ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

සිස්ටම් චේන්ජ් එක සිද්ධ වෙමින් පවතිනවා

අග්‍රාමැතිනිය පාර්ලිමේන්තුවේ දී

*ජනතාව අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක සිද්ධ වෙමින් පවතින බව විපක්ෂයේ කතාවෙන් සහ ක්‍රියාවෙන් පැහැදිළි වෙනවා." අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේ දී පළ කළා ය. ඒ අයවැය  කාරක සභා අවස්ථාවේ විවාදයට අද (20) එක් වෙමිනි.  

අයවැය තුළ ඇති වූ සංවාද සහ විපක්ෂයේ සමහර විවේචන නිරීක්ෂණය කළවිට ජනතාව බලාපොරොත්තු වූ සිස්ටම් චේන්ජ් එක සිද්ධ වෙමින් පවතින බව තමන් තරයේ විශ්වාස කරනවා යැ යි ඇය කීවා ය.  

මෙහිදී වැඩි දුරටත්  අදහස් දැක් වූ අග්‍රාමැතිනිය, 

''අපේ රජයේ පළමු අයවැය විවාදයට ගත් මේ මාසය පුරාම  පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතදීත් මේ  පිළිබඳ  අපි විවාදය කළා, සංවාද වල  යෙදුණා. මේ කාලය තුළ අපි වෘත්තිය සමිති සංගම් වගේම විවිධ ආයතන, පුද්ගලයන්  මුණගැහිලා අයවැය පිළිබඳ සාකච්ඡාවල යෙදුණා"  

 ''අපිට ඉදිරිපත් කළ ඒ යෝජනා විවේචන තුළින් අයවැය තවත් ශක්තිමත් කරගන්න හැකි  වුණා" 

''නමුත් අයවැය විවාදයේ පළමු දිනයේ විපක්ෂයේ කතා සහ අද පැවති කතාවල ප්‍රගතියක් තියනවද කියලා මම සොයා බැලුවා. මොකද මාසයක සංවාදයකින්  යම් වර්ධනයක් වෙනසක් අපි බලාපොරොත්තු වෙනවා"

"විපක්ෂයේ සමහර කතාවල අන්තර්ගතයන් අරගෙන බැලුවම මට  දැනුණේ ඔවුන් තාම එතනමයි කියලා"

 ''මේ විවාදයේ දී  අපිට එල්ල වෙච්ච චෝදනා ආවේ ඊගෝ එකට ඇති වු වේදනාව නිසා කියලා දැනුණා. ඒවා අයවැය තුළින් විසඳිය නොහැකි ප්‍රශ්න. අයවැය තුළ  ඇති වූ සංවාදය පිළිබඳ අවධානය යොමු කළ විට රජය උත්සාහ කරන සිස්ටම් චේන්ජ් එක සිදු වෙනවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්"

''පද්ධතියක් වෙනස් කරන විට ඒක එක තැනක  සිදුවන දෙයක් නෙමෙයි. සමාජය තුළ තියනබලය මත තියන සබදතා වලත් වෙනසක් සිදු වෙනවා. සිස්ටම් චේන්ජ් එකකදී එකතැනක තියන සබඳතා තවත් තැනකට ගෙනියනවා. මේ අයවැය විවේචනය කරන නැත්නම් මේ සිස්ටම් චේන්ජ් එකෙන් රිදිලා තියෙන අය කවුද කියලා නිරීක්ෂණය කිරීමේදී සිස්ටම් චේන්ජ් එක වෙනවා කියලා ඉතා පැහැදිලියි"

"අයවැයට එල්ල වූ බොහෝ විවචෙන  මතුවෙන්නේ පරණ සිස්ටම් එක තුළ බලය දරපු, ඒ බලය වරප්‍රසාදයක් කරගත්ත පිරිසගෙන්. වරප්‍රසාද මත සංවිධානය වූ සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ඒක වෙනස් කරන්නයි අපි උත්සාහ කරන්නේ. බලය අයුතු ලෙස රස විදපු සමාජය ගොඩක් අය ප්‍රතික්ෂේප කරනවා"

''මේ අයවැය  විවාදය නිසා සතුටු වුණේ  මහන්සි වෙලා වැඩකරන, ආයෝජන ඉතාමත් සාධාරණව සිදුකරන, වගකීමෙන් යුතුව හැසිරෙන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයින් සතුටට පත්වෙලා ඉන්නවා. අද ඔවුන්ට දේශපාලකයන් පිටිපස්සේ දුවන්න අවශ්‍ය නැහැ ඔවුන්ගේ ව්‍යාපෘති කරගන්න. නිදහසේ වැඩකරගන්න අද ඔවුන්ට පුළුවන්.  වසර ගණනක් ඉදිරියට  ඔවුන්ට සැලසුම් කරන්න, පුරෝකථන කරන්න පුළුවන් වෙලා තිබෙනවා"

"රාජ්‍ය සේවය තමන්ට තැනක් ලැබිලා තියනවා කියලා මේ වෙනස අගය කරනවා. ඔවුන්ට විශ්වාසයක්, අගයකිරීමක් ලැබිලා තිබෙනවා. රාජකාරිය නිදහසේ කරන්න පුළුවන් කියලා සතුටු වෙන පිරිසක් ඉන්නවා"

"සමාජය තුළ අවස්ථා මගහැරුණ   කාන්තාවන්, දරුවන්, ආබාධිත ප්‍රජාව, වතුකරයේ ජනතාව  ඇතුළු බොහෝ දෙනාට සහනයක් අද ලැබිලා තිබෙනවා"

"ඒ සියලු දෙනාගේ අනාගත ආර්ථික මාර්ග විවෘත වෙමින් තිබෙන බව ඔවුන්ට පේන්න තිබෙනවා.  ආර්ථික ප්‍රතිලාභ මගහැරුණු විශාල පිරිසකට මේ අයවැය තුළින්  ආලෝකයක්මාර්ගයක් ලැබිලා තිබෙනවා"

"රැකියා විරහිත තරුණයන් ගැන බොහෝ විවාද ඇති වුණා, පොරොන්දු ඉට කරලා නෑ කියලා  චෝදනා එල්ල වුණා. හැබැයි යථාර්ථය වෙලා තිබෙන්නේ රැකියාවෙන් තෘප්තිමත් විය නොහැකි විදිහට සුදුසුකම් වලට නොගැලපෙන රැකියා දෙනවා වෙනුවට  දියුණුවිය හැකි අනාගත මාර්ග විවෘත වන ක්‍රමයක් අපි නිර්මාණය කරමින් යනවා. දැනටත් අපි රැකියා ගණනාවක් දෙන්න කටයුතු කරලා තිබෙනවා. මේ කටයුතු ප්‍රමාද වෙලා තිබෙන්නේ පැවති රජයන් ගත්තු තීන්දු තීරණවල ඇති අවුල් සහගත තත්ත්වය නිසා.  ඒ වගේම සමහර නඩු නිසා ප්‍රමාදයන් සිදුව තිබෙනවා"

ජනතාවගේ දැවෙන ප්‍රශ්න භාවිත කරමින් තමන්ගේ බලය, වරප්‍රසාද ලබාගත්ත අයට මේ අයවැය ගැන විවේචන ඇතැ යි ද ඕ සඳහන් කළා ය.

කිසි කෙනෙක් මග නොහැරෙන්න තීන්දු තීරණ ගන්න නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින් විශාල කැපකිරීමක්, මහන්සියක් දැරූ බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවාය.