ එකඟතාවයෙන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධානගතව සිටින හෝ ගිවිසුම්ගතව හෝ සිටින පක්ෂ ඇතුළුව සියලුම පාර්ශ්වකරුවන්ට දැනුම් දීම
එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම පිළිබඳවත් එජාපයේ නවීන්, අකිල හා රුවන් සමඟ පැවති සාකච්ඡා ගැන සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා ''මම එක්සත් ජාතික පක්සය සමඟ සාකච්ඡා කරගෙන යනවා. සුබදායක තත්වයක් තියෙනවා කියන බව මට කියන්න පුළුවන්. පක්ෂ දෙකට ම හොඳ විදියට තීන්දුවකට එන්න පුළුවන් වේවි. මට මේ සාකච්ඡා දිගට ම කරගෙන යාමට මට අවසර දෙන්න. ඒ වගේ ම මේ ගැන අනිත් අය විවිධ ප්‍රකාශ කරන්න එපා. එතකොට අපට මේ සාකච්ඡා කරගෙන යන්න බැරි වෙනවා කියලා. ඒ ඇති'' යනුවෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිතයින්ට පැවසුවා.
ඉන්පසු පක්ෂ දෙක එකතුවීම ගැන කිසිවක් සාකච්ඡා කොට නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සජබයට යැවූ යෝජනා ඇතුළත් ක්‍රියාකාරී සැලැස්ම එහිදී සාකච්ඡා වී දැයි රනිල් වික්‍රමසිංහ මහතා විමසා සිටි අතර ඔහු සජබයේ සිටින තමන්ට හිතවත් මන්ත්‍රීවරුන්ගෙන් විමසූ විට ඔවුන් පවසා තිබුණේ ඉහත දැක්වුණු ප්‍රකාශය යි.
එජාප ලියැවිල්ල ගැන සජිත් වගේ වගකත් නෑ වගේ
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එජප ලියැවිල්ල ගැන කිසිදු තීරණයක් ගෙන නැති බව ආරංචි වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ''අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කරලා රුවන් අතේ මේ ලියැවිල්ල නොපමාව යැව්වා. අපි එක්ක තතා කරද්දි සජබය මුලින් කිව්වේ යෝජනා එවන්න කියලා. ඒ අනුවයි මේ යෝජනා යැව්වේ. අපේ ලියැවිල්ලේ යෝජනා ක්‍රියාත්මක කරනවා ද, සංශෝධනය කරන්න ඕනැද කියලා අපට දැනුම් දෙන්න තිබුණා නේ. අපේ යෝජනාවලට කිසිම පිළිතුරක් එවනත් නැහැ" යනුවෙන් අසල සිටි සිය හිතවතුන්ට පැවසූ බවයි වාර්තා වෙන්නේ.
සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ යෝජනා, පක්ෂයට ඉදිරිපත් නොකොට, තනි මතයට කටයුතු කරන්නට යෑම පක්ෂ දෙකේ සමගිය පතන දජබ නායකයින්ගේ
නොසතුටට හේතු වී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.
සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයට තරුණ ජවය!

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට, සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ, ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ, රත්මලාන සංවිධායක වෛද්‍ය චමිල් සංජීව, තෙල්දෙණියේ සංවිධායක මහේෂ් සේනානායක හා විදුලිය සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සංජීව ධම්මක යන මහත්වරුන් පත්කොට තිබෙනවා.
පසුගිය සිකුරාදා (16) ඔවුන්ට පත්වීමේ ලිපි ප්රදානය කරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ පක්ෂය තුළ තරුණ නායකත්වයට වැඩි ඉඩක් ලබාදීම සඳහා මොවුන් පත්කළ බවයි.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
විශ්වාස භංගය වෙනුවට විවාදයක්!
මේ අතර සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආ අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය මෙනෙවියට විරුද්ධව කතානායක වරයා වෙත බාරදීම සඳහා අත්සන් එකතු කළ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් නොකිරීමට ඔවුන් තීරණය කොට ඇතැ යි වාර්තා වෙනවා.
