අශෝක කුලතුංග දුරක සිට සිඹින හැටි
කවි පොතක් - අශෝක කුලතුංග
සන්ථව ප්‍රකාශනයකි. මිල - රුපියල් 250. 00
"ලිවීම මිනිසාගේ ශ්‍රේෂ්ඨතම නිපැයුම විය හැක.. එය කිසිදා එකිනෙකා නොහඳුනනවිවිධ යුගවල සහ තැන් වල ජීවත් වූ අය එක් කරයි" දුරක සිට සිඹිමින් අශෝක කුලතුංගයන් රචනා කළ "දුරක සිට සිඹිමි" කාව්‍ය ග්‍රන්ථය උක්ත වදන ප්‍රායෝගික කරවන්නක් සේ මට හැඟේ..
කාව්‍ය සංග්‍රහයක, කවියෙකුගේ හෘද ස්පන්දනය සියුම්ව පිටපත් කළ තැන් කරා රසවින්දකයාට ඇවිද යන්නට සූක්ෂ්ම මෙවලම් කවියා නිරුත්සාහකව තම කෘතියක තවරා ඇත්තේය.. මේ කෘතියේ එවැනි තැනක මම මොහොතක් සසල වූයෙමි..
සූතිකාගාරය සෙලවෙන්නට කඳුළු වගුරා සෙනෙහෙ කිරි කර ලොව මිහිරිතම කවිය බිහි කළ දෙවෙනි අම්මා නුඹය... ඉනෝකාට
මේ "දුරක සිට සිඹිමි" හි පිදුම යි.. තම පියම්බිකාවිය ගේ මාතෘත්වයේ කලඑළි මංගල්‍ය කවියා අප හමුවට ගෙනෙන්නේ උත්තරීතර මව් ගුණයෙන් ළය පසාරු කරවමින්.. ලෝකයේ දරුණුතම වේදනාවකින් පසු මවක් බිහි කරන්නේ තවත් එක් ජීවියෙකු පමණක් නොවේ.. මිහිරිතම කවියක්..
සූතිකාගාරය සෙලවෙන ළය දැදිරි කරවන කම්පනයෙන් මේ කුඩා වචන කිහිපය හද කීරිගස්සවන බව කියමි.. කවිය මනුෂ්‍යත්වයේ භාෂාවකි යන්න හැඟෙන තරමට මෙහි අන්තර්ගත ඇතැම් කවි හදවත හා ඒකාත්මිකව වෙළෙයි..
කෲර , අසාධාරණ සමාජ දේශපාලන හස්තය රහසිගතව ජන ජීවිත වලට ප්‍රදානය කරන ඛේදනීය ජීවිත ඉරණම් වලට තම කාව්‍ය මන්ත්‍රයේ අංජනම දිශාගත කරවන්නට තරම් හේ ප්‍රයෝගකාරී වන්නේ සෞන්දර්ය ඒ මත සංයමයෙන් වත් කරමිනි..
වැටුප් දා ණයට ගත් අලුත් සඳ
කිහිල්ලේ පැත්තක රුවා
අන්ධකාරයේ ම වැනි වැනී මතුවන එළියේ
නතරව මදක් යෝධ හෙවණැල්ල
කාරමින් පෑල දොරින් එබෙන.....
මේ 'යෝධ හෙවණැල්ල' නම් තේමාත්මක කවියේ වඩාත් සිත්ගත් කොටසක්.. වැටුප් දා ත් ණය වෙන ජීවිත ගැන ඔබට මොහොතක් සිතුණාද.. මේ ප්‍රබල උපහාසාත්මක රූපක බස කවියේ අතු රිකිලි මතින් අප ජීවන පරිඥානයේ ගසට නංවයි.. මේ ජීවිත අලුත් සඳ ණයට ගෙන ද ගෙදර රැගෙන එන්නේ කිහිල්ලේ පැත්තක රුවා ගනිමින්... මතු නොව අදුරේ වැනෙමින්..
මොනරු තිදෙනෙකු සින්න කර
ඔසු පැනින් පදම් ව
සිනා ගී, අත්පොඩි තාල මැද
අඳුරු වන පෙතින් රිංගා සුදු කොඩියකට සැතපුමක දි
තිරිංග තද කර
ශෝක මුහුණු එල්ලාගෙන
බොරලු පාර මග දෙපස
තාප්ප කණු පාලම් මත
අනුරාගී දෑසින් තවම හිනැහෙන...
මේ 'කළමනාකරණ සහකාරිය ගේ මළගම' නැමැති කවියේ කොටසක්.. ප්‍රබල කාව්‍යෝක්ති යොදමින් කවියා මතුකරන සමස්ත රාජ්‍ය සේවක ස්ත්‍රීන්ගේ වෘතාන්තයේ මළඟම කවියේ සියුම් දෘෂ්ටිය ට ගෝචර වන අරුමැසිය මා සිත් කම්පනය කෙරේ..
'වසන්තය' කවිය ජීවිත ඍතු පියවරෙන් පියවර උපේක්ෂාවෙන් ඉවසන, වසන්තය බිහිකරන්නට ගැබ්බරව උහුලන ඉහිලුම් දරාගන්නා උත්කෘෂ්ට මානව ප්‍රේමය කවියට නගයි..
ඉපල්පත් සොලව සොලවා
පොළෝ ඇකයට
තුරුලු කරවා
සිසිරයේ දලු
වියයි නිහඬව
වසත් සළුවට
මහල් තුර..
එළාර රජ දියණි සාරදාගේ සිතේ ජනිත ප්‍රේමය කවියා කියවා ගන්නේ කොන්දේසි විරහිතව ජාති ආගම් භේදයේ සීමා මකා දමමින් සමස්ත මානව සන්තානයේ විශ්ව ව්‍යාපී හැඟීම් එකම මොහොතක එකට ගෙත්තම් කරමින්..
"රැගෙන නොයමි - නොනෙලමි - දුරක හිඳ සිඹිමි"
ප්‍රේමයේ උත්තරීතර සංයමය,ප්‍රේමවන්තයාගේ මානව නිදහස, ස්වාධීන බව පැවරීම, භාවාත්මක පරිකල්පනයක් පමණක්ම නොවන බව මෙකව අපට පසක් කරවන්නේ කවියා පාඨක සිත කවියෙන් සිඹිමින්ම බව මම ඔබට කියමි..