චම්මි ගෙ හිතිවිල්ල

"සිහින සතක් දුටුවෙමි මම"-
ඊයේ වැටුණු මහා වැස්සේ පොදය තවමත් අහවර වෙලා නෑ. වැහැපන් මහ වරුෂා දෙහොඩ තලා යන සේ උතුරා. එසේ උතුරා යා යුත්තේ ගං හෝ වැව් අඩියේ රැඳුණු රොන් මඩ මේ බිම සරු පසක් කරන්නට මිස කිසිවෙකු පීඩාවට පත් කරන්නට නොවේ.
ඒත් ඒ සරු පසේ පීදෙන්නට බීජ නොහිටෙව්වොත් පසුව මුරුගසන් වැහි වැස සියල්ලම සෝදා ගෙන යනු ඇත.
එතනදී අපි සියල්ලෝම ඇතාගේ වල්ගයේ ගමරාල පිටුපසින් එල්ලී ගියෝ වෙනු ඇත.
එහෙම නොවෙන්නට අද අපිට 200% පහතට බසින්නට වෙනු ඇත. කල්පනාවෙන් හා මිනිසත් කමෙන් සන්නද්ධ වීමට සිදුවෙනු ඇත. අව්ව වැස්ස සේම ජය පරාජය ද එක ලෙස අවබෝධ කරගෙන හුළඟට නොව බරට නැවෙන ගොයම් ගස් විය යුතුය.
ඊට පෙරින් අපේ 'මාන කබා' අපිම ගළවා තැබිය යුතුය.
අපි අද කොතනකද ඉන්නේ. අපි හිතන් ඉන්නවා අපි නිවැරැදි තැනක ඉන්නව කියා. අපේ ඒ හිතුවිල්ල මහා දිගු සිහින වෘතාන්තයක කූට ප්‍රාප්ත්‍ය ලැබුවා යන වින්දනය නොවේද? ඒ නිසා අපි කැමති නෑ එයින් මිදෙන්න හෝ සිදුවෙන්නේ හරිම දේ නොවේ කියා සිතන්න.
මේ සිහිනයෙන් අවදි වියයුතු කාලය ඇවිත්.
එහෙම නොවුණොත් ශල්‍ය කර්මකයකදී නිර්වින්දනයෙන්ම මියෙන්නෙකුගේ තත්ත්වයට අපි පත් වෙනු ඇත. එසේ කළයුතු හෝ වියයුතු නැත්තේ පරදින්නේ අප නිසාය. අපි පැරදුණත් දිනුවත් ඔවුහු නොපරදිති. එහෙත් ඒ දිනුම අපේ නොවේ. එහෙත් පැරදුම අපේ නිසා අපි අවදි විය යුතුය.
ඔබට මතක් වෙන සිදුවීම් ඇති ගමේදී.
සමහර දරුවෝ පිටතදී වරදක් කර ගෙදර ආ විට ඉන් පීඩාවට පත් දරුවාගේ මව හෝ පියා ඒ ගැන කීමට ආ විට සමහර අම්මලා තමන්ගේ දරුවා සුදනා නොකර කළේ ඔවුන් ඉදිරියේ ම දඬුවම් දීම හෝ වරද තමන් මත පවරා ගැනීමයි.
ඉන් ඒ සාමාන්‍ය ගැමියා පවුල් අතර විය හැකි ආරාවුල නවතා ගත්තේ ය. එසේම සිය දරුවාද නැවතත් වැරදි නොකරන්නට ඔහුගේ හිතට වරද ඇතුළු කිරීමය.
එහෙත් වත්මන් සමාජයේ බොහෝ උදව්කාරයින් හා නව්‍යශීලි සිතන්නෝ යැයි කියන්නෝ කරන්නේ වරද පෙන්වන්නාගේ හෝ අගතියට පත් වූ අයගේ පූනු ඇරීම හා ඔහුගේ පැටිකිරියද විනාශ කොට වරද නිවරද සේ බහුතරයකගේ කියමන් මතින් සමාජ ගත කිරීමය.
මේ දැඩි ලෙස ස්වප්නයන්හි සරණා මායාවි රංගණය යි. එය නිරුවත් රජා නීලකම්බිළියෙන් සැරසී සිටී යයි කීමකි.
මේ පරාජය කරවන්නේ බහුතරයකගේ ජයග්‍රහණය යි.
මේ සංවිධානාත්මක අසංවිධිත ක්‍රියාදාම සළසන්නේ කෙටිකාලීන තෘප්තියක් පමණි. එය ඔවුන්ගේ බසින් "ආතල්" ගැනීමකි.
අපි අද කළයුත්තේ සැබෑ සටනට සූදානම් වීම යි. නොඑසේ නම් ඒ සඳහා අභිප්‍රේරණාත්මක ක්‍රියාවලි දියත් කරවීම යි. හුරේ දමන්නෝ පහර දෙන්නේ තමන්ගේ උන්ට ම ය. බෙදෙන්නේ ඔවුන් ම ය. ඉන් ඵල නෙළන්නෝ පැහැර ගන්නේ අපේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කළයුතු කාලය යි. අපි ජීවිතයෙන් බොහෝ කලක් නිදා ගන්නවා සේ,
සේවා කාලයෙන් වැඩි කාලයක් නිවාඩු භුක්ති විඳින්නා සේ, අනුන් විවේචනයට ගොස් විනාශ කරන්නේ අයකරගත නොහැකි කාලය යි. කාලය අද වෙනදාටත් වඩා වටිනා ආයෝජනයකි. තැන්පතුවකි.
අප අපෙන් ගිළිහී ගිය කාලය දුරස් කළ ශ්‍රම හමුදාවද කැඳවාගෙන විනාශ කළ කාලය යළි අය කරගත යුතුය. එය එසේ නොවන්නට වහසි බස් හැර වෙනත් දෙයක් ඉතුරු නොවෙනු ඇත.
සිහින රාජ්‍යයෙන් මිදී අධිකාරිත්වයේ තට්ටුවෙන් බැස රට අපේ කර ගැනීමේ සටන අධි වේගයෙන් ඇරඹිය යුතුය.
"සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසම එක (හැම) සිහිනෙක ඔබ සිටියා සිඟන්නියක සේ"
අපි එයින් මිදෙමු.
19-09-2025.