චම්මිගේ හිතිවිල්ල
"ඔබේ සිනාව ඔබ මුහුණේ දෙවියන් වැඩ වසන බව කියන්නේ ය.
එය කඳුළින් හෝ කෝපයට සෝදා පළවා හරින්න ඉඩ තියන්න එපා"
කතුවරයා නොදත් බටහිර කියමනක් මා ඔබට ලීවේ.
සිනාව කියන්නේ කෙනෙකුගේ මුහුණට ආභරණයක් කියා මට හිතෙන්නේ.
ඒක වටිනාම ආභරණයක් වෙන්නේ ඒ සිනාව ළෙන්ගතුව අවංක උනාමයි.
මං සිනාව ගැන ඔබට කීවට මගේ මුහුණේ නම් හැම වෙලේම නොවෙයි බොහෝ වෙලාවට සිනාව නෑ.
ඒ කෝපයෙන් හෝ කඳුළින් සේදී ගොස් නොවේ. මුහුණෙන් නොපෙනෙන නිසා. ඒත් මම වගේ තවත් හදවතින් සිනාසෙන බොහෝ දෙනෙක් ඉන්නවා.
සිනාව කියන්නේ කොතරම් වැදගත් සිහිවටනයද සාත්තුවක්ද තවත් හදවතකට. බොහෝ විදේශිකයන් අපේ මේ පුංව් රටට වැඩියෙන් ආදරේත් අපේ අයගේ මූණේ රැඳෙන සිනාවට වගේම ඔවුන්ට සිනාවකින් කරන සංග්‍රහයට.
හිනා හතරක් තියෙනවා කියල අපේ ජනවහර කීවේ හුඟාක් ඉස්සර.
ඒ උනාට මට හිතෙන්නේ අදනම් ඊට වඩා ඇති කියලා.
මන්ද අද සිනාව තරාතිරම්, නිලතල අනුව වෙනස් වෙලා නිසා.
හොඳ හිනාවක් කඳුළින් කෝපයෙන් වෙනස් උනාට සේදී යන්නේ නෑ. ඒත් මේ කියන අලුත් සිනානම් මොහොතකින් වෙනස් වෙලා යනවා. ඒ හිනා හතර හිනා නොව "මාර හිනා" කියා බොහෝ දෙනෙක් දන්නවා.
සිනාව වැදගත්. වෛද්‍යවරුන් කියන්නේ, සිනාවක් පෑමට ඔබේ මුහුණින් වැය වෙන්නේ මස්පිඬු හතක් පමණක් බවයි. ඒත් ඒ හිනාව සෝදා පාළු කරන කෝපයකට මුහුණේ මස්පිඬු හැත්තෑ දෙකක් වෙහෙස කරන්න වෙනවළු.
ඉතින් කෝප වෙලා තවත් පාඩුවක් කර ගන්නවද මස්පිඬු හැත්තෑපහක් වෙහස නොකිරීමේ ලාභයක් ලබා ගන්නවද?
කොහොමත් සුන්දර හිනාවක් මිනිසෙකුට කොතරම් වටිනවාද කියා දන්නේ සිනා සපිරි මුව කමලක දසුන හා පහස ලැබුවෙක්මැයි.
ඇතැමෙකු මිනිසාත් තිරිසනාත් වෙන්කර ගන්නට හෝ මිනිසාට පමණක් කළ හැකි දේ සිනාව හා කතාව පමණක් කීවත් සිනාසෙන කතාකරන ඇතැමුන් තිරිසන් සතුන්ගෙන් වෙනස් වෙන්නේ ද එයින් පමණක්ම නොවේද කියා සිතීම පවක් නොවේ යැයි හඟිමි.
ඉතින්
අපි සිනාසෙමු.
හදවතින් අවංකවම සිනාසෙමු.
සිනාව යමක් දෙනවා මිස ගන්නා දෙයක් නැත.
එසේ කීවත් සමහරුන්ගේ සුන්දර සිනා නිසා හදවත් දීමට ද වූ බව කියවෙන අවස්ථා නැත්තේ නොවේ . එහෙත් එයට ඔවුන්ටද හදවතක් ලැබී ඇති නිසා හිනා ගිණුම තුලනය වෙයි.
තර වෙන්නට නොව කඳුළ සුසුම සැකය කෝපය පළවා හැර සිනාසෙමු.
චම්මින්ද වෙලගෙදර .
30-10-2025.
