උණුසුම් පුවත්

සජිත් අද පාර්ලිමේන්තුවේ දී

යෝජිත මන්නාරම සුළං විදුලි බලාගාරයෙන් පාරිසරික ව්යවසනයක් සිදුවිය හැකි යි

බලශක්ති නිෂ්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි ආයෝජන වැඩිවීම ප්‍රශස්ත තත්ත්වයක් වුවත් මෙවැනි ව්‍යාපෘති ස්ථාපිත කිරීමේ දී වඩා හොදම විකල්ප ස්ථානය හා වඩා ඵලදායී ආයෝජන විකල්පය තෝරා ගැනීම කළ යුතු වන බවත් කුරුළු මංකඩක් වන මන්නාරම ආශ්‍රිත ව ක්‍රියාත්මක සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය පාරිසරික ව්‍යසයනයක් සිදු විය හැකි ව්‍යාපෘතියක් ලෙස බොහෝ විශේෂඥයන් පෙන්වා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ යෝජිත මන්නාරම සුළං විදුලි බලාගාරයෙන් සිදුවන පාරිසරික හානිය සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න රැසක් අසමිනි.

ඩීසල් මාෆියාවට තිත තියන පුනර්ජනනීය බලශක්තියට අපිත් එකඟයි

සමගි ජන බලවේගය සුළං ආදී පුනර්ජනනීය බලශක්තියට එකඟ බවත් ඩීසල් මාෆියාවට ඉඩ නොදී පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කිරීමේ දී විකල්ප ස්ථාන ගැන අවධානයක් යොමු කළ යුත-ු බවත් මධ්‍යම ආසියානු කුරුළු පියාසර මාර්ගයේ මිලියන ගණනක් සංක්‍රමනික පක්ෂීන්ට මෙම ව්‍යාපෘතිය එල්ල වී ඇති බරපතල අනතුර එම ව්‍යාපෘතිය සඳහා සිදු කරන ලද පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව මඟින් නොසලකා හැර ඇති බවත් එම වාර්තාවේ අඩුපාඩු රාශියක් ඇති බවත් විද්‍යාත්මක දත්ත පදනම් කර ගනිමින් විද්වත-ුන් විසින් පෙන්වා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි විනිවිදභාවය ගැන බරපතල සැක පහල වෙනවා

පාරිසරික සාධක පමණක් නොව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ විනිවිදභාවය ගැන බරපතල සැක කටයුතු අවස්ථා ඇති බවත් මෙම කොන්ත්‍රාත්තුව ලබා දීමේ දී ටෙන්ඩර කැදවීමක් සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සහ මේ සම්බන්ධයෙන් සිදුවන අනෙකුත් බලපෑම් සම්බන්ධයෙන් ද රජය තක්සේරුවක් කර ඇත් නම් එය දැන ගැනීමට අවශය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ටෙන්ඩර් ක්‍රමවේදයක් මෙහි සිදුවී නැති නිසා මෙය ටෙන්ඩර් ක්‍රමවේදයකට යා යුතු බවත් මීට වඩා වෙනත් යෝග්‍ය ස්ථාන ඇති බවට විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇති නිසා ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.