උණුසුම් පුවත්විශේෂාංගසාහිත විචාරසාහිත්‍යය හා කලාව

සාහිත විචාර

මිමිණිලි නඟන මලිඳු

මං මාවතක මතක මිමිණිල්ල (කෙටිකතා)

මලිඳු කාවින්ද කුමාරසිංහ

කතුවර ප්‍රකාශනයකි.

මලිඳු කාවින්ද කුමාරසිංහ ගේ “මං මාවතක මතක මිමිණිල්ල“  කෘතිය ආදරේ පිරුණු අපූරු කෘතියකි. 

මෙම පොතේ පිටකවරයට යොදා ඇති වර්ණ වලින් ස්ථර කිහිපයක බැඳීමක් තිබෙන බවත් දුඹුරු පැහැය පෘතුවි වර්ණයක් වන අතර වර්ණ විද්‍යාව අනුව දුඹුරු පැහැය ශක්තිය සහ විශ්වසනීයත්වය පිළිබඳ හැඟීමක් වේ. බොහෝ විට ඔරොත්තු දීමේ හැකියාව, විශ්වසනීයත්වය, ආරක්ෂාව සහ ආරක්ෂාව සමඟ සම්බන්ධ වේ. තනිකම, දුක සහ හුදකලාව යන හැඟීම් දනවන අතර පෞද්ගලිකව පුද්ගල කැමැත්ත විමසීමේ දී දුඹුරු පෞරුෂයක් තිබීම,  හොඳ ගුණාංග රාශියක් ඇති සංකීර්ණ පුද්ගලයන් වේ.  

එමෙන්ම මෙම පොතෙහි ඇතුළාන්තයේ ඇති මිමිණිලි වල පුද්ගල මනෝභාවයන් සහ ඇතිවන මනෝ ව්‍යාකූල බව හා යටි සිත දිවෙන අසුමුළු වල දුර සටහන් වී  ඇති බව පෙනේ.  ජනජීවිතයේ බොහෝ ස්ථර හා බැඳුණු ආර්ථික හා සමාජීය කතිකාවත් එක්කර එකට රැගෙන එන කතිකාවකි.  රසවත් කෙටි කතා සංග්‍රහයක් වන මේ පුස්තකය කර්තෘ ප්‍රකාශනයකි.  මලිඳු කාවින්ද කුමාරසිංහ ගේ පළමු පොත වන අතර අපූරු පිදුමකින් විවර වෙයි.  හැම පිදුමක්ම ඇයට  වූව ද ඇය නම් විවිධ ය.  ඒ නම් අමමම්මා, නැන්දා,  පෙම්වතිය හා අම්මා ය.  මේ  අපූර්ව පිදුම් ලද  සුන්දර මිමිණිල්ලි ගොන්නකි. 

සියල්ලම මිමිණිලි 15 කි.  ඒවා අපූර්ව ය.  හද සන්තානයෙන් මුමුණන මේ මිමිණිලි විවිධත්වයෙන් යුතු වුවත් එකිනෙක එකට ඈඳි ඇත. පංති පරතරය හේතුවෙන් ලබන සමාජ රිදවීම් හේතුකොට ගෙන ගිලිහෙන අධ්‍යාපනය වෙනත් ආකාරයකින් සොහොනෙන්  ලබා ගන්නා ආකාරයත් එතැනට පත්වීමට උදව් කළ ගුරුතුමිය ගේ සම්ප්‍රාප්තියත් (නොගිහින් ඉන්න බැරි ස්ථානය) ඔහු විසින් කරන ලද  සොහොන් කොතේ සටහන,

“මෙහි සැතපෙන්නේ ලෝකයේ හොඳ ම ගුරුවරුන් ඇති බව කියා දුන් ගුරුවරියකි“ යන පාඨයත් විෂමතා සියල්ල එක් දිනෙක බිඳෙන බව දනවන අපූරු මිමිණිල්ලකි.

විශ්ව විද්‍යාල ආදරයක් (තාරුණ්‍යයේ ආදරය) කාලයාගේ ඇවෑමෙන් ගිලිහෙමින් නමුත් හදවතින්ම  බැදී ඇති අය පියවි ලොව බොහෝ සිටිති.  මේ ආදර මිමිණිල්ලත් අපූරු ය.  අනෙක් පාර්ශවයට ජීවිතෙන්ම බැඳී ඇති අය හැමතැනක ම ඒ රූප හා බැඳෙයි.  ඔහු මායා ලෝකයක ජීවත් වෙමින් සතුටු වෙන අතර ආදරය ගිලිහුණා දැයි නොදැන සතුටින් සිටියි.   පිවිතුරු ය  යැයි පවසන ආදරය ඉතා දැඩි වූ විට එය මනෝ ව්‍යාධියක් දක්වා  වැඩෙන බවත් ඒ ගැන කිසිවෙකුට නොදැනෙන බවත් එය භායානක විහිළුවක් වන බවත් තවත් අපූරු ආදර මිමිණිල්ලකි.

මේ මිමිණිලි අතර දියණියකට ඇතිවන පීතෘ සෙනෙහසේ බැඳීම ද ගැඹුරින් දැනෙන හා ප්‍රකාශ කරන සහ විටෙක ප්‍රකාශ නොකරන ආදරයකි.  බලාපොරොත්තු දහසක් ගොඩනඟා ගෙන ඉපදෙන්න සිටින දියණියකට බලවත් සේ කැමැත්ත සීමාව ඉක්මවා ආදරය දැක්වීම පුද්ගලයෙකු පසු කාලීනව මනෝව්‍යාධියකට පත්වීම නොවැලැක්විය හැක. ඒ ආදරය ද ලොව සුවිශේෂි ආදරයකි. 

ගුරුවරියකගේ අපූරු ආදර මිමිණිල්ල  මේ මිමිණිලි අතර ජිනසේන යන ආරුඪ නමකින් ලියන ලද ඔහුගේ ජීවිත කතාවේ යම් යම් කොටස් පැසල් ජීවිතේ ගුරුතුමී සම්බන්ධ කර ඇති අතර ඔහුව ඇයට මුණගැසෙන්නේ එක්තරා දිනක ය.  ඒ ගුරුතුමියට තම ගෝලබාලයන් ළඟින්ම සිටි දින කිහිපයක අවසනය.  මේ කතුවරයා ද විවිධ වෘත්තීන් කරන  ජීවිතාවබෝධය වඩවා ගත් කතුවරයෙකි.  ලොව සදන ගුරුවරුන්ට ඇති එකම සතුට සියලු දරුවන්ගේ සතුට හා දියුණුව බවත් මෙි විශ්‍රාමික ගුරුතුමී වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගුරුතුමියකි.  එලෙසම ගුරුවරයා මෙන්ම ලේඛකයා ද  ලොව තනන්නුන්ය.(පෞද්ගලිකව මා මේ මිමිණිල්ලට මහත් සේ කැමැත්තක් දක්වමි.) 

හාදු වැස්සක් ජීවිතේ වැස්සක් සේ මිමිණෙන  ආකාරය අපූරු ය.  හාදු වැසි වල බර වෙනස්වීම, ඒ තුළින් ඉවසීම ම ආදරය ඉතිරි කරගත් හදවත් ඉවසීමෙන් හැරීම. ආදරයේ වටිනාකම සහ නොදැනුවත්ව එය පරිහරණය කිරීමෙන් ගිලිහීම වැනි ඉතා බරපතල කාරණා මැනවින් ගොනු වී ඇති හාදු වැසි හා බැඳුණු ආදරයේ රස හා රහස අපූරු ය.  ඒ ආදර මිමිණිල්ල තාරුණ්‍ය යේ වගකීමක සිත්තමකි. 

සිත්තම් මැවෙන මේ මිමිණිල්ල මානව මනෝ භාවයන් විවිධාකාරයෙන් කතා වස්තූන් වල ගැබ්කර ඇත.  ගැමි ජන ජීවිතය, විශ්වාස වැනි දෑ ගැන කතිකා කර ඇතත් ආදරයෙන් තොර ලොවක් කොහිද?  එලෙස ලොවක් පැවතිය නොහැකි ය.  එබැවින් විවිධාකාරයෙන් හා විවිධ දෘෂ්ටිකෝණ වලින් ආදරය දෙස බැලිය හැකි ය.  කෙසේ වෙතත් ආදරයට සීමා මායිම් දැක්වීමට නොහැක. පොත පුරාවට උපතේ සිට මියෙන තුරාවට ආදරේ මිමිණිල්ල ලියවී ඇති අලස බවකින් තොරව කියවා අවසන් කළ හැකි සුහුරු භාෂාභාවිතයක් ඇති සුන්දර පොතකි.

- නලිනි ද සිල්වා -