උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

ස්වකීය නිර්මාණ එළිදක්වන්නට කිවියනට කිවිඳියනට හෙළදිව ඉඩකඩ

බර (සැහැල්ලුව)

 

 

හිතක බර  මොහොතට

ජීවිතේ හර

දැනගන...

පොතක කවි කුමකට

විරහවට පද

අමුනන..

අතක සවි නැතුවට තනියත් හොඳළු

රිදවන..

මතක අළුකරනෙමි අද ,,

වැඩියෙන් හොඳයි

හෙට දින..

සිහින වළලා හදවත

එළියට ගනිමි

ගිණි සිල..

වහන  දොරගුළු  කුමකට

නැවත හැර

හිස් තැන් වල..

පහන තිරයෙන් නිවුනම

කළු අඳුර 

රජයන කල..

ඉහින සිහිලැල් දිය

කුමට අළු ගොඩකට

   -  මධුෂිකා  - 

෴෴෴   ෴෴෴

දේව දාසි......    

හිරිමල් වියේදිම

දෙවියන් හා සරණ බැඳ

ළදරු මනමාලියක ව

මේ කුළුණු පියසි අභිමුව

ගිවිස ගත්තා

ගින්දරයි සාක්ෂිය

දොවා නහවා පිළිම

පලඳවා මාලතී දාම

දල්වා අගිල් කුංකුම

මවා හාව භාව ලීලාව

ගැයුවා ගීතිකා හද පාරන

පතා හැම රෑකම

සිටියා පේවී දෙවිඳුන්ට

නැතිමුත් දේව ලීලාව

පැමිණියා රකුසනූත්

පිරුවටයට මුවාව

වියකී යද්දී රූ සිරිය

දෙවොල් තිර පට දවා හළුවිය

සැඟවුණු තැනකය තාම

නැත දෙවියනුත් දෙවොල

හඳ පලුව නැති දා අහස

වුණෙමි මම රෑ මනාලිය

    -  ෂර්මිලා බංදුනී දංවත්ත  - 

 

 ෴෴෴   ෴෴෴

--------------------------

මෙමිහි

සුදුසඳ පාන කළුවර ගේන

අහස යට

මාවවුලන්ට බකමූණන්ට

සහයෙ සිට

කඩුපුල් පිපෙන පිනිපොද ගේන මෙදියතට

 මනරම් වේද කෙතරම් රෑට

මෙමිහි පිට

හමනා සිහිල් සුළගින් ගස්

තාල මවයි

එතෙනා ලතාවට  තුරු බඳ

පෙමින්  වෙලෙයි

බසිනා සඳ එළිය  හිරු ළඟ

 මිලිනව යයි

උදයක සිරිය ඔබහට ජය 

සතුට පතයි.

-  කේලි  - 

 

අලුත් දෙයක්

 

 

 

සොඳුරු සුවපත් දවසක

අසිරිය මැද අලුත් දෙයක් බිහිවේවා

ඔබ මෙතෙක් රැස්කරගත් ඒ උතුම් දැනුමෙන්.

එය ඔබටද මේ මනුසතුන්ටද

යහපතක් ම සිදු කරත්වා!

ජීවිතය වියමින් යන ගමනේ දී

එහි සුපසන් රූ රටාව අද

ඔබේ ගෙත්තම වේවා!

හිරු පිපී ඇත.

සුළං හමනු ඇත.

සුපුරුදු ලෙසින්ම බාධා කරන අය

බාධා නොකර නොසිටිනු ඇත .

ඒ සියල්ලම නොමිලයේ ලබා

දෙන මහඟු පාඩම් යැයි ඔවුන්ට

කෘතඥතා බැල්මෙන් ගෙවීම

කොට සුපුරුදු ගමන යන්නට

    -  චමින්ද වෙලගෙදර  - 

අද දින ඔබට ආදරණීය

දොහක් ම වෙනු ඇත.

ජය!

 -  චම්මින්ද වෙලගෙදර  -


ඒ කොන

මේ කොන

සිව් කොන

අට කොන

උඩ කොන

යට කොන

දස කොන

දිහා බලන් සකි  දිහා බලන්  

 පැත්තක් අඳුරුයි

පැත්තක් එළියයි.

මොහොතේ එළියෙන් ඇදගෙන අඳුරට

රිංගාවි.

ඉතින් 

ඊට පස්සේ?

 - සුමැ - 


බිම්බරක් දුකක අවසානය 

හුස්ම නොගෙනම

හැකිලි සිටින තුරුපත්

සුළඟත් සමඟ හාදව

පොළොව සිඹින දෙස

රවා බලන හිරු

අමුරුවෙන් ඔසවා ගෙන

දුක

අහස බලන මහතුරක්

හඩන මලානික මල් පෙති

හිස පහත් කර

මිහි අම්මාගෙන්

අසයි කොඳුරා

එන්න දැ යි

මේ රහස් අසමින්

මාරුතය ඇවිදින්

             

-  නලිනි ද සිල්වා -