උණුසුම් පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරීන්, අගමැති හමුවී පැවති සාකච්ඡාව

ඉල්ලීම් සාධාරණ බව නිරීක්ෂණය වෙනවා

අග්‍රාමාත්‍ය හා  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරීන් අතර අද (30) අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ සාකච්ඡාවේදී,

 රාජ්‍ය සේවාවේ වැටුප් ව්‍යුහයේ පවතින බරපතල විශමතාවය හා මහ බැංකුවේ වැටුප් වැඩි කරගැනීම තුළ රජයේ සේවකයින් තුළ ඇතිව ඇති ඉච්ඡා භංගත්වය පිලිබදව ත් එම වැටුප් වැඩි කරගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රමිකව මහ බැංකුවේ කණිෂ්ඨ නිලධාරීන්ගේ වැටුප අමාත්‍යංශ ලේකම් වරුන්ගේ වැටුප ඉක්මවා යන තත්වයක් ඇතිව තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

  පසුගිය කාලය තුළ ඇතිවූ අධි උද්ධමනකාරී තත්වය තුළ විධායක ගණයන් හී තුන්වන හා දෙවන මට්ටමේ නිලධාරීන් ට ලැබෙන වැටුප් හා දීමනා ප්‍රමාණය වගකීම් දැරීම කෙසේ වෙතත් අවම ජීවන මට්ටම පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ඒ තත්වය තුළ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඉදිරිපත් කල ඉතා සාධාරණ ඉල්ලීම් හා රජයේ එකාබද්ධ විධායක නිලධාරීන්ගේ කමිටුව ඉදිරිපත් කල දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට තම සාමාජිකත්වය දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලට සහභාගී නොකිරීම ට තීරණය කල බවත්, ඉතා කඩිනමින් ඉල්ලීම් සදහා සාධනීය ප්‍රතිචාර අපේක්ෂා කරන බවත්  එම සංගමයේ සභාපතිවරයා හා සාමාජිකයින් අදහස් ඉදිරිපත් කරන ලදි.

 මේ වන විටත් මෙම තත්වය හොදින්ම තමා අවබෝධ කරගෙන ඇති බවත් රජයේ සේවාවන් හී විධායක මට්ටමේ නිලධාරීන් මේ පත්ව ඇති තත්වය අධ්‍යනය කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සැදි කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවේ වාර්තාව ලද වහාම එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර මෙම මොහොතේ ලබා දිය හැකි වඩා සාධනීය ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඉල්ලීම් සාධාරණ බව තමා නිරීක්ෂණය කරන බවත්  අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ  එම කමිටු වාර්තාව සදහා මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ කැදවා ඇති අතර එය ලබන සතිය තුලදී ලැබීමට නියමිතව ඇති බවයි. ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩල වෙත  අග්‍රාමාත්‍යතුමා මගින් එකී කමිටු නිර්දේශයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි මාසය අවසන් වන විටදී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරීන් හා ඒකාබද්ධ රජයේ   විධායක කමිටුවේ නිළධාරීන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් වන ඉල්ලීම ට වඩාත් යහපත් ප්‍රතිචාරයක් ලබා දීමට හැකි වනු ඇතයි බලාපොරොත්තු වන බැවින් මේ අවස්ථාවේදී රජයේ සංවර්ධන වැඩසටහන් සදහා අවශ්‍ය සම්පූර්ණ සහය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරීන් හට පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැය දෙකකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාව ඉතා සුහදශීලී ලෙසත්, ප්‍රගතිශීලී අරමුණු සහිතව සිදු වූ අතර ඒ අනුව මැයි මස 02 වන දින සිට මේ දක්වා ක්‍රියාත්මක කරන ලද දිස්ත්‍රික් සම්බන්ධීකරණ හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකත්වය සම්බන්ධ නොකරන වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම සංගමය තීරණය කරන ලද බව ප්‍රකාශ කරන ලදි.