උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික ශාන්ත දැඩිමුනි දිවි ගමනින් සමුගනී 2026-02-100 හෙළදිව උත්තමාචාරය! ශාන්ත සැඩිමුනි නම් ඔහු අප අතරින් ඊයේ (09) සවස වෙන් වූයේ දිවිගමනේ 78 වැනි සැතපුම් කණුව ඉක්මවන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ය. කලක් රෝගාතුරව හුන් ශාන්ත දැඩිමුනි මහතා ගේ අවසන් කටයුතු හෙට (11) ගාල්ල නාගරික ආදාහනාගාරයේ දී පස්වරු 4. 00 ට සිදු කෙරේ. ශාන්ත ගේ දේහය ඒ දක්වා තැන්පත් කර ඇත්තේ ගාල්ල කරාපිටියේ රුහුණු මල් ශාලාවේ ය. රජ්ගම දේවපතිරාජ විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ, ගාල්ල දිස්ත්‍රික් කමිටුවේ තිස් වසරක තරම් කාලයක් තිස්සේ ඉතා ක්‍රියාකාරී සාමාජිකයකු සේ කටයුතු කළේ පක්ෂය වෙනුවෙන් බොහෝ දර දිය අදිමිනි. හේ කරාපිටිය ශික්ෂණ රෝහලේ 'රෝහල් කමිටු සාමාජිකයකු ලෙස ද, දිගු කළක් ස්වේච්ඡා සේවයක යෙදුණේ ය. එහිලා ද ඔහුගෙන් සිදු කෙරුණු සේවාව, බොහෝ දෙනා ගේ අගැයීමට ලක්වූ බව සිහිපත් කළ යුත්තේ ම ය. ඔහු සමාජ සේවකයකු සේ කළ අනගි මෙහෙය, කරාපිටිය රෝහල පිටුපස ගේට්ටුව අසල පිහිටි, නැගණියට අයත් ගොඩනැගිල්ලක රැඳී සිටිමින්, ඉතා නිහඬව ඉටු කළ අයුරින් කියා පාන්නේ ඔහු තුළ සිටි සැබෑ මානව හිතවාදියා කෙබඳුද යන්න යි. ඉතා නිර්මාණශීලී චිත්‍රශිල්පියකු වූ ඔහු ගෙන් සේවාව ලබා ගන්නට පැමිණි කවරකුට වුව ඇවැසි සිතුවම ඇඳ දුන්නේ නොමිලයේ වීම ඔහු සතුව පැවති උසස් ගුණංගයන් අතර කැපී පෙනෙන ලක්ෂණයකි. හැටේ දසකයේ අවසන් සමයේ දී කොමියුනිස්ට් තරුණ සම්මේලනය විසින් 'තරුණ තරුණියන්ට රැකියා ඉල්ලා' එකල පැවති 'හත්හවුල්' ආණ්ඩුවට බලපෑම් කිරීමට මාතර සිට කොළඹ දක්වා පැවැත්වූ පාදයාත්‍රාවේ ක්‍රියාකාරිකයකු සේ ශාන්ත ඉදිරියෙන් ම සිට කටයුතු කරන ලද්දේ ය. අසූව දසකයේ සෝවියට් තරුණ සම්මේලනයෙන් ලද ශිෂ්‍යත්වයක් මත ශාන්ත සෝවියට් දේශයේ තරුණ පාසලේ වසරක පාඨමාලාවක් හැදෑරීමට තෝරාගනු ලැබිණි. 1977 ජේ. ආර්. - ප්‍රේමදාස ධාර්මිෂ්ඨ පාලනයට එරෙහිව රටේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේ දී ඔහු ගාල්ලේ සිට කළ කැපකිරීම් පක්ෂයේ බෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්විය. රජ්ගම අංහන්දිය ගම්මානයේ උපත ලැබ එහි හැදී වැඩුණු ඔහු පස් දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා විය. ශාන්තට සොවුරක් දෙදෙනකු හා සොවුරියන් දෙදෙනෙකි. ඔහු බෝ කලකට පෙර රජ්ගමින් දුරස්ව කරාපිටියේ දිවි ගෙවන ලද්දේ, සිය 'ලොකු නංගී' ගේ හා ඇගේ සැමියාගේත් සෙවුම බැල්ම යටතේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ආණ්ඩුවේ ඡන්ද බැංකුව 25%ට අඩුයි Next Article සොවුරේ සුවබර නින්දක්!