ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර
ආණ්ඩුවක් කියන්නේ ජනතාව ඡන්දයක් දීලා පත්කර ගන්නා පාලනයක්. පාලනයක තිබෙන මූලික වගකීම තමයි ඒ රටේ පුරවැසියා බලා ගැනීම. ඔවුන්ට ශක්තිමත් ආදායම් මාර්ගයක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය පද්ධතියක්, නීතියේ විධානයේ ආධිපත්‍ය සහිත රටක් හැදීම, මානසික සුවයෙන් ජීවත්විය හැකි ප්‍රජාවක් නිර්මාණය කිරීම, සතුට, සිනහව තිබෙන පුරවැසියන් ගොඩනඟන එක. අපේ පුරවැසියන්ගෙන් යම් ප්‍රමාණයක් මේ ආර්ථිකයත් එක්ක ගැටගැසෙමින් තමන්ගේ ජීවන වෘත්තිය සකසා ගන්නවා. පුරවැසියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා දෛනිකව ශ්‍රමය, කාලය ආර්ථිකයට සම්බන්ධවීමට බැරිවුණු, ආර්ථිකයට සම්බන්ධ වුණත් ඒකෙ ප්‍රතිලාභ ප්‍රමාණවත් ලෙස නොලැබෙන ජනතාවක්. ඒ කියන්නේ රැකියාවක් කළත්, ලැබෙන ආදායම ජීවත්වීමට ප්‍රමාණවත් නොවන ජනතාවක්. වැඩිහිටිභාවයට පත්වීම හේතුකොටගෙන වැඩ කිරීමට ශ්‍රමය, කාලය හෝ වැඩ කළ නොහැකි, ඒ වගේම විවිධ හේතූන් මත ආබාධිත තත්වයට පත්වුණු ජනතාවක්.
ආර්ථිකයෙන් පිටමං කරන ලද, දෛනිකව ශ්‍රමය, කාලය ආර්ථිකයට සම්බන්ධ නොවුණු ජනතාවගෙන්, ග්‍රාමීය දුප්පත්භාවය ගොඩනැගී තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට අපට වැඩසටහනක් අවශ්‍ය නැද්ද? මහ බැංකු වාර්තාවෙන් ඉදිරිපත්කොට තිබෙනවා හරිහමන් ආහාර වේලක් නොමැති පිරිස ජනගහනයෙන් 68%ක් බව. පවුල් ලක්ෂ 34කට හාල් කිලෝ 10 බැගින් බෙදන්න තීරණය කර තිබුණා. ඒ කියන්නේ ජනතාවගෙන් 50%කට වැඩි පිරිසකට හාල් කිලෝ 10ක් ලබා දෙන්න සිදුවෙනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගෙවා ගන්න නිසි ආහාර වේලක් නොමැති ජනතාවක්. එම ජනතාව සඳහා අපට වැඩසටහනක් තිබිය යුතුයි. ලෝකයේ සෑම රටකම ආර්ථිකයෙන් පිටමංකොට තිබෙන ජනතාව බලා ගැනීම සඳහා සහනාධාර ලබාදීම සිදුකරනවා. අපේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහාත් සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. හැබැයි දීර්ඝ කාලයක් ඔවුන් සහනාධාරයේ රඳවා තබා නොගෙන, ක්‍රමානුකූලව ඔවුන්ට ජීවත්වීමට සරිලන ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමේ ආර්ථික වැඩපිළිවෙළකට බද්ධ කර ගත යුතුයි. ඒ වගේම ආබාධිත ජනතාවත්, හව්හරණක් නැති වැඩිහිටි ජනතාවත් අපි බලාගත යුතුයි. පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ සේවය කොට, වයස හේතුවෙන් වැඩ අත්හැරි, ජනතාව රැක බලාගැනීමේ වගකීමත් රජයට තිබෙනවා. සෑම පුරවැසියෙකුටම ජීවත් වීම සඳහා හොඳ ආදායම් මාර්ගයක්, හොඳ නිවාසයක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, නිසි අධ්‍යාපනයක්, මානසික සුවයක්, හොඳ ප්‍රවාහනයක් අවම පහසුකම් ලෙස තිබිය යුතුයි. අපේ රටේ විශ්‍රාමිකයන්ගෙන් බහුතරයකට මේ දේ ලැබෙන්නේ නැහැ.
නමුත් රටේ එක් පුරවැසි කණ්ඩායමකට විශේෂ වරප්‍රසාදයන් සහිතවත්, පොදු පුරවැසියන්ට අවශේෂ තත්වයකුත් නිර්මාණය කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප්, දීමනා, නිවාස, වාහන සියල්ල අහෝසි කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ඒ වගේම ජීවන වියදම වේගයෙන් වර්ධනය වෙන විට, ඔවුන්ගේ එකම යැපුම් මාර්ගය වන විශ්‍රාම වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සහ දීමනාවන් වැඩි කළ යුතුයි. විවිධ කමිටු වාර්තාවලින් රාජ්‍ය සේවකයෙකුගේ වැටුප 70%කින් වැඩිවිය යුතු යැයි ඉදිරිපත් කොට තිබෙනවා, ඔබගේ ජීවන විදයමට සරිලන විශ්‍රාම වැටුපක් ලබාදෙන බවට අපි ඔබට සහතිකයක් දෙන්නම්. 2016-2019 විශ්‍රාමිකයන්ගේ විශේෂ කාණ්ඩයක් ඉන්නවා. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් අත්සන් කරන ලද ලිපියේ 2019න් පසුව විශ්‍රාම යන විට රු:10,000 මූලික වැටුපට එකතුකොට ලබාදෙන බවට සඳහන් කොට තිබෙනවා. නමුත්, සාධාරණ වූ එම වැටුප නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. මහින්ද සහෝදරයාත්, සරත් ලාල් සහෝදරයාත් නඩුවක් ගොනුකොට තිබෙනවා. එහි තීන්දුව මැයි 31දිනට ලබාදීමට නියමිතව තිබෙනවා. 1997 සිට මතුවී තිබෙන ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවත් විසඳිය යුතුව තිබෙනවා. අග්‍රහාර ලබාදීමේදී 2016 ට පෙර විශ්‍රාම ගිය හා 2016ට පසුව විශ්‍රාම ගිය යනුවෙන් කාණ්ඩ දෙකකට බෙදා තිබෙනවා. එය කිසිසේත් යුක්තිසහගත බෙදීමක් නොවෙයි. අපි විශ්වාස කරන්නේ සියලු දෙනාටම සෞඛ්‍යය ආරක්ෂණ ක්‍රමයක් සකස් කළ යුතුයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් සඳහා 15%ක පොලියක් ලබාදුන්නා. බොහෝ විශ්‍රාමිකයන් තමන්ට ලැබුණු 15% පොලියෙන් තමයි තමන්ගේ බෙහෙත් ටික ගත්තේ, වතුර බිල, ලයිට් බිල ගෙව්වේ, ආහාර පාන ගත්තේ. ආර්ථිකය කඩා වැටෙමින් තිබුණු අවස්ථාවක, ජ්‍යෙෂ්ඨ පුරවැසියාට ලැබෙමින් තිබුණු ආර්ථික වාසියක් ආණ්ඩුව විසින් පැහැර ගන්නවා. ඒ නිසා යළි විශේෂ පොලී අනුපාතයක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් තැබිය යුතුයි යන ස්ථාවරයේ අපි ඉන්නවා. ඔබ මිලදී ගන්න භාණ්ඩවලට පමණක් නොවෙයි, ඔබේ විශ්‍රාම වැටුප හෝ පාරිතෝෂිකය බැංකුවක තැන්පත් කොට, ලබා ගන්නා පොලියටත් බදු ගහනවා. අනිවාර්යයෙන් එය ඉවත් කළ යුතුයි. එයින් මේ ගැටලු නිමා නොවෙන බව අපි දන්නවා. ඉතා ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් අවශ්‍යයි.
ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්හි ශක්තිමත් ආරක්ෂණ වැඩපිළිවෙළක් තිබෙනවා. ආර්ථිකයෙන් පිටමංකරන අය, ආර්ථිකයට හවුල් නොවෙන අය, වැඩිහිටි අය, විවිධ ආබාධිත කණ්ඩායම්, ව්‍යාපාර කඩා වැටීම්, හදිසි අර්බුදයන්හිදී ඒ අයට රැකවරණය ලබාදීම සඳහා ශක්තිමත් ආරක්ෂණ අරමුදලක් අවශ්‍යයි. අපේ ආර්ථිකයට එවැනි විශේෂ තත්වයකට මුහුණ දීම සඳහා වත්, විශේෂිත පුද්ගලයන් බලා ගැනීම සඳහාවත් ශක්තිමත් අරමුදලක් නැහැ. මේ සියල්ල ගැටගැසී තිබෙන්නේ අපි අනුගමනය කරන ආර්ථික උපායමාර්ග සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වුණොත් පමණයි. ඒ නිසා අපට මේ ආර්ථිකය නව යහපත් දිසාවකට යොමු කිරීමේ වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. එතනදි බලය ලබා ගැනීම තීරණාත්මකයි.
මේ අවස්ථාවේ මතුවී තිබෙන ප්‍රශ්නයක් තමයි, පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද පැවැත්වෙන්නේ කියන එක. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයත්, ඔක්තෝබර් 16ටත් සැප්තැම්බර් 17ත් අතර ජනාධිපතිවරණය පැවැත්වීමේ බලයත් ජනාධිපතිවරයාට තිබෙනවා. එසේ නම් රනිල් වික්‍රමසිංහ අද හෝ හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ගත හොත් ඔහුගේ බලය අහෝසි වෙනවා. ඔහුට තව මාස කිහිපයක් බලයේ සිටිය හැකිව තිබියදී, කලින්ම පුටුවෙන් නැගිටින්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඔහු වටා එකතු වී සිටින පොහොට්ටුවේ කණ්ඩායමේ සියලු දෙනාම ඡන්දෙ ඉල්ලන්න නැවතත් පොහොට්ටුවට යනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැර, එයින් ලැබෙන ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති නොවෙයි, ජනාධිපති අපේක්ෂකයා වෙන්නත් බැහැ. විසුරුවා හැරියොත් එක්සත් ජාතික පක්ෂය අවසන් වෙනවා. ඒ අනුව විසුරුවා හැරිමේ ඉඩකඩ ඔහුට දේශපාලනිකව අවාසියි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැසිල් රාජපක්ෂට වුවමනාව තිබෙනවා. එක්කෝ එයා රනිල්ට සහාය දෙන්න ඕනෑ. ජනතාවගේ සහායෙන් රනිල් ජනාධිපති වුණොත්, පොහොට්ටුවේ ගමන එතනින් අවසන්. රනිල්ට සහාය නොදී වෙන අපේක්ෂකයෙක් දැම්මොත්, පොහොට්ටුවට තිබෙන ඡන්ද ප්‍රමාණයත් නැතිවෙනවා. දාන්න කෙනෙකුත් නැහැ. ජනාධිපතිවරණය දිනන ඕනෑම කෙනෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මහ ඡන්දෙට බලපානවා. ඒ නිසා ඒගොල්ලන් කල්පනා කරන්නේ පාර්ලිමේන්තුව ඉක්මනින් ගන්න. ස.ජ.බෙ.ටත් අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරුවා ගන්න. ජනාධිපතිවරණයේදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයන්. සජිත්ට වඩා ස.ජ.බෙ. ඔට්ටුවට දැමීම ඒගොල්ලන්ට වාසියි. ඒ නිසා ඒගොල්ලනුත් කැමතියි, පාර්ලිමේන්තුව විසුරුවනවාට. ජාතික ජන බලවේගයේ අපි මේ දෙකටම ලැහැස්තියි. ව්‍යවස්ථානුකූලව දෙකම පවත්වන්න ඉඩ තිබුණත් දේශපාලනිකව ජනාධිපති ඡන්දය පැවැත්වීමට නියමිතයි.